3. තෙවන නිර්වාණ සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි, අථඛො භගවා එතමත්‍ථං විදිත්‍වා යනු එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් සසරෙහි ආදීනව ප්‍රකාශ කරයි. මනාව දැක්වීම් වශයෙන් නිර්වාණ හා බැඳි ධර්ම දේශනා කළ කල්හි එම භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ සසර අවිද්‍යාදී කාරණයන්ගෙන් හේතු සහිතව ප්‍රකාශ කරන ලදි. නිර්වාණයෙහි හා එහි සංසිඳීම පිළිබඳ කිසි කරුණක් නො යූ.සේයි. එම නිවන අහේතුකය. කෙසේ ක්‍රියාකොට සාක්‍ෂාත් කිරීම් පරමාර්ථයෙන් ලැබේදැයි මෙවන් අදහසෙක් වීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම භික්‍ෂූන්ගේ එම කියන ලද ආකාර පරිවිතර්ක සංඛ්‍යාත අර්ථය දැන, ඉමං උදානං යනු එම භික්‍ෂූන්ගේ, සැක විනාශ කිරීමටද මෙලොව මහණ බමුණන්ගේ ‘නිර්වාණය, නිර්වාණය යැයි කියයි. එය කථන මාත්‍රයෙක්මය. පරමාර්ථ වශයෙන් නැතැයි ද, නිර්වාණය නම් නොලබන ස්වභාවයකැයි පරලොවක් නැත යන විතණ්ඩවාදය පිළිගත් අය මෙන්, නොමනාව පිළිපන්නා වූ මෙ සස්නෙන් බාහිර, බොහෝ දෘෂ්ටි ගතිකයින්ගේ මිථ්‍යාවාදයන් බිඳීම සඳහාද, මෙම අමෘත මහා නිර්වාණයාගේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන බැව් දැක්වීමට උදන් ඇනූ සේක.
එහි අජාතං අභූතං අකතං අසංඛතං යන සියලුම පද ඒ ඒ පදවලට සමානාර්ථ ඇති වචනයන්ය. නොහොත් වේදනාදීන් මෙන් හේතු ප්‍රත්‍යයයන් එකතු වීම් සංඛ්‍යාත කරුණු එකතු වීමෙන් හටනොගත්තේ, නොනිපන්නේනුයි අජාතංයි. හේතුවකින් තොරව තෙමේම හෝ නොවූයේය. පහළ නුවූයේය. නූපනැයි අභූතංයි. මෙසේ නූපන් හෙයින්ද, නුවූ හෙයින්ද යම්කිසි කරුණකින් නොකරන ලද්දේනුයි අකතංයි. උපන්, හටගත් කළ ස්වබාවය නාමරූපාදී සංඛත ධර්මයන් වේ. අසංඛත ස්වභාව ඇති නිර්වාණයට නොවේයැයි දැක්වීම සඳහා අසංඛත යැයි යූ.සේයි. ප්‍රතිලෝම වශයෙන් හෝ එකතුව හටගෙන, ප්‍රත්‍යයන්ගෙන් කරන ලදැයි සංඛතංයි. එසේ සංඛත නුවූයේ සංඛත ලක්‍ෂණ රහිත වූයේ නුයි අසංඛතයි. මෙසේ නොයෙක් කාරණයන්ගෙන් උත්පත්ති ස්වභාව සිදුවූ කල්හි, එකම කරුණෙකින් කරන ලද්දේ යයි සැකය හෙයින් යම් කිසිවකින් නොකරන ලදැයි දැක්වීමට අකතං යැයි යූ.සේයි. මෙසේ අප්‍රත්‍යය වූයේම තෙමේම මෙය (ස්වයංක්‍රීයව) වූයේද, පහළ වූයේදැයි සැකයට එය නැවැත්වීම සඳහා අභූතං යැයි යූ.සේයි. මේ මෙහි අසංඛත අකත අභූතභාවය සියල්ල එකතුව නූපදනා ස්වභාවයැයි දක්වන්ට අජාතයැයි යූ.සේයි. මෙසේ එම සිව්පදයන්ගේ සාර්ථක භාවය දැන, ඒ මෙම නිර්වාණය ‘අත්‍ථි භික්ඛවෙ’ ආදී වශයෙන් පරමාර්ථ වශයෙන් නිර්වාණයෙහි අස්ථිත්වය දක්වන ලදැයි දතයුතුය. මෙහි උදන් අනන භාග්‍යවතුන් වහන්සේ විසින් මහණෙනියි ඇමතීමෙහි හේතුව යට කියන ලද අයුරින්ම දතයුතුය.
මෙසේ ශාස්තෲන් වහන්සේ “මහණෙනි, අජාත, අභූත අකත අසංඛත යන මේවා ඇත” යයි දේශනා කොට, එහි හේතුව දක්වනුයේ නො චෙතං භික්ඛවෙ ආදිය වදාළහ. එහි මේ සංක්‍ෂේපාර්ථයයි. මහණෙනි, ඉදින් නොඉපැත්ම ආදී ස්වභාව ඇති අසංඛත ධාතුව නොවන්නේ නම්, මෙලොව ඉපැත්ම ආදී ස්වභාවයට හේතු වූ රූපාදී ස්කන්ධ පංචක සංඛ්‍යාතයෙහි නික්මීම ශේෂ රහිත සන්සිඳීම නොපැනෙන්නේය. නො ලබන්නේය. හට නොගන්නේය. නිර්වාණය අරමුණු කොට පවත්නා සම්‍යග් දෘෂ්ටි ආදී ආර්යමාර්ග ධර්ම කෙලෙසුන් ශේෂ රහිතව සිඳිත්. එහෙයින් මෙහි සියලු වෘත්ත දුක්ඛයාගේ නොපැවැත්ම, ඉවත්වීම, නික්මීම පැණේ.
