10. තථාගතොත්පාද සූත්ර වර්ණනාව
දසවැන්නෙහි යාවකීවං යනු යම්තාක් කල්, යතො යම්කලෙක්හි, යම්කලෙකැ පටන්, එවමෙතං ආනන්ද ආනන්දය, තථාගතයන් වහන්සේ උපන් කල්හි, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්රාවකයින්ට හෝ අන්යයාගෙන් ලාභසත්කාර මනාව වැඩේ. තීර්ථකයෝ වනාහි තෙද රහිත, පහ වූ ආලෝකයෙන් යුක්ත වූයේ පහ වූ ලාභ සත්කාර ඇත්තාහු වෙති. ඔබතුමන් විසින් යමක් කියන ලදද? එය එසේය. එහි වෙනස් බවක් නොවේ. සක්විතිට චක්රරත්නයාගේ පහළවීමෙන් ලෝකයා චක්රරත්නය අතැර අන්තයන්හි පූජා සත්කාර සම්මාන නොපවත්වයි. මුළු ලෝවැස්සා, චක්රරත්නයම සියල්ල සිදුවන අර්ථයෙන් සත්කාර කරයි. ගරු කරයි. ගෞරව කරයි. පූජා කරයි. මෙසේ සංසාර වෘත්තානුගත පුණ්ය මාත්රයෙහි විපාකය එතරම් මහත් ආනුභාව ඇත්තේය. සංසාර විවර්තානුගත (නිවනට අදාළ) පුණ්යඵලයට උපකාර වන අනන්ත අප්රමාණ ගුණ සමූහයක් දරන්නා වූ බුද්ධ රත්නයෙහි ධර්ම රත්නයෙහි සංඝරත්නයෙහි ආනුභාව ගැන කියනුම කවරේද?
භාග්යවතුන් වහන්සේ වනාහි සම්යක් සම්බෝධියට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇතියේ ලොවැ එක්සැටක් රහත්හු හටගත් කල්හි, රහතුන් සැටනම ජනපද චාරිකායෙහි පිටත්කොට යවා උරුවෙලාවට සම්ප්රාප්තව උරුවෙල් කසුප් ප්රමුඛ සහස් ජටිලයන් අර්හත්වයෙහි පිහිටුවා, ඔවුන් විසින් පිරිවරන ලදුයේ, උක් වන උයනෙහි හිඳ බිම්සර ප්රමුඛ අංග මගධවාසී දොළොස් නහුතයක් සස්නෙහි ඇතුලත්කොට, යම්කලෙක්හි රජගහ නුවර වැඩවාසය කළසේක්ද, එතැන් පටන් භාග්යවතුන් වහන්සේටද, භික්ෂු සංඝයාටද, යම් යම් ආකාරයෙන් මතු මත්තෙහි ලාභසත්කාර මනාව වැඩේ. ඒ ඒ ආකාරයෙන් සියලු තීර්ථකයන්ගේ ලාභසත්කාර පිරිහේමය.
ඉක්බිති එක්දිනක් ආයුෂ්මත් ආනන්ද තෙරහු දිවාස්ථානයෙහි හුන්නේ භාග්යවතුන් වහන්සේගේද ආර්ය සංඝයාගේ ද යහපත් ප්රතිපත්තිය ප්රත්යවේක්ෂා කොට ප්රීතිසොම්නස් හටගත්තේ, තීර්ථකයින්ගේ කෙසේදෝහෝයි ඔවුන්ගේ ප්රතිපත්ති ආවර්ජනය කළේය. ඉක්බිති ඔහුට ඔවුන්ගේ දුෂ්ප්රතිපත්තීන්ම හැම අයුරින්ම වැටහින. මෙසේ මහානුභාව ඇති, පිනට මූලාධාර වූ, ධර්මානුධර්ම ප්රතිපත්තියෙන් ද ඉහළම ප්රමාණයේ පාරමිතාවන්ට පත්, භාග්යවතුන් වහන්සේද ආර්ය සංඝයාද ජීවමාන කල්හි, කෙසේනම් මෙම අන් තොටුවෝ මෙසේ දුෂ්ප්රතිපන්නව, නොකළ පින් ඇත්තාහු, නීච පැවතුම් ඇත්තාහු, ලාභීන්ව, සත්කාර කරන ලද්දාහු වන්නාහුදැයි තීර්ථකයින්ගේ ලාභසත්කාර හානිය හේතුකොට, කාරුණ්යතාවයක් උපදවා, ඉක්බිති තමාගේ සිතිවිල්ල යාවකීවඤ්ච භන්තෙ යනාදියෙන් භාග්යවතුන් වහන්සේට සැළ කළේය. භාග්යවතුන් වහන්සේද නුඹ විසින් වැරදි සිතිවිල්ලක් සිතන ලදැයි නොවදාරා, රන් මිහිඟු බෙරයක් සමාන ග්රීවය උඩට ඔසවා, මනාසේ සුපිපි නෙලුම් මලක් බඳු සශ්රීක, මහමුව මනා ප්රසන්නාකාරයක් කොට, ආනන්දය එය එසේමයැයි තුටු පහටුකොට යාව කීවඤ්ච ආදියෙන් ඔහුගේ වචනය තුටුව පිළිගත් සේක. එහෙයින් අථ ඛො ආයස්මා ආනන්දො -පෙ- භික්ඛු සංඝොච යි යූ.සේයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ එම අර්ථෝත්පත්තියෙහිලා, අතීතයෙහි මා නූපන් කල්හි, ඇතැම් පහත් ජනයා බුහුමන් ලැබ මාගේ අපතෙහි පටන් නට ලාභසත්කාර වූහයි බාවේරු ජාතකය වදාළ සේක.
එතමත්ථං විදිත්වා යනු දෘෂ්ටි ගතිකයින්ගේ සත්කාර සම්මානය යම්තාක් කල් සම්යක් සම්බුදුවරු ලොව නූපදිත්ද ඒතාක් කල් පවතී. එම බුදුවරුන්ගේ උපතෙහි පටන් ඔව්හු නට ලාභසත්කාර ඇත්තාහු ආලෝක රහිත වූවාහු තෙද රහිත වූවාහු වෙති. දුෂ්ප්රතිපත්තියෙන් දුකින්ද නොමිදෙත් යයි එම කරුණ සර්වාකාරයෙන් දැන එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
එහි ඔභාසති තාව සො කිමි යනු කදෝපැණි කෘමියා ඒ තාක් බබළයි. බබළයි. බැබළේ. යාව න උදෙති පභංකරො යනු සිව්දිග දිවයින්, ඒකක්ෂණයෙහි, ආලෝකකරණයෙන් පභංකරයැයි ලද නම් ඇති සූර්යයා උඩට මතු නොවේද? උදා නොවේද? සූර්යයා උඩට මතුනොවූ කල්හි ලද අවකාශ ඇති කදෝපැණිහු පෙරළෙමින් කටු සහිත ගෙඩි මෙන් අඳුරෙහි බබළත්. වෙරොචනම්හි උග්ගතෙ හතප්පභො හොති න චාපි භාසති යනු, හාත්පස අඳුර මැඩපවත්වා රශ්මි දහස් ගණනින් බබලන ආලෝකමත් භාවයෙන් වෙරොචන නාමයෙන් යුත් හිරු නැගි කල්හි කදෝපැණි තෙම නට ප්රභා ඇතියේ, තෙද රහිත වූයේ කළු වූයේ වේ. අඳුරු රැයෙහි මෙන් නොබබලයි. දීප්තිමත් නොවේ.