9. උපාති සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි රත්තන්‍ධකාර තිමිසායං යනු රාත්‍රී අන්ධකාරයෙහි මහ ගනඳුරෙහි, රාත්‍රියෙහි ද යම් පසළොස්වක සඳරැසින් බබලන රැය අන්ධකාර විරහිත වේ. අන්‍ධකාරයද වලාකුල් මීදුම් ආදී උපක්ලේශ විරහිතව, වැසි වස්නා කල්හි, ගනඳුර නොමැති කල්හි අඳුරයැයි නොකිව යුතුය. මහ ගනඳුර ‘තිමිසා’යි කියයි. මෙය වනාහි අමාවක රැය, වැසි වලා පටලයෙන් වැසුනේ වේ. එහෙයින් රත්තන්‍ධකාර තිමිසායං’යි යූ.සේයි. අඳුරු රැයෙහි ගනඳුරෙහි යැයි අර්ථයි. අබ්භොකාසෙ යනු නොවැසුන අවකාශයෙහි වෙහෙර මලුවෙහි, තෙලපදීපෙසු ඣායමානෙසු යනු තෙල් පහන් දැල්වෙන කල්හි,
භාග්‍යවතුන් වහන්සේගේ අවට විහිදෙන ආලෝකය ප්‍රකෘතියෙන්, බඹයක් පමණ ප්‍රදේශයක පතුරුවා, සඳහිරු ආලෝකය මැඩ ඝන බුද්ධාලෝකයක් විහිදුවන්නේ නොවේද? අඳුර විනාශකොට සිටියි. ශරීරාලෝකයද, නිල් කහ ආදී වශයෙන් ෂට් වර්ණ ඝන බුද්ධ රශ්මීන් විහිදුවා ප්‍රකෘතියෙන්ම හාත්පස අසූරියනක් ප්‍රදේශය බබලවමින් සිටියි. මෙසේ බුද්ධාලෝකයෙන්ම ඒකාලෝක වූ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ වැඩහුන් ප්‍රදේශය පහන් දැල්වීම් කරණයෙහි කිසක් නොමැතිද? සත්‍යයකි. කිසක් නැත. එසේද වුවත්, පුණ්‍යාර්ථී උපාසකවරු භාග්‍යවතුන් වහන්සේටද භික්‍ෂු සංඝයාටද, පූජා කිරීම සඳහා දිනපතා තෙල් පහන් ගෙනැවිත් තබත්. එසේම සාමඤ්ඤඵලයෙහි ද ‘එම මණ්ඩල මාලයෙහි පහන් පිළිස්සෙති. රත්තන්‍ධකාර තිමිසායං යන මෙයද එම රැයෙහි ස්වභාවය වර්ණනා කිරීම සඳහා යූ.සේයි. භාග්‍යවතුන් වහන්සේගේ වැඩහුන් අවකාශය අඳුරු භාවයෙන් මඩින්නේ නොමැත. එකල්හිද උපාසකවරුන් විසින් පූජා කිරීම සඳහාම පහන් දල්වන ලද්දාහු වෙති.
