උදාන අටුවාව
ග්‍රන්ථ ආරම්භ කථා
දතයුතු සියලු ධර්ම නමැති සාගරයෙහි පරතෙරට පැමිණි, විචිත්‍ර වූ දේශනා ක්‍රම හා සියුම් ගැඹුරු නුවණ ඇති, සියලු සතුන්ට පිහිටවන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි.
විද්‍යාචරණ සම්පන්න වූවාහු, යම් ධර්මයකින් සත්ත්වයා සංසාර නමැති ලෝකයෙන් නිවනට පමුණුවත් ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පුදන ලද ඒ උතුම් ධර්මය නමස්කාර කරමි.
සීලාදී ගුණයන්ගෙන් යුක්ත වූ මාර්ගඵල සම්පත් ලැබූ යම් සංඝ රත්නයක් වේ නම් අතිශයින් ම උතුම් පුණ්‍යක්‍ෂේත්‍ර වූ ඒ ආර්ය සංඝරත්නය නමස්කාර කරමි.
මෙසේ රත්නත්‍රය වන්දනා කිරීමෙන් උපදවා ගත් යම් පුණ්‍ය සම්පත්තියක් වේ නම් එම පුණ්‍ය තේජසින් මම සියලු තන්හි නසන ලද අනතුරු ඇත්තෙක් වෙමි.
මහර්ෂි වූ ලොවට හිතැති බුදුරදුන් විසින් සුද්ධ වූ ජීවිතකථා පිළිබඳ යම් උදාන දේශනා කර තිබේ නම් ඒ සියල්ල ධර්මසංග්‍රාහික රහතන් වහන්සේලා විසින් එක් තැනකට එකතු කිරීම සඳහා සංග්‍රහ කරන ලද ධර්මය උදාන නම් වේ.
එය බුදුරජාණන් වහන්සේගේ ධර්ම සංවේගය හා ප්‍රීතිය ප්‍රකට කිරීම සඳහා සොම්නස් සහගත සිතින් දේශනා කරන ලද ගාථාවන්ගෙන් යුක්ත වේ.
ඒ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු සියුම් නුවණින් විනිවිද ලෙස බලමින් දේශනා කරන ලද බැවින් එම ධර්මය පිළිබඳව මා විසින් කරනු ලබන අත්‍ථි වර්ණනාව අතිශයින් ම දුෂ්කර කාර්යයකි.
යම් ලෙසකින් එම අර්ථ වර්ණනාව සහ ශාස්තෲ ශාසනය උතුම් පූර්වාචාර්යවරුන්ගේ විනිශ්චය නිසාම පවතී නම් එම විනිශ්චයන් පාදක කරගෙන පුරාණ අට්ඨකථා ක්‍රමය හා නිකාය ග්‍රන්ථ පස ඇසුරු කරගෙන
මහා විහාර වාසීන්ගේ ඉගැන්වීම වෙනස් නොකොට අතිශයින්ම පිරිසිදු, අසංකීර්ණ වූ සියුම් අර්ථ විනිශ්චය නැවත නැවතත් දැක්වෙන අර්ථ මැනවින් ඉවත්කොට උදාන පාලියෙහි අර්ථ වර්ණනාව ශක්ති පමණින් කරන්නෙමි.
මෙසේ සද්ධර්මයාගේ චිර පැවැත්ම ප්‍රාර්ථනා කරමින් විස්තර වශයෙන් ප්‍රකාශ කරනු ලබන මෙම අර්ථ කථාව පින්වත්හු මැනවින් පිළිගනිත්වා.
එහි උදාන නම් : කවර අර්ථයකින් උදාන වීද? ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කිරීම අර්ථයෙන් උදාන නම් වේ. ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කිරීම යනු කුමක්ද? සිතෙහි ප්‍රීති වේගයෙන් හටගත් අදහස ප්‍රකාශ කිරීමයි.
යම් සේ තෙල් ආදී මැනිය යුතු වස්තුවක් මැණීම් ගැනීමට නොහැකිව පිටත ගලා යයිද එය ඉතිරි වූ දෙයයි කියනු ලැබේ. යම් වතුරක් විලක නොරැඳී පිට උතුරා යයි ද එය ඕඝ යි (ගලා යන දිය පහරක්) කියනු ලැබේ. එසේම ප්‍රීති වේගයෙන් සිතෙහි හටගත් සිතිවිලි පැතිරී ගොස් හදවත ඇතුලෙහි රැඳෙන්නට නොහැකිව උතුරා යාමෙන් වාග් ද්වාරයෙන් නිකුත්වන ප්‍රකාශ කිරීම් විශේෂය උදානය යි කියනු ලැබේ. ධර්ම සංවේග වශයෙන් ද මේ උදානය ඇතිවේ.
