3. සක්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි කාමෙසු යනු වස්තුකාමයන්හි, අතිවෙලං වේලාව ඉක්මවා සත්තා යනු නුනුවණින් මෙනෙහි කිරීම් බහුල හෙයින් විද්‍යමාන වූද, ආදීනව නොබලා, ආශ්වාදයම සිහිකොට ඇලීම් වශයෙන් සත්ත්වයෝ ඇලුනාහු, ලග්න වූවාහු යයි අර්ථයි. රත්තා යනු වර්ණ ජාතිවලින් වස්ත්‍රයක් මෙන්, සිතෙහි වෙනස් ස්වභාව කිරීමෙන් ඡන්‍දරාගයෙන් ඇලුනාහු මනාව ඇලුනාහු, ගිද්ධා යනු සකස් කිරීම් ස්වභාවයෙන් දැඩි ලෝභ කිරීමෙන් ගිජු වූවාහු, බලවත් ඇල්මට පැමිණියාහු, ගථිතා යනු ගොතන ලද්දක් මෙන්, මිදීම දුෂ්කරභාවයෙන් එහි බැඳුනාහු, මුච්ඡිතා යනු කෙලෙස් වශයෙන් විසඥ වූවාහු මෙන්, අන් කෘත්‍යයක් නොමැති සේ මුළා වූවාහු මෝහයට පැමිණියාහු, අජ්ඣොපන්නා යනු අන්‍යයන්ට සාධාරණ නොවන මෙන් කොට ගිල නිමකොට සිටියාහු, සම්මත්තකජාතා යනු කාමයන්හි හෙළීම් ස්වභාවයට පැමිණෙන්නාහු අල්පසුව වේදනාවෙන්, ඉතා මත්වූවාහු මනාව මත්වූවාහුය. සම්මොදක ජාතායිද පාඨයි. උපන් සතුටින්, උපන් මහත් සතුටින් යැයි අර්ථයි. සියලුම පදයන්ගෙන් ඔවුන්ගේ තෘෂ්ණාවෙන් විපතට පත් භාවයම කියයි. මෙහිද පළමුව කාමයන්හි යැයි කියා, නැවතද කාමයන්හි යැයි කීම එම සත්ත්වයින්ගේ එහි අධික ලෙස යෙදුණු බව දැක්වීම සඳහාය. ඉන් සියලු ඉරියව්හි කාමගුණයන්ගෙන් යුක්තව එකල්හි වාසය කළහයි දක්වයි.
එකල්හි ආර්යශ්‍රාවකයින් හැර සියලු සැවැත්වාසීහු උත්සවයක් දැනුම් දී සම්පත් ඇති අයුරින් ක්‍රීඩා භූමිය පිළියෙලකොට අනුභව කරන්නාහු - පානය කරන්නාහු ප්‍රකටවද රහසින්ද කාමයන් අනුභව කරන්නාහු, ඉන්‍ද්‍රියයන් පිනවන්නාහු කාමයන්හි හෙළීමට පැමිණියහ. භික්‍ෂූහු සැවත පිඬු පිණිස සරන්නාහු ඒ ඒ ගෘහයන්හි, මල් හෝ පලතුරු වතු උයන් ආදීන්හිද මිනිසුන් උත්සවයක්, දැනුම් දී කාම නිම්නව, එසේ පිළිපදිනවුන් දැක වෙහෙරට ගොස් මෘදු මොළොක් දම් දෙසුමක් ලබන්නෙමුයි භාග්‍යවතුන් වහන්සේට එකරුණ සැළ කළහ. එහෙයින් අථඛො සම්බහුලා භික්ඛු -පෙ- කාමෙසු විහරන්තියි යූ.සේයි.
එතමත්‍ථං විදිත්‍වා යනු එම සිත්කලු මත්පැන් බීමේ උත්සවයට සෑදූ මණ්ඩපයන්හි, මහත් දාහ ඇතිකරන, නොයෙක් අනර්ථයන් ලුහුබඳනා භයානක, ඉවසිය නොහැකි, කටුක විපාක ගෙනදෙන කාමයන්හි ආදීනව නොදක්නා සුළු ඒ මිනිසුන්ගේ කාමාදීනව සර්වප්‍රකාරයෙන් දැන කාමයන්ගේද, කෙලෙසුන්ගේද, ආදීනව පැහැදිලි කිරීමට මෙ උදන් ඇනූ සේක.
