2. දෙවන නිර්වාණ සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි ඉමං උදානං යනු මෙය නිවනෙහි ප්‍රකෘතියෙන් ගැඹුරු ස්වභාව හෙයින් දැක්ම දුෂ්කර බව දැක්වීමට උදන් ඇනූ සේක. එහි දුද්දසං යනු ස්වභාවයෙන් ගැඹුරු බැවින් ඉතා සියුම් බැවින්, රැස්නොකළ ඥාන රාශීන්ගෙන් දක්නට නොහැක්කේනුයි දුද්දසං යි යූ.සේයි. යමක් කරණකොට නුඹ ආරොග්‍යතාවය දන්නෙහිද, නිර්වාණය ද දකින්නෙහිය. එසේනම් මාගන්දිය එබඳු වූ ආර්ය පැණසක් නුඹට නැත. අනෙකක් ද යූ.සේයි. ‘යම් ආකාර වූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද යන මෙම කරුණද දැක්ම දුෂ්කරය ආදියයි. අන්තං යනු රූපාදී අරමුණුවලද, කාමාදී භවයන්හිද නැමෙන හෙයින්, එහි නැඹුරු වූ ස්වභාවයෙන් පවත්නා හෙයින්, සත්ත්වයෝ ද එහි නැමෙන හෙයින් තෘෂ්ණාව නතානමැ. මෙහි නතා නොමැතිනුයි අන්තංයි. නිර්වාණ යනු අර්ථයි. අනන්තංයිද කියවති. නිත්‍ය ස්වභාව හෙයින් අන්ත විරහිත වූයේ, චුත නොවන ස්වභාව නිරුද්ධ නොවන ස්වභාවය අමෘත යැයි අර්ථයි. සමහරු වනාහි අනන්ත යන පදයට අප්‍රමාණ යැයි අර්ථ කියති. මෙහිද දුද්දසං යන මෙයින් ප්‍රඥාව දුර්වල කරන රාගාදී කෙලෙසුන්ගෙන් බොහෝ කලක් මඩනා ලද හෙයින් සත්ත්වයන්ගේ අප්‍රත්‍යය භාවනාව (නිවන වැඩීම) පහසු නොවේයයි නිර්වාණයාගේ අවබෝධතාවය දක්වයි. ‘නහි සච්චං සුදස්සනං’ යන මෙයින්ද එම කරුණම ප්‍රකට කරයි. එහි සච්චං යනු නිර්වාණයයි. එය කිසිම ක්‍රමයකින් අසාන්ත ස්වභාව නොමැති හෙයින්, ඒකාන්තයෙන්ම ශාන්ත හෙයින් විකෘති නොවූ ආකාරයෙන් සත්‍යයැයි ගත්තේය. නහි සුදස්සනං සුවසේ නොදැකිය යුතුය. දීර්ඝ කාලයක් පුණ්‍ය, ඥාන රාශීන් රැස් කරන්නවුන් විසින්ම දුකින් අවබෝධ කළයුතු හෙයිනි. එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් මවිසින් දුකසේ අවබෝධ කරන ලද්දේ වෙමියි යූ.සේයි.
පටිවිද්ධා තණ්හා පස්සතො නත්‍ථි කිඤ්චනං යනු නිරෝධ සත්‍යය සාක්‍ෂාත් කිරීම් අවබෝධ වශයෙන් අවබෝධ කරන්නහු විසින්, විෂය වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද අරමුණු වශයෙන් ද තෘෂ්ණාව අවබෝධ කරන ලදි. මෙසේද, ආර්ය සත්‍යයන්, ආරම්මණ ප්‍රතිවේධයෙන්, නුමුළාවීම් ප්‍රතිවේධ වශයෙන්ද ප්‍රතිවේධ කරන ලදහ. විශේෂ දැනීම් අවබෝධ වශයෙන් දුක්ඛ සත්‍යයද, භාවනා අවබෝධ කිරීම් වශයෙන් මාර්ග සත්‍යයද, නුමුළාවීම් වශයෙන් අවබෝධ කරන ලද්දේ වේ. මෙසේ ප්‍රහාණ අවබෝධ කිරීම් වශයෙන් නුමුළාවීම් වශයෙන් තෘෂ්ණාව අවබෝධ කරන ලද්දේ වේ. මෙසේ චතුරාර්ය සත්‍යයන් තත්ත්වාකාරයෙන් ආර්ය මාර්ග ප්‍රඥායෙන් දන්නහුට දක්නහුට භවාදීන්හි නැමුණු ස්වභාව වූ තෘෂ්ණාව නැත. එය නොමැති කල්හි සියලු කෙලෙස් වෘත්තයාගේ අභාවයයි. එයින්ම කර්ම විපාක වෘත්තයන්ගේ හට නොගැන්ම වේම යැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ එම භික්‍ෂූන්ට ශේෂ රහිත සසර වට දුක් සන්සිඳවීමට හේතුභූත වූ අමා මහ නිවනෙහි ආනුභාව ප්‍රකාශ කළ සේක. සෙස්ස කියන ලද ක්‍රමයමය.
දෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
3. තෙවන නිර්වාණ සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි, අථඛො භගවා එතමත්‍ථං විදිත්‍වා යනු එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් සසරෙහි ආදීනව ප්‍රකාශ කරයි. මනාව දැක්වීම් වශයෙන් නිර්වාණ හා බැඳි ධර්ම දේශනා කළ කල්හි එම භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ සසර අවිද්‍යාදී කාරණයන්ගෙන් හේතු සහිතව ප්‍රකාශ කරන ලදි. නිර්වාණයෙහි හා එහි සංසිඳීම පිළිබඳ කිසි කරුණක් නො යූ.සේයි. එම නිවන අහේතුකය. කෙසේ ක්‍රියාකොට සාක්‍ෂාත් කිරීම් පරමාර්ථයෙන් ලැබේදැයි මෙවන් අදහසෙක් වීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම භික්‍ෂූන්ගේ එම කියන ලද ආකාර පරිවිතර්ක සංඛ්‍යාත අර්ථය දැන, ඉමං උදානං යනු එම භික්‍ෂූන්ගේ, සැක විනාශ කිරීමටද මෙලොව මහණ බමුණන්ගේ ‘නිර්වාණය, නිර්වාණය යැයි කියයි. එය කථන මාත්‍රයෙක්මය. පරමාර්ථ වශයෙන් නැතැයි ද, නිර්වාණය නම් නොලබන ස්වභාවයකැයි පරලොවක් නැත යන විතණ්ඩවාදය පිළිගත් අය මෙන්, නොමනාව පිළිපන්නා වූ මෙ සස්නෙන් බාහිර, බොහෝ දෘෂ්ටි ගතිකයින්ගේ මිථ්‍යාවාදයන් බිඳීම සඳහාද, මෙම අමෘත මහා නිර්වාණයාගේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන බැව් දැක්වීමට උදන් ඇනූ සේක.
එහි අජාතං අභූතං අකතං අසංඛතං යන සියලුම පද ඒ ඒ පදවලට සමානාර්ථ ඇති වචනයන්ය. නොහොත් වේදනාදීන් මෙන් හේතු ප්‍රත්‍යයයන් එකතු වීම් සංඛ්‍යාත කරුණු එකතු වීමෙන් හටනොගත්තේ, නොනිපන්නේනුයි අජාතංයි. හේතුවකින් තොරව තෙමේම හෝ නොවූයේය. පහළ නුවූයේය. නූපනැයි අභූතංයි. මෙසේ නූපන් හෙයින්ද, නුවූ හෙයින්ද යම්කිසි කරුණකින් නොකරන ලද්දේනුයි අකතංයි. උපන්, හටගත් කළ ස්වබාවය නාමරූපාදී සංඛත ධර්මයන් වේ. අසංඛත ස්වභාව ඇති නිර්වාණයට නොවේයැයි දැක්වීම සඳහා අසංඛත යැයි යූ.සේයි. ප්‍රතිලෝම වශයෙන් හෝ එකතුව හටගෙන, ප්‍රත්‍යයන්ගෙන් කරන ලදැයි සංඛතංයි. එසේ සංඛත නුවූයේ සංඛත ලක්‍ෂණ රහිත වූයේ නුයි අසංඛතයි. මෙසේ නොයෙක් කාරණයන්ගෙන් උත්පත්ති ස්වභාව සිදුවූ කල්හි, එකම කරුණෙකින් කරන ලද්දේ යයි සැකය හෙයින් යම් කිසිවකින් නොකරන ලදැයි දැක්වීමට අකතං යැයි යූ.සේයි. මෙසේ අප්‍රත්‍යය වූයේම තෙමේම මෙය (ස්වයංක්‍රීයව) වූයේද, පහළ වූයේදැයි සැකයට එය නැවැත්වීම සඳහා අභූතං යැයි යූ.සේයි. මේ මෙහි අසංඛත අකත අභූතභාවය සියල්ල එකතුව නූපදනා ස්වභාවයැයි දක්වන්ට අජාතයැයි යූ.සේයි. මෙසේ එම සිව්පදයන්ගේ සාර්ථක භාවය දැන, ඒ මෙම නිර්වාණය ‘අත්‍ථි භික්ඛවෙ’ ආදී වශයෙන් පරමාර්ථ වශයෙන් නිර්වාණයෙහි අස්ථිත්වය දක්වන ලදැයි දතයුතුය. මෙහි උදන් අනන භාග්‍යවතුන් වහන්සේ විසින් මහණෙනියි ඇමතීමෙහි හේතුව යට කියන ලද අයුරින්ම දතයුතුය.