එදිනයෙහිද සැවැත්නුවර වැසි බොහෝ උපාසකවරු, උදෑසනම සිරුර පිළිදැගුම් කොට, වෙහෙරට ගොස් පොහොය අටසිල් සමාදන්ව, බුදුපාමොක් බික්සඟනට ආරාධනාකොට, නුවරට පිවිස මහදන් පවත්වා භාග්‍යවතුන් වහන්සේද බික්සඟනද අනුව ගොස් නැවතී තම තමන්ගේ නිවෙස්වලට ගොස් තෙමේද අනුභවකොට පිරිසිදු වස්ත්‍ර හඳින ලද්දාහු පිරිසිදු උතුරුසළුවලින් ද යුක්තව, සුවඳ මල් ආදිය ගත් අතැතිව වෙහෙරට ගොස් භාග්‍යවතුන් වහන්සේට පූජාකොට සමහරු සිත්ගන්නා භික්‍ෂූන් ඇසුරු කරන්නාහු. සමහරු නුවණින් මෙනෙහි කරන්නාහු දිවාකාලය ඉක්මවූහ. ඔව්හු සවස්කල්හි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දහම් ශ්‍රවණය කොට, ශාස්තෲන් වහන්සේ දම්සබා මණ්ඩපයට සම්ප්‍රාප්ත වූ කල්හි, ගඳකිළි සමීපයෙහි අබ්‍යාවකාශයෙහි පනවන ලද, උතුම් බුද්ධාසනයෙහි වැඩහුන්නේ බික්සඟනද, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ ආශ්‍රය කරන කල්හි උපොසථ විශෝධනය සඳහාද නුවණින් මෙනෙහි කිරීම් විශේෂ වර්ධනය සඳහාද නුවරට නොගොස් විහාරයෙහිම වසනු කැමැත්තාහු නතරවූහ. ඉක්බිති ඔව්හු භාග්‍යවතුන් වහන්සේටද බික්සඟනටද පූජා කිරීම සඳහා බොහෝ තෙල් පහන් නංවා, ශාස්තෲන් වහන්සේ කරා එළැඹ වැඳ, බික්සඟනටද, ඇඳිලි බැඳ වැඳ, භික්‍ෂූන් කෙළවර හුන්නාහු, ස්වාමීනි, මෙම තීර්ථකයෝ විවිධාකාර දෘෂ්ටිගතයන්හි සිත පිහිටුවා වහරමින් හැසිරෙත්. එසේ වහරන්නාහුද, කිසිකලෙක්හි ශාස්වතයද, කිසිකලෙක්හි උච්ඡේද ආදීන් අතරෙහි එක්තරා එකකදැයි මෙසේ, එක් දෘෂ්ටියකම නොසිට අලුත් අලුත් දෘෂ්ටිගතයන්හි, මෙයම සත්‍යය. අනෙක්වා හිස්යයි දැඩිව ගෙන උමතු වූවන් ලෙසින් සිටිත්. එසේ සිත පිහිටුවා ගත්තවුන්ගේ උපදනා තැන කෙබඳුද, මරණින් මත්තෙහි කෙසේදැයි කථාවක් හටගැන්වූහ. එවේලෙහි බොහෝ පලඟැටියන් වැටෙන්නාහු ම තෙල් පහන්හි වැටෙත්. එහෙයින් තෙන ඛො පන සමයෙන සම්බහුලා අධිපාතකා ආදිය යූ.සේයි.
එහි අධිපතකා යනු පළඟැටියන්ය. සලභ යැයි ද කියති. උන් පහන් දැල්ලට පනින හෙයින් අධිපාතකායි අදහස් කරන ලදි. ආපාත පරිපාතං යනු ඉදිරියට වටේට වැටි වැටී, පෙරළි, පෙරළි ඉදිරියෙහි වැටීමද, පෙරළී වැටීමද කොට යයි අර්ථයි. ආපාතෙ පරිපාතංයිද සමහරු කියවති. පහන ඉදිරියෙහි තමාගේ ඉදිරි ගමනෙහි ඇතිකල්හි පෙරළි, පෙරළී යයි අර්ථයි. අනයං යනු අවැඩ, දුක, බ්‍යසනං යනු විනාසයයි. ප්‍රථම පදයෙන් උන්ගේ මරණ මාත්‍ර දුක ද, පශ්චිම පදයෙන් මරණයද දක්වයි. එජා සමහර ප්‍රාණීහු වැටෙන්නා හාම මළහ. සමහර ප්‍රාණීහු මරණ මාත්‍ර දුකට පැමිණියහ.
