චූල්ල වර්ගය
1. ප්‍රථම භද්දිය සූත්‍ර වර්ණනාව
චූල වර්ගයෙහි පළමුවැන්නෙහි ලකුණ්ටක භද්දියං යන මෙහි භද්දිය යනු එම ආයුෂ්මතුන්ගේ නාමයයි. සිරුර මිටි බැවින් ලකුණ්ටක භද්දිය යැයි ඔහු හඳුනත්. හෙතෙම වනාහි සැවැත්නුවර වාසී මහත් ධන ඇති, මහාභෝග ඇති රූපයෙන්, නින්දා ලද, දුර්වර්ණ, අයහපත් පෙනුමක් ඇති, මිටි කුලපුත්‍රයෙකි. හෙතෙම එක්දිනක් ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ වාසය කරන කල්හි උවසුවන් සමග වෙහෙරට ගොස් ධර්මදේශනා ශ්‍රවණයකොට ලද ශ්‍රද්ධා ඇතියේ පැවිදිව ලද උපසම්පදා ඇතියේ ශාස්තෲන් වහන්සේ හමුයෙහි කමටහන් ගෙන විදර්ශනාවට ක්‍රියා කරනුයේ සෝවාන් ඵලයට පැමිණියේය. එකල්හි ශෛක්‍ෂ්‍ය භික්‍ෂූහු බොහෝ සෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළැඹ, මතු මාර්ග සඳහා කමටහන් ඉල්වති. දම් දෙසුම් ඉල්වති. ප්‍රශ්න විචාරති. හෛතම ඔවුන්ගේ අදහස් පුරවනුයේ කමටහන් කියයි. දම් දෙසයි. පැන විසඳයි. ඔව්හු උත්සාහ කරන්නාහු ව්‍යායාම කරන්නාහු ඇතැමෙක් සකෘදාගාමි ඵලයද, ඇතැමෙක් අනාගාමී ඵලයද, ඇතැමෙක් අර්හත්වයද, ඇතැමෙක් ත්‍රිවිද්‍යාවද, ඇතැමෙක් ෂට් අභිඥාවන්ද, ඇතැමෙක් සිව් පිළිසිඹියාවන්ද අවබෝධ කරති. ඔවුහු දැක ලකුණ්ටක භද්දියද ශෛක්‍ෂ්‍ය සමාන වූයේ කල්දැන, තම සිත්හි යෝග්‍යතාවයද, කෙලෙස් තුනී කිරීමේ තත්ත්වයන්ද, ප්‍රත්‍යවේක්‍ෂා කොට, දම්සෙනෙවි කරා එළැඹ කරන ලද පිළිසඳර ඇත්තේ, සතුටු වනුයේ ධර්මදේශනය සඳහා යාඥා කළේය. ඔහුද මොහුගේ අදහසට අනුරූප ධර්ම කථාවක් දේශනා කළේය. එහෙයින් තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ලකුණ්ටක භද්දියං අනෙකපරියායෙන ධම්මියා කථාය සන්‍දස්සෙතියි ආදිය යූ.සේයි.
