2. ද්විතීය භද්දිය සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි, සෙක්ඛං මඤ්ඤමානො යනු මෙතෙමේ ශෛක්‍ෂ්‍යයැයි හඟිමින් එහි මේ වචනාර්ථයයි. හික්මේනුයි සෙක්ඛොයි. කුමක් හික්මේද? අධි චිත්තයද, අධි ප්‍රඥාවද වේ. නොහොත් හික්මීම ශික්‍ෂායි. එය ඔහුගේ සීල යනුයි සෙක්ඛොයි. හෙතෙම සම්පූර්ණ නොවූ ශික්‍ෂා හෙයින්, එහි අධික ලෙස යෙදුණු හෙයින්ද ඒකාන්තයෙන් හික්මෙන ස්වභාව යනුයි. නොනිමි ශික්‍ෂා හෙයින් අශෛක්‍ෂයෙක් මෙන් එහි සන්සිඳුනු ශික්‍ෂා ඇත්තේ, අත්හළ ශික්‍ෂා ඇත්තේ නොවේ. බොහෝ ජනයා මෙන් එහි නො ඇලුනේ නොවේ. නොහොත් ආර්ය උපතෙහි ත්‍රිශික්‍ෂාවන්හි උපදනා ලදුයේ එහි හෝ වේනුයි ශෛක්‍ෂ්‍යයි. භීය්‍යො සොමත්තාය යනු ප්‍රමාණයෙන් මත්තෙහි, ප්‍රමාණය ඉක්මවා, ඉතා අධිකයි යන අර්ථයි. ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය පළමු සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන් ප්‍රථම අවවාදයෙන් හුන් අයුරින්ම ආශ්‍රවක්‍ෂයයට පැමිණියේය. දම්සෙනෙවි ඔහුගේ එම අර්හත්ව ප්‍රාප්තිය අනාවර්ජනයෙන් නොදැන ශෛක්‍ෂ්‍යයෙක්මයැයි හඟිනුයේ ස්වල්පයක් යාඥා කරන ලදුයේ බොහෝවක් දෙන්නා වූ උදාර පුරුෂයෙකු මෙන් වඩ වඩා නොයෙක් ක්‍රමයෙන් ආශ්‍රවක්‍ෂය සඳහා ධර්මය දේශනා කෙරේමය. ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙමේද, මම දැන් කරන ලද කෘත්‍ය ඇත්තේ වෙමි. මෙම අවවාදයෙන් කවර ප්‍රයෝජනදැයි නොසිතා සදහම් ගෞරවයෙන් පෙර මෙන් සකස්ව ශ්‍රවණය කෙරේමය. භාග්‍යවතුන් වහන්සේ එයදැක ගඳකිළියෙහි වැඩහුන්නේම, යම්සේ දම්සෙනෙවි ඔහුගේ ක්ලේශක්‍ෂය දනීද, බුද්ධානුභාවයෙන් එසේකොට මෙ උදන් ඇනූ සේක. එහෙයින් තෙන ඛො පන සමයෙන යන ආදිය යූ.සේයි. එහි යමක් කිවයුතුද, එය අනතුරු සූත්‍රයෙහි යූ.සේමය.