එතමත්‍ථං විදිත්‍වා යනු මෙසේ තම යහපත නොදන්නා වූ පළඟැටි ප්‍රාණීන්ගේ ආත්මෝපක්‍රම වශයෙන් නිරර්ථක ව්‍යසන ප්‍රාප්තිය දැන, දෘෂ්ටිගතිකයින්ට උන්ට මෙන් දෘෂ්ටීන්හි සිත පිහිටුවීම් වශයෙන් අවැඩ ව්‍යසන ප්‍රාප්තිය දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
එහි උපාතිධාවන්ති න සාරමෙන්ති යනු සීල, සමාධි, ප්‍රඥා විමුක්ති ආදී ප්‍රභේද සාරයට නොඑති. සිව්සස් අවබෝධ කිරීම් වශයෙන් අවබෝධ නොකෙරෙත්. විමුක්ති අභිලාෂයෙන් එම උපාය සහිත සාරයෙහි සිටින්නේම ඒ හා යුක්ත වූයේ මෙන් වීද, දෘෂ්ටි විපර්යාසයෙන් අතිධාවනය කෙරෙති. ඉක්මවා යෙති. පංච උපාදාන ස්කන්ධයන්හි නිත්‍ය, සුභ, සුව ආත්මයැයි සිත පිහිටුවා ගනිත් යන අර්ථයයි. නවං නවං බන්‍ධනං බ්‍රෑහයන්ති යනු එසේ ගන්නාහුද තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත නව්‍ය නව්‍ය බන්ධනයන් වර්ධනය කෙරෙත්. පතන්ති පජ්ජොත මිවාධිපාතා දිට්ඨෙ සුතෙ ඉති හෙකෙ නිවිට්ඨා යනු මෙසේ තෘෂ්ණා දෘෂ්ටි බන්ධනයන්ගෙන් බැඳුන හෙයින් ඇතැම් මහණ බමුණෝ තමා විසින් චක්‍ෂුර් විඤ්ඤාණයෙන් දිටි දෘෂ්ටි දර්ශනයෙන් හෝ දක්නා ලද්දෙහි පරම්පරාගත කථා උපලබ්ධ මාත්‍රයෙන්මද, ශ්‍රවණයෙහි මෙසේය. ඒකාන්තයෙන් එය එසේයයි බැස ගත්තාහු දෘෂ්ටියෙහි සිත පිහිටුවීම් වශයෙන් ශාස්වතයැයි ආදී ක්‍රමයෙන් සිත පිහිටුවා ගත්තාහු, ඒකාන්තයෙන් යහපත පිණිස පවත්නා සසරින් ගැලවීම නොදන්නාහු, රාගාදී එකොළොස් ගිනිවලින් ඇවිලුනු භවත්‍රයය සංඛ්‍යාත අඟුරුවලෙහිම මෙම පළඟැටියන් මෙන් මෙම පහනෙහි වැටෙත්. ඉන් හිස ඔසවන්ට නොහැකි වෙත්.
නවවන සූත්‍ර වර්ණනාව නිමි.
10. තථාගතොත්පාද සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි යාවකීවං යනු යම්තාක් කල්, යතො යම්කලෙක්හි, යම්කලෙකැ පටන්, එවමෙතං ආනන්‍ද ආනන්දය, තථාගතයන් වහන්සේ උපන් කල්හි, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයින්ට හෝ අන්‍යයාගෙන් ලාභසත්කාර මනාව වැඩේ. තීර්ථකයෝ වනාහි තෙද රහිත, පහ වූ ආලෝකයෙන් යුක්ත වූයේ පහ වූ ලාභ සත්කාර ඇත්තාහු වෙති. ඔබතුමන් විසින් යමක් කියන ලදද? එය එසේය. එහි වෙනස් බවක් නොවේ. සක්විතිට චක්‍රරත්නයාගේ පහළවීමෙන් ලෝකයා චක්‍රරත්නය අතැර අන්තයන්හි පූජා සත්කාර සම්මාන නොපවත්වයි. මුළු ලෝවැස්සා, චක්‍රරත්නයම සියල්ල සිදුවන අර්ථයෙන් සත්කාර කරයි. ගරු කරයි. ගෞරව කරයි. පූජා කරයි. මෙසේ සංසාර වෘත්තානුගත පුණ්‍ය මාත්‍රයෙහි විපාකය එතරම් මහත් ආනුභාව ඇත්තේය. සංසාර විවර්තානුගත (නිවනට අදාළ) පුණ්‍යඵලයට උපකාර වන අනන්ත අප්‍රමාණ ගුණ සමූහයක් දරන්නා වූ බුද්ධ රත්නයෙහි ධර්ම රත්නයෙහි සංඝරත්නයෙහි ආනුභාව ගැන කියනුම කවරේද?