මෙසේ විශේෂ වශයෙන් නිර්වාණයෙහි විද්‍යමානතාවය පෙන්වා දැන් නොඑළඹීම් වශයෙන්ද එය දක්වන්ට යස්මාච ඛො ආදිය යූ.සේයි. එය කියන ලද අර්ථමය. මෙහිද අප්‍රත්‍ය ධර්ම, අසංඛත ධර්ම’ ‘මහණෙනි, යම්තැනක පෘථිවිය නොවේද? එම ආයතනය (නිවන) ඇත. ‘යම් ආකාර වූ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීම, සියලු උපධීන් අත්හැරීමක් වේද, යන මෙම කරුණද දැකීම දුෂ්කරය.’ ‘මහණෙනි, නුඹලාට අසංඛතයද, අසංඛතගාමිණී ප්‍රතිපදාවද ඇතුලත් ධර්මය දේශනා කරන්නෙමි’ ආදී නොයෙක් සූත්‍ර පදයන්ගෙන්ද, ‘මහණෙනි, නොඉපැත්ම ඇත’ යන මෙම සූත්‍රයෙන්ද නිර්වාණ ධාතුවෙහි පරමාර්ථ වශයෙන් හටගැන්ම මුළු ලෝකයාට අනුකම්පා කරන සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිතය. එහෙයින් ඉදින් අප්‍රත්‍යක්‍ෂකාරී ප්‍රාඥයින්ට ද සැකයක් හෝ විමතියක් හෝ නැත්තේමය. අනුන් විසින් මග පෙන්විය යුතු පුද්ගලයෝ ඔවුන්ගේ සැක දුරැලීම පිණිස මේ මෙහි අදහසයි. නිර්වාණ මුඛයෙන් යුක්ති විචාරණයෙහි හෝ විශේෂයෙන් දතයුතු බැවින්, ශ්‍රේෂ්ඨ නුවූ කාමයන්ටද රූපයන්ට ද ප්‍රතිපක්‍ෂ වූ, එයට අසමාන ස්වභාවය වූ සසරින් නික්මීම පෙනේ. මෙසේද අන් ස්වභාව වූ සියලු සංඛත ධර්මයන්ට ප්‍රතිපක්‍ෂතාවයෙන්, එයට අසමාන ස්වභාව වූ නිස්සරණයෙන් විය යුතුය. යම් ආකාර වූ එම නිස්සරණය වේද, එය අසංඛත ධාතුයි. වැඩිමනක් කුමටද? අසංඛත ධර්මාරම්මණ විදර්ශනා ඥානය අනුලොම ඥානය කෙලෙස් සිඳීම් වශයෙන් අත්හරින්ට නොහැකි වේ. එසේම සම්මුති සත්‍යය අරමුණුකොට ඇති ප්‍රථම ධ්‍යානාදීන්හි ඥානයද විෂ්කම්භන වශයෙන්ම කෙලෙස් දුරුකරයි. සිඳීම් වශයෙන් නොවේ. මෙසේ අසංඛත ධර්මාරම්මණ වූද, සම්මුති සත්‍යාරම්මණ වූද, ඥානයට කෙලෙසුන්ගේ සිඳීම් වශයෙන් ප්‍රහාණයෙහි අසමත් බැවින් ඒවාහි සිඳීම් වශයෙන් ප්‍රහාණකර, ආර්යමාර්ග ඥානයෙහි එම ද්වයයටම විපරීත ස්වභාව අරමුණක් විය යුතුය. එය අසංඛත ධාතුවයි. එසේම මහණෙනි, අජාත, අභූත අකත, අසංඛතයක් ඇත යයි මෙම නිර්වාණ පදයෙහි පරමාර්ථ වශයෙන්, අස්ථීත්වය ප්‍රකාශ කරන වචනය නොවෙනස් අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත හෙයින්, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත අවිපරීතාර්ථය එය යම්සේ ‘සියලු සංස්කාර අනිත්‍යයි සියලු සංස්කාර දුක්ය. සියලු සංස්කාර අනිත්‍යයැයි වශයෙනි. එසේම නිර්වාණ ශබ්දය උපචාර මාත්‍ර පැවැත්ම යෙදෙන හෙයින් සමහර විෂයයන්හි තත්වාකාරයෙන් පරමාර්ථ විෂය වේ. සමය ශබ්දය යම්සේද එසේය. පරමාර්ථ වශයෙන් අසංඛත ධාතුව ඇත්තේමය. අනෙක එයට විපරීත විනිර්මුක්ත ස්වභාව හෙයිනි. යම්සේ පෘථුවි ධාතුව විඳීම් යයි මේ ආදී ක්‍රමයන්ගෙන් යුක්ති වශයෙන් ද, අසංඛත ධාතුවගේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන භාවය දැක්විය යුතුය.