10. උදෙන සූත්ර වර්ණනාව
දසවැන්නෙහි, රඤ්ඤො උදෙනස්ස යනු යමෙක් වජ්ජි රජු යයි කියයිද, එම උදේන නම් රජුගේ, උය්යාන ගතස්ස යනු උයන්කෙළි සඳහා උයනට ගියහුට, මෙහි අනදරාර්ථයෙහි ෂෂ්ඨියි. අන්තෙපුරං යනු දනව්ව අපේක්ෂාකොට, මෙය සම්බන්ධාර්ථයෙහි ෂෂ්ඨියි. කාලං කතානි යනු ගින්නෙන් දැවී මළාහු වෙති. සාමාවතී පමුඛානි යන මෙහි මෙම සාමාවතී කවර තැනැත්තියක්ද? කෙසේ දැවිනිද? කියනු ලැබේ. භද්දවතී සිටුහුගේ දියණිය ඝෝෂක සිටුහු විසින් ධීතෲ ස්ථානයෙහි තබනලදුව පන්සියයක් ස්ත්රීන් පිරිවරා උදේන රජුගේ අග්ර මහේෂිකාව වූයේ, මෛත්රී විහරණ බහුල ආර්යශ්රාවිකා සාමාවතී නමැ. මෙය කෙටි විස්තරයයි. විස්තර වශයෙන් වනාහි මුලපටන් සාමාවතියගේ උත්පත්ති කථාව ධම්මපද වස්තුවෙහි කියන ලද ක්රමයෙන් දතයුත්තාහ. මාගන්දිය නම් බමුණුගේ දියණියයි. තම මව්පියන්ට -
දිස්වාන තණ්හං අරතිං රහඤ්ච - නාහොසි ඡන්දො අපි මෙථුනස්මිං
කිමෙවිදං මුත්තකරීස පුණ්නං - පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ
කිමෙවිදං මුත්තකරීස පුණ්නං - පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ
තෘෂ්ණා, අරති, රගා යන මර දූවරුන් ද දැක මෛථුනයෙහි කැමැත්තක් නොවීය. මළ මුත්ර පිරුණු මෙය කිමෙක්ද? මැය මාගේ පාවලින්ද ස්පර්ශ කිරීමට නොකැමැත්තෙමි.
යන භාග්යවතුන් වහන්සේ විසින් දේශිත මෙම නය අසා ශාස්තෲන් වහන්සේ කෙරෙහි බඳනා ලද ක්රෝධ ඇති මාගන්දිය පසුකල්හි උදේන රජුගේ අගමෙහෙසුන් තනතුරෙහි තබන ලදි. භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවරට එළැඹි බවද, සාමාවතී ප්රමුඛ පන්සියයක් ස්ත්රීන්ගේ උපාසිකා භාවයට පත් බවද දැන, ශ්රමණ ගෞතමයන් වහන්සේ මෙනුවර පැමිණියේය. දැන් ඔහුට කළයුත්ත දන්නෙමි මෑලාද ඔහුගේ උපස්ථායිකාවන්ය. සාමාවතී ප්රමුඛ මෑලාටද කළයුත්ත දන්නෙමියි නොයෙක් ක්රමයෙන් තථාගතයන් වහන්සේටද ඈලාටද අනර්ථයක් කරන්ට උත්සාහ කොට ද නොහැකි වනුයේ, නැවත එක්දිනක් රජු සමග උයන්කෙළියට යනුයේ සුළු පියාට, සාමාවතිය ගේ පහයට ගොස් වස්ත්ර කොටුගුල්, තෙල් කොටුගුල් විවර කරවා, වස්ත්ර තෙල් සැළිවල තෙමා ස්ථම්භයන් වෙලා, ඈලා සියල්ල එක්කොට දොරවල් වසා, පිටත යන්ත්රයක් සවිකොට, දඬු පහන්වලින් ගෙට ගිනි දෙමින් බැස එනු යයි පණිවුඩයක් යැවීය.
හෙතෙම එය අසා, පහයට නැග කොටුගුල් විවරකොට, වස්ත්ර තෙල් සැළිවල පොඟවා ස්ථම්භයන් වෙලීමට ඇරඹීය. ඉක්බිති සාමාවතී ප්රමුඛ ස්ත්රීහු, සුළු පියාණෙනි, මේ කිමෙක්දැයි කියමින් ඔහු කරා එළැඹුනහ. මෑණිවරුනි, රජු දැඩි කිරීම (ශක්තිමත්) කිරීම සඳහා ස්ථම්භයන් තෙල් වස්ත්රවලින් වෙළවයි (ඔතවයි) රජගෙහි මනා යෙදීම්, නොමනා යෙදීම් දැන ගැනීම දුෂ්කරය. මා සමීපයෙහි නොවව් යයි කියා ආවා වූ ඈලා ගර්භයන්ට (කාමර) ප්රවේශ කරවා දොරවල් වසා පිටත යන්ත්රයක් දී, මුල පටන් ගිනි දෙමින් බැස්සේය. සාමාවතිය ඈලාට මව්වරුනි, අනවරාග්ර සංසාරයෙහි හැසිරෙන්නියෝ වූයේම, ගින්නෙන් දැවුණු ආත්මභාවයන්ගේ පිරිසිඳීම බුදු නැණින් ද පහසු නොවේ. පමා නොවව් යයි අවවාද දුන්නීය. ඈලා බුදුරදුන් හමුයෙහි දහම් අසා, පැමිණි මාර්ගඵල ඇති ශාස්තෲ ශාසනයි දත් අශෛක්ෂ්ය ප්රතිසම්භිදා ප්රාප්ත ඛුජ්ජුත්තරා ආර්ය ශ්රාවිකාව විසින්, ශාස්තෲන් වහන්සේ විසින් දේශනා කරන ලද ක්රමයෙන්ම ධර්මය දේශනා කරනු ලබන්නී ඇය හමුයෙහි සෝවාන් ඵලය අවබෝධ කරන ලද්දාහු අතරතුර කමටහන් මෙනෙහි කිරීමෙහි මනාව යෙදුනාහු, ගෙය දැවී යන කල්හි වේදනා පරිග්රහ කමටහන මෙනෙහි කරන්නියෝ සමහරු දෙවන ඵලයට ද, සමහරු තෙවන ඵලයටද පත්ව කළුරිය කළහ. ඉක්බිති භික්ෂූහු කොසඹෑ නුවර පිඬු පිණිස හැසිරෙන්නාහු එපවත් දැන, පසුබත්හි භාග්යවතුන් වහන්සේට සැළකොට ඈලාගේ මරණින් මතු භවය පිළිබඳ විමසූහ. භාග්යවතුන් වහන්සේද ඈලාගේ ආර්යඵල අධිගමය භික්ෂූන්ට වදාළේය. එහෙයින් තෙන ඛො පන සමයෙන රඤ්ඤො උදෙනස්ස -පෙ- අනිප්ඵලා කාලං කතා යි යූ.සේයි.