4. සිවුවන නිර්වාණ සූත්‍ර වර්ණනාව
සිව්වැන්නෙහි අථඛො භගවා එතමත්‍ථං විදිත්‍වා යන එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් මනාව පෙන්වීම් වශයෙන් නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවගේ කළ කල්හි එම භික්‍ෂූන්ට මෙම භාග්‍යවතුන් වහන්සේ අමෘත නිර්වාණ ධාතුවෙහි නොයෙක් ආකාර වෙනස්කම්, අනුසස් දක්වන්නහු විසින් අන්‍යයන් හා සාධාරණ නුවූ ආනුභාවය ප්‍රකාශ කරන ලදි. එහි අවබෝධ කරන උපාය මාර්ගය නොවදාරන ලදි. කෙසේ පිළිපදනා වූ අප විසින් මෙය අවබෝධ කටයුතුදැයි යන එම අදහස වූයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම භික්‍ෂූන්ගේ එම කියන ලද ආකාර ඇති විතර්ක සංඛ්‍යාත කරුණා සර්වප්‍රකාරයෙන් දැන, ඉමං උදානං යනු තෘෂ්ණා වශයෙන් කිසිතැනෙක්හි ආශ්‍රිත නුවූ, සන්සුන් කය හා සිත් ඇති වීථි පිළිපන් විදර්ශකයාට ආර්ය මාර්ගයෙන් ශේෂ රහිතව තෘෂ්ණා ප්‍රහාණයෙන් නිර්වාණාධිගමය පැහැදිලි කිරීමට මෙඋදන් ඇනූ සේක.
එහි නිස්සිතස්ස චලිතං යනු එය මම වෙමි. එය මාගේ ආත්මයැයි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් කම්පා වූයේ වේ. අප්‍රහීණ තෘෂ්ණා දෘෂ්ටි සහිත පුද්ගලයාට, සුව ආදීන් උපන් කල්හි ඒවා මැඩපවත්වා වසන්ට නොහැකි වන්නහුට මාගේ විඳීමය මම විඳිමියි ආදී ක්‍රමයෙන් තෘෂ්ණා දෘෂ්ටි ග්‍රාහ වශයෙන් කුසල් පැවැත්මෙන් චිත්ත සන්තානයෙහි, චලනය කම්පනය, පහත දැමීම හෝ වේයයි අර්ථයි. අනිස්සිතස්ස චලිතං නත්‍ථි යනු යමෙක් වනාහි විශුද්ධි පියවරෙහි පිළිපදිනුයේ, සමථ විදර්ශනාවන්ගෙන් තෘෂ්ණා දෘෂ්ටීහු මැඩපවත්වා අනිත්‍යාදී වශයෙන් සංස්කාරයන් මෙනෙහි කරනුයේ වෙසේ. එම තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නොකළහුට කියන ලද ආකාර චලනය, පහත දැමීම කම්පනය හෝ නැත. කරුණ මනාකොට විෂ්කම්භනය කරන ලද හෙයිනි.
චලිතෙ අසති යනු යම්සේ තෘෂ්ණා දෘෂ්ටිග්‍රාහයෝ නොපවතිත්ද, එසේ විදර්ශනා වීථියට පිළිපන් ඒ උත්සාහවත් වූවහුට, කියන ලද ආකාර චලනයක් නොමැති කල්හි, පස්සද්ධි යනු විදර්ශනා චිත්තය සමග හටගත් කාය චිත්තයන්ගේ දෘඪ කෙලෙස් සන්සිඳීමෙන් දෙයාකාර වූද සන්සිඳීම වේ. පස්සද්ධියා සති රති න හොති පෙරදීම, මත්තෙහි විශේෂතාවයෙන් යුත්, සන්සිඳීම ඇතිකල්හි නිරවද්‍ය සුව අධිෂ්ඨාන සමාධියද වර්ධනයකොට එය ප්‍රඥායෙන් එක්තැන් කිරීමෙන් සමථ විදර්ශනාව යුගනද්ධව යොදා මාර්ග පරම්පරාවෙන් කෙලෙස් ක්‍ෂය කරන්නහුට කාමභවාදීන්හි නැමෙන හෙයින් නතායි ලද නමැති තෘෂ්ණාව අර්හත් මාර්ග ක්‍ෂණයෙහි ශේෂ රහිතව නොමැති බවට පත් වේ. නූපදනා ස්වභාවයට පැමිණි හෙයින් නූපදී යයි අර්ථයි.
