6. පාටලිගාමිය සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි මගධෙසු යනු මගධ රටෙහි, මෙහිද ගුණ මහත්වයෙන්ද, නොපිරිසිඳි සංඛ්‍යා හෙයින් ගණන් මහත්වයෙන්ද, මහත් වූ බික්සඟන සමග, පාටලිගාමො යනු මෙනමින් යුත් මගධ රට එක් ගමක් එම ගම සැලසුම් කරන දිනයෙහි, ග්‍රාමාංගණය තීරණය කළ ස්ථානයෙහි පලෙල් අංකුර දෙක තුනක් පෘථුවියෙන් පැන නැගී නික්මුණහ. එහෙයින් පාටලී ගම යැයිම ව්‍යවහාර කළහ. තදවසරි යනු එම පාටලී ග්‍රාමයට පැමිණ වදාළේය. අනුප්‍රාප්ත වූ සේක. භාග්‍යවතුන් වහන්සේ කෙදින පාටලී ගමට අනුප්‍රාප්ත වූ සේක්ද යත්, යට කියන ලද ක්‍රමයෙන්, දම්සෙනෙවි විසින් සැවැත චෛත්‍යයක් කරවා ඉන් නික්ම, රජගහ නුවර වසනුයේ, එහි ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ටද, චෛත්‍යයක් කරවා, ඉන් නික්ම අම්බලට්ඨිකායෙහි වැස, ඉක්මන් නුවූ චාරිකා වශයෙන් ජනපද චාරිකාවෙහි හැසිරෙනුයේ ඒ ඒ තන්හි එක් රැයක් වාසය කරන වාසයෙන් වැස, ලෝකයට අනුග්‍රහ කරනුයේ අනුක්‍රමයෙන් පාටලීගමට අනුප්‍රාප්ත විය.
පාටලීගාමියා යනු පාටලී ග්‍රාමවාසී උපාසකවරු, ඔව්හු වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පළමු දැක්මෙන්, සමහරු තිසරණයන්හිද, සමහරු සීලයන්හිද සමහරු සරණ සිල්හිද පිහිටියාහුය. එහෙයින් උපාසකා යි යූ.සේයි. යෙන භගවා තෙනුපසංකමිංසු යනු අජාසත්හුගේද ලිච්ඡවී රජවරුන්ගේ ද මිනිස්සු කලින් කල ගොස් පාටලී ගමෙහි ගෘහ හිමිකරුවන් ගෘහයෙන් බැහැරකොට මසක්ද, අඩමසක්ද වාසය කරයි. ඉන් පාටලී ගම්වැසි මිනිස්සු නිතර උවදුරට පත්වූවාහු, ඔවුන්ගේ පැමිණි කල්හි වසන තැන් වන්නේ යයි, එක් පැත්තක ඓශ්වර්යය පුද්ගලයින්ගේ භාණ්ඩ තැන්පත් කරන ස්ථානයද, එක් පැත්තක වාසය කරන ස්ථානයද, එක් පැත්තක ආගන්තුකයින්ටද මගී මිනිසුන්ටද, එක්පසෙක දිළින්දන්ටද, කෘපණා මිනිසුන්ටද, එක්පසක ගිලනුන්ගේ වාසස්ථානය වන්නේ යයි සියල්ලන්ට ඔවුනොවුන් නොගටා, විසුමට ප්‍රමාණවත්ව මහා ශාලාවක් නගර මධ්‍යයෙහි කළහ. එහි නාමය ආවසථාගාරයයි. එය එදිනම නිමාවට ගියේය. ඔව්හු එහි ගොස් ලී වැඩ, පිරියම් වැඩ, සිතුවම් වැඩ ආදී වශයෙන් මනාව නිමකරන ලදුයේ, මනාව පිළියෙල කරන ලදුයේ දෙව් විමනක් සමාන එය දොර කොටුයෙහි පටන් බලා මෙම ආවසථාගාරය අතිශය මනරම් වූයේ සශ්‍රීක වූයේ කවරකු විසින් වනාහි ප්‍රථමයෙන් පරිභෝග කරන ලදුයේ අපට දීර්ඝ කාලයක් හිතසුව වන්නේදැයි සිතූහ. එකෙණෙහිම භාග්‍යවතුන් වහන්සේ එගමට අනුප්‍රාප්ත වූයේයයි ඇසූහ. ඔවුහු ඉන් උපන් ප්‍රීති සොම්නස් ඇතියේ අප විසින් භාග්‍යවතුන් වහන්සේ එහි ගොස් වැඩමවා ගෙන පැමිණිය යුතු වන්නේය. (ගෙන ආ යුතු) එතුමාණෝ වනාහි තෙමේම අපගේ වසන ස්ථානයට සම්ප්‍රාප්ත වූ සේක. අද අපි භාග්‍යවතුන් වහන්සේ මෙහි වාසය කරවා, ප්‍රථමයෙන් පරිභෝග කරවන්නෙමු. එසේම භික්‍ෂු සංඝයා පරිභෝග කරවන්නෙමු. භික්‍ෂු සංඝයා පැමිණි කල්හි ත්‍රිපිටක බුද්ධවචනය පැමිණියේම වන්නේය. ශාස්තෲන් වහන්සේ ලවා මංගල වදන් දේශනා කරවන්නෙමු. ධර්මය කියවන්නෙමු. මෙසේ ත්‍රිවිධ රත්නයන් විසින් පරිභෝග කළ කල්හි පසුව අපටද අන්‍යයන්ට ද, පරිභෝග වන්නේය. මෙසේ අපට බොහෝ කලක් හිතසුව පිණිස වන්නේ යයි සනිටුහන් කොට මේ සඳහාම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එහෙයින් අධිවාසෙතු භන්තෙ භගවා ආවසථාගාරං යි කීහ.