අච්ඡෙච්ඡි වට්ටං යනු ශේෂ රහිතව කෙලෙස්වට සින්දේය. කෙලෙස් වට සිඳි කල්හි කම් වටද සිඳින ලද්දේමය. නිරාසං යනු තෘෂ්ණාව ආසායයි කියයි. මෙහි ආසාව නැත්තේනුයි නිරාසංයි. නිර්වාණයයි. එම නිරාශාවට විශේෂයෙන් ගියේ අවබෝධ කළේනුයි බ්‍යාගායි. අග්‍ර මාර්ගයාගේ අවබෝධ කරන ලද හෙයින් නැවත අවබෝධ කිරීමෙන් තොර හෙයින් අවබෝධ කරන ලදැයි අර්ථයි. තෘෂ්ණාව දුක් හටගැනීමෙහි හේතුව වූයේ එහි ප්‍රහාණයෙන් ප්‍රහීණ නුවූ ක්ලේශයක් නම් නැත. ඔහුගේ එම තෘෂ්ණා ප්‍රහාණය විශේෂයෙන් දක්වනුයේ විසුක්ඛා සරිතා න සන්‍දති යි වදාළහ. එහි අර්ථය සිව්වන හිරුගේ පහළවීමෙන් මහ ගංගා වියැලෙන්නාක් මෙන් සිව්වන මාර්ග ඥානෝත්පාදයෙන් ශේෂ රහිතව විසුක්ඛා තෘෂ්ණා නදිය වියලවන ලදි. නදිය න සන්‍දති මෙතැන් සිට නොපවතියි. තෘෂ්ණාව වනාහි ගඟයැයි කියයි. යම්සේ වනාහි ගංගාවන්හි තෙත් ගති සමාන සොම්නස් සත්ත්වයාට වෙති. තෘෂ්ණා ගඟ ආදීන්හිද යෙදේ. ඡින්නං වට්ටං න වට්ටති යනු මෙසේ කෙලෙස්වට සිඳීමෙන් සිඳින ලද වට ඇත්තේ නූපදනා ස්වභාවයට විපාක නොදෙන ස්වභාවයට පැමිණවීමෙන් සිඳින ලද කම්වට නොවටයි. නොපවතියි. එසෙවන්තො දුක්ඛස්ස යනු සර්වප්‍රකාරයෙන් කෙලෙස් වෘත්ත අභාවයෙන් කර්ම වෘත්තයාගේ නොපැවැත්ම, හෙතෙම මත්තෙහි විපාක වෘත්තයාගේ ඒකාන්තයෙන්ම අනුත්පාදයම සියලු සංසාර, වෘත්තයාගේ අන්තය චක්‍රිය චලනතාවයේ වෙන් කිරීමයි.
දෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
3. සක්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි කාමෙසු යනු වස්තුකාමයන්හි, අතිවෙලං වේලාව ඉක්මවා සත්තා යනු නුනුවණින් මෙනෙහි කිරීම් බහුල හෙයින් විද්‍යමාන වූද, ආදීනව නොබලා, ආශ්වාදයම සිහිකොට ඇලීම් වශයෙන් සත්ත්වයෝ ඇලුනාහු, ලග්න වූවාහු යයි අර්ථයි. රත්තා යනු වර්ණ ජාතිවලින් වස්ත්‍රයක් මෙන්, සිතෙහි වෙනස් ස්වභාව කිරීමෙන් ඡන්‍දරාගයෙන් ඇලුනාහු මනාව ඇලුනාහු, ගිද්ධා යනු සකස් කිරීම් ස්වභාවයෙන් දැඩි ලෝභ කිරීමෙන් ගිජු වූවාහු, බලවත් ඇල්මට පැමිණියාහු, ගථිතා යනු ගොතන ලද්දක් මෙන්, මිදීම දුෂ්කරභාවයෙන් එහි බැඳුනාහු, මුච්ඡිතා යනු කෙලෙස් වශයෙන් විසඥ වූවාහු මෙන්, අන් කෘත්‍යයක් නොමැති සේ මුළා වූවාහු මෝහයට පැමිණියාහු, අජ්ඣොපන්නා යනු අන්‍යයන්ට සාධාරණ නොවන මෙන් කොට ගිල නිමකොට සිටියාහු, සම්මත්තකජාතා යනු කාමයන්හි හෙළීම් ස්වභාවයට පැමිණෙන්නාහු අල්පසුව වේදනාවෙන්, ඉතා මත්වූවාහු මනාව මත්වූවාහුය. සම්මොදක ජාතායිද පාඨයි. උපන් සතුටින්, උපන් මහත් සතුටින් යැයි අර්ථයි. සියලුම පදයන්ගෙන් ඔවුන්ගේ තෘෂ්ණාවෙන් විපතට පත් භාවයම කියයි. මෙහිද පළමුව කාමයන්හි යැයි කියා, නැවතද කාමයන්හි යැයි කීම එම සත්ත්වයින්ගේ එහි අධික ලෙස යෙදුණු බව දැක්වීම සඳහාය. ඉන් සියලු ඉරියව්හි කාමගුණයන්ගෙන් යුක්තව එකල්හි වාසය කළහයි දක්වයි.