එහි අනෙක පරියායෙන යනු මේ කරුණින් ද පංච ස්කන්ධයන් අනිත්‍යයි. මේ කරුණින් ද දුක්ය. මේ කරුණින් ද අනාත්මයැයි මෙසේ නොයෙක් කාරණයන්ගෙන්, ධම්මියා කථාය යනු පංච උපාදාන ස්කන්ධයන්ගේ හටගැනීම්, විනාශවීම් ආදිය ප්‍රකාශ කිරීමෙහිලා පැවැති දැහැමි කථාවෙන්, සන්‍දස්සෙති යනු එම අනිත්‍යාදී ලක්‍ෂණයන්ම උදයව්‍යයාදී වශයෙන් මනාව දක්වයි. අතින් ගෙන මෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් දක්වයි. සමාදපෙති යනු එහි ලක්‍ෂණාරම්මණික විදර්ශනාව මනාව ගනී. යම්සේ වීථි වීථි ප්‍රතිපන්නව පවතීද? එසේ ගන්වයි. සමුත්තෙජෙති යනු ආරබ්ධ විදර්ශනාවෙන් සංස්කාරයන්ගේ උදයව්‍යයන් වැටහෙන කල්හි සුදුසු කල්හි පග්‍රහ නිග්‍රහ මනාව බැලීමෙන් බොජ්ඣංගයන් අනුව පැවැත්මෙන් භාවනාව මධ්‍යම වීථියට බස්වා යම්සේ විදර්ශනා ඥානය මනා ප්‍රසන්නව පවතීද, එසේ ඉන්‍ද්‍රියයන්ගේ ප්‍රකටභාවය කිරීමෙන් විදර්ශනා සිත මනාව උත්තේජනය කරයි. ප්‍රකට කිරීම් වශයෙන් පිරිසිදු කරයි. සම්පහංසෙති යනු එසේ පවත්වාගෙන යනු ලබන විදර්ශනාවගේ සමව පැවැති වැඩීම් වශයෙන් ද, මතු ලැබිය යුතු භාවනා බලයෙන් ද සිත මනාව තුටුපහටු කරයි. ලද ආශ්වාද වශයෙන්ම හෝ මනාව සතුටු කරයි. අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි යනු යම් යම් අයුරෙකින් දම්සෙනෙවි දම් දෙසයිද? ඒ ඒ ආකාරයෙන්, සත්‍ය ලක්‍ෂණය විදර්ශනා කරන තෙරුන්ට දේශනානුභාවයෙන් තමාගේද උපනිශ්‍රය සම්පත්තියෙන් ඥානයාගේ මේරීමට ගියහෙයින් දේශනානුසාරයෙන් ඥානයන් අනුව පවත්නා කල්හි කාමාසවාදීන් අතරෙහි කිසි ආශ්‍රවයක් නොගෙන මාර්ග පිළිවෙලින්ම ශේෂ රහිතව කෙලෙසුන්ගෙන් සිත මිදුණි. අර්හත් ඵලය සාක්‍ෂාත් කරන ලදැයි අර්ථයි.
එතමත්‍තං විදිත්‍වා යනු ආයුෂ්මත් ලකුණ්ටක භද්දියගේ එම අර්හත්වය සැලකිරීම් සංඛ්‍යාත අර්ථය සියලු ආකාරයෙන් දැන එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
එහි උද්ධං යනු රූප ලෝකයෙහිද, අරූප ලෝකයෙහිද අධො යනු යට කාමලෝකයෙහි, සබ්බධි යනු සියලුම සංස්කාරයන්හි, විප්පමුත්තො යනු පූර්වභාගයෙහි විෂ්කම්භන විමුක්තියෙන් ද අපරභාගයෙහි සමුච්ඡේද, පටිප්පස්සද්ධි යන විමුක්තීන්ගෙන් සර්වප්‍රකාරයෙන් මිදුනේ, මෙහිද උද්ධං විප්පමුත්තො යනු ඉන් පස්වැදෑරුම් උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය දක්වයි. අධො විප්පමුත්තො යනු ඉන් පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජන ප්‍රහාණය දක්වයි. සබ්බධි විප්පමුත්තො යනු ඉන් ඉතිරි සියලුම අකුසල ප්‍රහාණය දක්වයි. නොහොත් උද්ධං යනු අනාගත කාල ග්‍රහණයයි. අධො යනු අතීත කාල ග්‍රහණයයි. ද්විග්‍රහණයෙන්ම ඒ හා යෙදුන හෙයින් වත්මන් කල ගන්නා ලද්දේ වේ. එහි අනාගත කාල ග්‍රහණයෙන් අනාගත ස්කන්ධ ආයතන ධාතූන් ගන්නා ලදහ. සෙසු පදයන්හි ද එම ක්‍රමයමැයි. සබ්බධී යනු කාම භේදාදී සියලුම භවයන්හි, මෙය යූ.සේයි. අනාගත, අතීත, වර්තමාන යැයි මෙසේ කාලත්‍රයයෙන් සංගෘහිත සියලුම භවයන්ගෙන් මනාව මිදුණේ,