යෙන ආවසථාගාරං තෙනුපසංකමිංසු යි කීහ. කිසිසේත් එය එම දිනයෙහිම නිමකළ හෙයින් දෙව් විමනක් මෙන් මනාව පිළියෙලකරන ලදුයේ, මනාව පිළිදැගුම් කරන ලදුයේ, බුදුරදුන්ට සුදුසු ලෙස කොට නොපනවන ලදි. බුදුවරු නම් ඇතුල්ගම වසන්නේ හෝ නොවසන්නේ ආරණ්‍යධ්‍යාශ ඇතියේ අරණ්‍යයෙහි ඇලුනාහු වෙති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේගේ කැමැත්ත දැනගෙනම අසුන පනවන්නෙමුයි සිතා ඔව්හු භාග්‍යවතුන් කරා එළැඹියහ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ කැමැත්ත දැන එසේ පනවන කැමැත්තාහු ආවසථාගාරය යම් තැනෙක්හිද එතැන්හි එළැඹියහ. සබ්බ සන්‍ථරිං ආවසථාගාරං සන්‍ථරිත්‍වා යනු යම්සේ සියල්ලම අතුරන ලද්දේ වේද, එසේ එය අතුරා, සියල්ලට පළමුව ගොම නම් සියලු මංගලයන්හි පවතී යයි හුණුපිරියම් කරන ලද්දා වූද, භූමිය තෙත් ගොමවලින් ඉස පිරිසිදු බව දැන යම්සේ පා තබන ලද තන්හි පියසටහන් නොපෙනේද, එසේ කොකුම්, යොන්පුජ, තුවරලා, තුරුක් තෙල් යන සිව් ජාත සුවඳින් ගල්වා මත්තෙහි නොයෙක් වර්ණ ඇති කලාල අතුරා ඒ මත්තෙහි මහා පිට තබන පලස් ආදිය හස්තස්ථරණාදී නොයෙක් වර්ණ ඇතිරිලිවලින් ඇතිරිය යුතු සියලු හිස් ඉඩ ඇතිරවූහ. එහෙයින් සබ්බ සන්‍ථරිං ආවසථාගාරං සන්‍ථරිත්‍වා යි යූ.සේයි.
අසුන්හි මධ්‍යස්ථානයෙහි වූ පිහිටි මංගලස්ථම්භය ඇසිරිකොට මහානර්ඝ බුද්ධාසනයක් පනවා එහි යම් යම් මෘදු වූද, මනරම් වූද පසතුරුණු ඒ ඒ තන්හි අතුරවා දෙපස රත්පැහැ මනරම් දසුන් ඇති කොට්ට තබා මතුයෙහි රන් රිදී තාරකාවන්ගෙන් විසිතුරු වියනක් බැඳ සුවඳ වැල් මල්වැල් ආදියෙන් අලංකාර කොට, හාත්පස දොළොස්රියන් තන්හි මල්දැල් විසුරුවා, තිස්රියන් පමණ තන්හි, පටතිර රෙදිවලින් වටකරවා, පැසුළු බිත්තිය ඇසිරිකොට භික්‍ෂු සංඝයාට හේත්තු වන ඇඳ පුටු ආදිය පනවා, මත්තෙහි ශ්වේත පසතුරුණුවලින් අතුරවා ශාලාවෙහි නැගෙනහිර පැත්තෙහි, තමහට හිඳීමට සුදුසු අයුරක් කළහ. ඒ සඳහා ආසනාහි පඤ්ඤාපෙත්‍වායි යූ.සේයි.
උදක මණිකං යනු මහා පළිඟු දියසැළක්. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂු සංඝයා ද කැමැති පරිද්දෙන් අත්පා ධෝවනය කෙරෙත්වා. මුහුණ කට සෝදත්වායි, ඒ ඒ තන්හි මැණික් වර්ණ දිය පුරවා සුවඳ සඳහා නොයෙක් පුෂ්පයන් ද, දියෙහි සුවඳ කුඩු බහා කෙලෙස් කොළවලින් වසා තැබූහ. එහෙයින් උදක මණිකං පතිට්ඨපෙත්‍වායි යූ.සේයි.
තෙලප්පදීපං ආරොපෙත්‍වා යනු රන් රිදීමය දඬු පහන්හි යෝධයන්ගේ රූප ආකාර මැණික් ඔබ්බවන ලද රූකඩ අත්වල තබන ලද කුඩා කබලිවල තෙල්පහන් දල්වා යෙන භගවා තෙනූපසංකමිංසු යන මෙහි වනාහි එම පාටලී ගම්වාසී උපාසකවරු හුදෙක් ආවස්ථාගාරයම පමණක් නොව, තවද ගමෙහි සියලුම වීථීන් පිරිසිදු කරවා ධජ ඔසවා ගෘහ ද්වාරයන්හි පුන්කලස් කෙසෙල් කඳන් ද තබවා, මුලුගම පහන් හා මල්වලින් විසුරුණු තරුවක් මෙන් කොට, කිරි බොන දරුවන්ට කිරි පොවව්. ළදරුවන් සැහැල්ලුවෙන් අනුභව කරවා නිදි කරවව්. උස්හඬ නොනගව්. අද එක් රැයක් ශාස්තෲන් වහන්සේ ඇතුල්ගම වාසය කරන්නේය. බුදුවරු නම් අල්ප ශබ්ද කැමති වන්නෝ වෙත්යයි අණබෙරයක් හසුරුවා තෙමේ දඬුපහන් ගෙන භාග්‍යවතුන් වහන්සේ හිඳ යම්තැනෙක්හිද එහි එළැඹියහ.