එම උදානය සමහර තැනක ගාථා බන්‍ධන වශයෙන් ද, සමහර තැනක වාක්‍ය වශයෙන් ද පවතී. අර්ථ කථාවන්හි ‘සොමනස්ස ඤාණමයික ගාථා පතිසංයුත්තං’ (සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත ගාථාවන්ගෙන් යුක්ත වූ) උදාන ලක්‍ෂණ බෙහෙවින් කියන ලදි. ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්ත වූ ගාථා බන්‍ධනයන්ගෙන් යුක්ත උදානය ද බෙහෙවින් කියන ලදි. එයට අමතරව ‘අත්‍ථි භික්ඛවෙතදායතනං යත්‍ථ තෙව පඨවි ත ආපො - තං එසෙවන්තො දුක්ඛස්සාති’, ‘සුඛා කාමාති භූතානි යො දණ්ඩෙන විහිංසතී ති’ (යමෙක් සැප කැමති සත්ත්වයන් දඬුවමින් හිංසාවට ලක් කෙරේද), ‘සචෙ භායථ දුක්ඛස්සාති’ (ඉදින් දුකට බියවන්න), යන මේ ආදී තැන්හි දක්නට ලැබේ.
මෙසේ ඒ මේ උදානය සබ්බඤ්ඤූ බුද්ධ භාසිතය, පච්චෙක බුද්ධ භාසිතය, සාවක භාසිතය යි තෙවැදෑරුම් වේ. ඒ අතර පච්චෙකබුද්ධ භාසිතය ‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අහෙඨයං අඤ්ඤතරම්පි තෙසං’ ආදී වශයෙන් ඛග්ගවිසාණ සූත්‍රයෙහි සඳහන් වන්නේය. ශ්‍රාවක භාසිත වනාහි -
සබ්බො රාගො පහීණො මෙ
සබ්බො දොසො සමූහතො
සබ්බො මෙ විහතො මොහො
සීතිභූතොස්මි නිබ්බුතො
සබ්බො දොසො සමූහතො
සබ්බො මෙ විහතො මොහො
සීතිභූතොස්මි නිබ්බුතො
(මාගේ සියලු රාගය ප්‍රහීණ විය. සියලු ද්වේෂය මැනවින් නසන ලද්දේ ය. මෝහයද වෙසෙසින් නසන ලද්දේය. එබැවින් මම සිසිල් වූවෙමි. නිවුනේ වෙමි)
යන ආදී වශයෙන් ථෙරී ගාථාවන්හිද
කායෙන සංවුතා ආසිං
වාචාය උද චෙතසා
සමූලං තණ්හං අබ්බුය්හ
සීතිභූතාස්මි නිබ්බුතා
වාචාය උද චෙතසා
සමූලං තණ්හං අබ්බුය්හ
සීතිභූතාස්මි නිබ්බුතා
‘මම කයෙන් සංවර වීමි. වචනයෙන් ද සංවර වීමි. තෘෂ්ණාව මුල් සහිතවම උදුරා දැමීමි. සිසිල් වීමි. නිවුනා වෙමි’
ආදී වශයෙන් ථෙරී ගාථාවන්හිද සඳහන් වේ. මේ උදානයෝ ඒ ස්ථවිරුන්ගේ හා ස්ථවිරාවන්ගේ උදාන පමණක් නො වෙති. ඔවුන්ගේ සිංහනාදයෝ ද වෙති. ශක්‍ර ආදී දෙවිවරුන් විසින් කියන ලද ‘අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං’ යන ආදිය ද ආරාමදණ්ඩ බ්‍රහ්මණාදීන් විසින් හා මනුෂ්‍යයන් විසින් කියන ලද ‘නමො තස්ස භගවතො’ යනාදී ත්‍රිවිධ සංගීතියට ඇතුලත් කරන ලද උදාන ඇත. එම උදාන මෙහි ඇතුලත් නැත. බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කරන ලද ජින වචන නම් වූ නව ආාකරයට බෙදා දැක්වූ පර්යාප්ති ධර්මයට අයත් වූ උදානම ධර්මසංග්‍රාහක රහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරන ලද්දේ ද, එම උදානම වර්ණනා කිරීම පිණිස මෙහි ඇතුලත් කරන ලද්දේය.