එහි කාමෙසු සත්තා යනු කාමවස්තූන්හි ක්ලේශකාම වශයෙන් සිත් ඇලවූවාහු, මත්වූවාහු, ඇලුනාහු, පැටලුනාහු, එල්බුනාහු, එක්වුනාහු, කාමෙසු සංගා යනු එම කාම නමැති ශාස්ත්‍රයෙන්, වස්තුකාමයන්හි රාග නමැති බැම්මෙන්ද දෘෂ්ටි, මාන, ද්වේෂ, අවිද්‍යා යන බැමිවලින්ද, ඇලුනාහු තෘෂ්ණාවෙන් බැඳුනාහු. සංයොජනෙ වජ්ජ ම පස්ස මානා යනු කම්වට, විපාක වට වශයෙන් භවාදීන්හි හෝ භවාන්තරාදීන්හි සත්ත්වයා දුක්ඛයන්හි යොදවන හෙයින් බඳවන හෙයින් සංයෝජන නමැ. එම කාමරාගාදී කෙලෙස් සමූහය සංයෝජනීය ධර්මයන්හි ආශ්වාද අනුව බලන හෙයින් සංසාර වෘත්ත දුකට මූලික භවාදී දෝෂයන්හි ආදීනව නොදක්නාහු, නහි ජාතු සංයෝජන සංග සත්තා ඔඝං තරෙය්‍යුං විපුලං මහන්තං යනු මෙසේ දොස් නොදක්නා ස්වභාවයෙන්, සංයෝජන ස්වභාව වූ බැමිවල සංයෝජන සංඛ්‍යාත වූ බැමිවලින්, ඒවාට විෂය වූ, ත්‍රෛභූමික ධර්මයන්හි සත්ත්වයෝ, මහත් සේ ගොදුරුවන හෙයින්ද, කෙළවරක් නොමැති කාලය හෙයින් ද, මහත් සේ පැතිරුණු හෙයින් ද, මහත් වූ කාමාධී ඕඝ හෝ සංසාර ඕඝයම හෝ කිසිකලෙකත් තරණය නොකරන්නාහුය. ඒකාන්තයෙන්ම එම ඕඝයාගේ පරතෙරට නොයන්නාහු යයි අර්ථයි.
තෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
4. දෙවෙනි සක්ත සූත්‍ර වර්ණනාව
සිව්වැන්නෙහි අන්‍ධීකතා යනු කාමයෝ නම් අන්‍ධනු වූ අයද අන්‍ධ කෙරෙත්.
දෙසූ පරිදි,
ලුද්ධො අත්‍ථං න ජානාති - ලුද්ධො ධම්මං න පස්සති
අන්‍ධන්තමං තදාහොති - යං ලොභො සහතෙ තරංන්ති
ලෝභියා යහපත නොදනියි. ලෝභියා ධර්මය නොදකියි. යම් පුද්ගලයෙකු ලෝභය ඉවසයිද එකල්හි අඳුර හා අන්‍ධභාවය වේ.
එහෙයින් කාමයෙන් අන්ධ නුවූ අය අන්ධ කරන ලද්දේනුයි අන්‍ධීකතායි. සෙස්ස අනතුරු සූත්‍රයෙහි යූ.සේමැයි. එහි මිනිසුන්ගේ පැවැත්ම භික්‍ෂූන් විසින් දැක භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. මෙහි භාග්‍යවතුන් වහන්සේ තමන්ම දක්නා ලදි යන මෙයම විශේෂයයි. ශාස්තෲන් වහන්සේ සැවතින් නික්ම දෙව්රමට වැඩම කරනුයේ අතරමග අචිරවතී නදියෙහි මත්ස්‍ය බන්ධකයන් විසින් අටවන ලද, කෙමිනට පිවිස ඉන් පිටවීමට නොහැකි බොහෝ මසුන් දිටි සේක. ඉන් මඳ වේලාවකට පසු එක් කිරිබොන වස්සෙක් ගවහඬ කොට ලුහුබැඳ, තනකිරි පිපාසාවෙන් ග්‍රීවය දිගුකොට මවගේ කලවා අතරත මුව එළවන්නහු දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වෙහෙරට පිවිස පා ගල්වා, පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ හුන්නේ, පශ්චිම වස්තු ද්වයය, පළමුවැන්නට උපමා භාවයෙන් ගෙන මෙ උදන් ඇනූ සේක.