පාටලිගාමිය වර්ගය
1. පළමුවන නිර්වාණ සූත්‍ර වර්ණනාව
පාටලී ගාමීය වර්ගයෙහි, පළමුවැන්නෙහි, නිබ්බාණ පටිසංයුත්තාය යනු අමෘත ධාතු සන්නිශ්‍රිත, අසංඛත ධාතුවගේ දැනුම්දීම වශයෙන් පැවැති, ධම්මියා කථාය යනු ධර්ම දේශනාවෙන් සංදස්සෙති යනු ස්වභාව හා කෘත්‍යය වශයෙන් ලක්‍ෂණ වශයෙන් නිර්වාණය දක්වයි. සමාදපෙති යනු එම අර්ථයම එම භික්‍ෂූන්ට ගන්වයි. සමුත්තෙජෙති යනු එම අර්ථ ග්‍රහණයෙහි උත්සාහ උපදවනුයේ තෙදවත් කරයි. බබලවයි. සංපහංසෙති යනු නිර්වාණ ගුණයන්ගෙන් මනාව සියලු ආකාරයන්ගෙන් සන්තෝෂ කරවයි.
නොහොත් සිංදස්සෙති යනු එම සියලු සංස්කාර සන්සිඳවීම සියලු නැවත ඉපදීමට හේතු දුරුකිරීම, තෘෂ්ණාව ක්‍ෂය කිරීම, නොඇල්ම-නිරෝධය යැයි ආදී ක්‍රමයෙන්ම, සියලු ආකාරයෙන්, ඒ ඒ ක්‍රමයෙන් ඔවුන්ගේ අදහස්වලට ගැලපෙන අයුරින් මනාව දක්වයි. සමාදපෙති යන මෙයින් ආර්ය මාර්ගයෙන් ඒ අවබෝධ කළයුතු යැයි අධිගම ප්‍රතිපදාව සමග එහි භික්‍ෂුව, නිම්නතාවය, නම්‍රතාවය පබ්භාරතාවය (බෑවුම අනුව ම ගමන් කිරීම) කරවනුයේ සමාදන් කරවයි. ගන්වයි. සමුත්තෙජෙති යනු එය දුෂ්කරය. ලබාගැනීම දුෂ්කරයැයි යහපත් ප්‍රතිපත්තියෙහි පමා නොවෙව. අතරතුර කෙළවරට පැමිණෙව්. මතු හේතුසම්පත් ඇති වීර්යවත්හුට මෙය දුෂ්කර නොවේ. එහෙයින් ශීල විශුද්ධි ආදී විශුද්ධි ප්‍රතිපදාවෙහි වීර්ය කරව්. උත්සාහ කරව්. ව්‍යායාම කරව් යයි නිර්වාණාධිගමය සඳහා උත්සාහවත් කරයි. එහි හෝ සිත පිරිසිදු කරයි. සම්පහංසෙති යනු මද නිර්මදනය කරන පිපාස හික්මවන, ඇල්ම නසන, රාගක්‍ෂය, ද්වේෂක්‍ෂය, මෝහක්‍ෂය යැයි ද, අසංඛතයැයි ද, අමෘතයැයි ද, ශාන්ත යැයි යනාදී ක්‍රමයෙන් නොයෙක් ක්‍රමයෙන් නිවනෙහි අනුසස් ප්‍රකාශ කිරීමෙන් එම භික්‍ෂූන්ගේ සිත සතුටු කරනුයේ සිනහ ඇති කරවනුයේ මනාව සතුටු කරයි. මනාව සනසවයි.
තෙච භික්ඛු අට්ඨිකත්‍වා යනු කිසිවක් ඇත. අප විසින් මෙම අර්ථය අවබෝධ කළයුතුයැයි මෙසේ සලකා එම දේශනාවගේ අවශ්‍යතාවය ඇත්තෝව, මනසිකත්‍වා යනු සිතෙහි තබා, අන්‍යවිහිත නොකොට, එම දේශනය තම සිත තුළට ඇතුලත් කොට, සබ්බ චෙතසා සමන්නා හරිත්‍වා යනු සියලු ආකාර කාරක සිතින් මුලපටන් අවසානය තෙක් දේශනය ආවර්ජනය කොට ඒ හා අනුගතවම සිතා බැලීම කොට, නොහොත් සබ්බ චෙතසො සමන්නාහරිත්‍වා යනු මුළු සිතින් දේශනය මනාව කඩින් කඩ ගෙනවුත්, මෙය යූ.සේයි. දෙසන්නහු යම් සිතකින් දෙස්ම කරන ලදද, හැම අයුරින්ම සිතින් ඒ අනුව යොමුකොට පැවැත්ම, දෙස්මෙන් පිටත යන්ට නොදී මනාව අවිපරීතව කඩින් කඩ ගෙනවුත් තම චිත්ත සන්තානයට ගෙනවුත් දක්වන ලද පරිදි, දේශනා කරන ලද දේශනය මනාව විමසා බලා, ඔහිතසොතා යනු මනාව යොමුකළ මනාව තබන ලද ශ්‍රෝතස් ඇතියේ, ඔහිත සොතා යනු අවික්‍ෂිප්ත ශ්‍රොතස්, එයම ලබනුයේද ශ්‍රවණයෙහි අවික්‍ෂෙපය චක්‍ෂුන්‍ද්‍රියාදීන්හි සති සංවරය මෙන්, ශ්‍රොතින්‍ද්‍රියාදීන්හිද කිවයුතු බවට සුදුසු වේ. මෙහිද අට්ඨිකත්‍වා යනාදී සිව් පදයන්ගෙන් එම භික්‍ෂූන්ගේ එහි නියැලුණු භාවයෙන් ශ්‍රවණයෙහිලා ඇල්ම දැක්වීමෙන් සකස් වූ ශ්‍රවණය දක්වයි.