රතියා අසති යනු අර්හත් මාර්ගයෙන් තෘෂ්ණාව මනාව ප්‍රහීණ කළ හෙයින් භවාදීන් සඳහා ඇල්ම හා බලවත් ආශාවෙහි නැගී සිටීම නොමැති කල්හි, ආගති ගති නහොති යනු ප්‍රතිසන්ධි වශයෙන් මෙලොවට පැමිණීමද, ආගමනයද, චුති වශයෙන් යාම, මෙලොවින් පරලොව ගමන, පරලෝකත්වය නොවේ. නොපවතියි. ආගති ගතියා අසති යනු කියන ලද ක්‍රමයෙන් ඊමෙහි හා යාමෙහි නොමැති කල්හි, චුතූපපාතො න හොති යනු භවයෙන් භවයට නොසිඳි යන ච්‍යුති උත්පත්ති නොවේ. නොපවතියි. කෙලෙස්ව නොමැති කල්හි කම්වට සිඳින ලද්දේමය. එය සිඳි කල්හි, විපාක වට කෙසේ හටගනීද, හට නොගනීමය. එහෙයින් චුතූපපාතෙ අසතිනෙවිධ නහුරං යනාදිය කීය. එහි යමක් කිවයුතුද, එය යට බාහිර සූත්‍රයෙහි විස්තර වශයෙන් යූ.සේමය. එහි යූසෙයින්ම දතයුතුය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේද මෙහිද එම භික්‍ෂූන්ගේ ශේෂ රහිත සසර වට දුක් සන්සිඳීමට හේතු වූ අමෘත මහා නිර්වාණයෙහි ආනුභාව මනා ප්‍රතිපත්තියෙන් ප්‍රකාශ කළ සේක.
සිව්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
5. චුන්ද සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි මල්ලෙසු යනු මෙනම් දනව්වෙහි මහතා භික්ඛු සංඝෙන යනු ගුණ මහත්වයෙන් හා සංඛ්‍යා මහත්වයෙන් මහත් වූ, එම බික්සඟන සීලාදී ගුණ විශේෂ යෙදීමෙන්ද එහි සියල්ලන්ට පසුව වූවහුගේ සෝවාන් භාවය හෙයින්ද මහත් වූයේ. (යටත් පිරිසෙයින් අන්තිමයා සෝවාන් වූයේය.) නොපිරිසිඳි ගණන් හෙයින් සංඛ්‍යා මහත්වයෙන්ද මහත්ය. ආයු සංස්කාර අත්හැරීමෙහි පටන් පැමිණි පැමිණි භික්‍ෂූහු ආපසු හැරී නොගියහ. චුන්‍දස්ස යනු එම නමින් යුක්තහුගේ, කම්මාර පුත්තස්ස චුන්‍දස්ස යනු එම නමින් යුත්තහුගේ, කම්මාර පුත්තස්ස රන්කරු පුතුගේ, හෙතෙම ධනාඪ්‍ය මහ කෙළෙඹියෙකි. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම දර්ශනයෙන්ම සෝවාන්ව තම අඹ වනයෙහි ශාස්තෲන් වහන්සේට සුදුසු ගඳකිළියක්ද බික්සඟනට රාත්‍රීස්ථාන, දිවාස්ථාන, උපස්ථාන ශාලා, කුටි මණ්ඩප, සක්මන්මලු ආදියෙන්ද යුතුව සම්පාදනය කොට පවුරුවලින් වටකරන ලදුයේ දොරකොටු යුත් වෙහෙරක් කොට බුද්ධප්‍රමුඛ සංඝයාට භාර දුන්නේය. ඒ සඳහා තත්‍රසුදං භගවා පාවායං විහරති චුන්‍දස්ස කම්මාර පුත්තස්ස අම්බවනෙයි යූ.සේයි.
පටියාදාපෙත්‍වා යනු සම්පාදනය කොට යන අර්ථයි. සූකර මද්දවං යනු ඌරාගේ මෘදු සිනිඳු ත්‍රිකෝටි පරිශුද්ධ මද්දවං යනු ඌරුමස් නොවේ. ඌරන් විසින් තලා පොඩිකර දමන ලද උණ ගොබයැයි කියති. අනෙක් අය ඌරන් විසින් මඬනා ලද පෙදෙසෙහි හටගත් බිම්මල් (හතු) යැයි කියති. තවත් සමහරු සූකර මද්දව එක් රසායනයකැයි ගත්හ. චුන්‍දකර්මාර පුතු අද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ යයි අසා, එය අනුභවකොට, බොහෝ කලක් ජීවත්ව සිටින්නේ නම් ඉතා යෙහෙකැයි ශාස්තෲන් වහන්සේගේ චිර ජීවන අපේක්‍ෂායෙන් දිනියැයි ද කියති.