එතමත්‍ථං විදිත්‍වා යනු එම භික්‍ෂූන්ගේ නිර්වාණ ප්‍රතිසංයුක්ත දැහැමි කථාවෙහි ශ්‍රවණයෙහි ඇල්මෙන් කරන ලද බව සර්වප්‍රකාරයෙන් දැන, ඉමං උදානං එම නිර්වාණයෙහි එයට අසමාන දම් දෙසුම් මුඛයෙන් පරමාර්ථ වශයෙන් විද්‍යමාන භාවය පැහැදිලි කිරීමට උදන් ඇනූ සේක.
එහි අත්‍ථි යනු විද්‍යමාන වේ. පරමාර්ථ වශයෙන් ලබයි යයි අර්ථයි. භික්ඛවෙ යනු එම භික්‍ෂූන්ට ඇමතීමයි. උදානය නම් ප්‍රීති සොම්නසින් හටගත්තා වූ හෝ, ධර්ම සංවේගයෙන් හටගත්තා වූ හෝ ධර්ම ප්‍රතිග්‍රාහක නිරපේක්‍ෂ කීමයි. මෙතෙක් සූත්‍රයන්හි එසේම ආයේය. මෙහි කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ උදන් අනනුයේ එම භික්‍ෂූන් ආමන්ත්‍රණය කළෙහිද? එම භික්‍ෂූන්ට හැඟවීම සඳහායි. භාග්‍යවතුන් වහන්සේ එම භික්‍ෂූන්ට නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාකොට, නිර්වාණ ගුණ අනුස්මරණයෙන් උපන් ප්‍රීති සොම්නස් ඇතියේ උදන් ඇනූ සේක. නිවනින් දුරු කළයුතු සියලු ස්වභාව ධර්මය ප්‍රත්‍යය අයත් පැවතුම් ඇතිවම ලබයි. ප්‍රත්‍යයක් ඇතිකල්හි ලැබේදැයි එම භික්‍ෂූන්ගේ සිතෙහි හටගත් විතර්කයන් දැන ඒවා හඟවනු කැමැත්තේ අත්‍ථි භික්ඛවෙ තදායතනං ආදිය වදාළහ. ඒකාන්තයෙන් ඔව්හු ප්‍රතිග්‍රාහකයින් කොටයැයි නොදත යුතුය. තදායතනං යනු එම කරුණ, ද කාරය පද සන්ධි කරයි. නිර්වාණය වනාහි මාර්ග ඵල ඥානාදීන්ට ආරම්මණ ප්‍රත්‍යය භාවයෙන් චක්‍ෂු විඤ්ඤාණාදීන්ට රූපාදීන් මෙන් ආරම්මණ ප්‍රත්‍යය වූයේ යයි කාරණාර්ථයෙන් ආයතනයැයි කියයි. මෙතෙකින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් එම භික්‍ෂූන්ට අසංඛත ධාතුවෙහි පරමාර්ථ වශයෙන් විද්‍යමාන බව දැනුම් දෙයි.
මේ එහි දහම් (නයයි.) ක්‍රමයයි. මෙහි හේතුවකින් හටගත් ධර්මයන්ගේ විද්‍යමාන හෙයින් හේතුවකින් හට නොගත් ධාතුවක් ද විය යුතුය. ස්වභාව ධර්මයන්ට ප්‍රතිපක්‍ෂ හෙයිනි. යම්සේ වනාහි දුක් විද්‍යමාන කල්හි, එයට ප්‍රතිපක්‍ෂ වූ සුවයද විද්‍යමාන වේමය. එසේම ඌෂ්ණය විද්‍යමාන කල්හි සීතලද විද්‍යමාන වේ. පාප ධර්මයන් විද්‍යමාන කල්හි කල්‍යාණ ධර්මද විද්‍යමාන වෙති. යූ.සේයි.
යථාපි දුක්ඛෙ විජ්ජන්තෙ - සුඛං නාමපි විජ්ජති
එවං භවෙ විජ්ජමානෙ - විභවොපි ඉච්ඡිතබ්බකො
යම්සේ දුක් විද්‍යමාන වන කල්හි සුවය නම් වූවක් විද්‍යමාන වේද, මෙසේ භවයෙන් විද්‍යමාන කල්හි විභවයද කැමැති විය යුතුය.
යථාපි උණ්හෙ විජ්ජන්තෙ - අපරං විජ්ජති සීතලං
එවං තිවිධග්ගි විජ්ජන්තෙ - නිබ්බාණං ඉච්ඡිතබ්බකො
යම්සේ උෂ්ණයන් විද්‍යමාන කල්හි, සීතල නම් වූ අනෙකක් විද්‍යමාන වේද, මෙසේ ත්‍රිවිධාග්නි විද්‍යමාන කල්හි නිවීමක් කැමැති විය යුතුය.
යථාපි පාපෙ විජ්ජන්තෙ - කල්‍යාණම්පි විජ්ජති
එවමෙව ජාති විජ්ජන්තෙ - අජාතිම්පි ඉච්ඡිතබ්බකංති
යම්සේ පාපයන් විද්‍යමාන කල්හි යහපත් දැයක් විද්‍යමාන වේද, එපරිද්දෙන්ම ඉපැත්ම විද්‍යමාන වන කල්හි නොඉපැත්මක්ද කැමැති විය යුතුය. යනාදිය කීහ.
තවද නිර්වාණයෙහි පරමාර්ථ වශයෙන් පවත්නා බව විවරණය කිරීම මත්තෙහි ප්‍රකට වන්නේය.