ජාත්යන්ධ වර්ගය
1. ආයුසංඛාරවොස්සජන සූත්ර වර්ණනාව
සවන ජාත්යන්ධ වර්ගයෙහි, පළමුවැන්නෙහි වෙසාලියං යනු යට කියන ලද ක්රමයමය. වෙසාලියං පිණ්ඩාය පාවිසි කෙදින පිවිසියෙහිද, උක්කාචේලයෙන් නික්ම විසල් නුවරට ගියකල්හි, එහි භාග්යවතුන් වහන්සේ බේලුව ගමෙහි වස් වැස ඉන් නික්ම පිළිවෙලින් සැවතට පත්ව දෙව්රම්හි වාසය කළ සේක. එකල්හි දම්සෙනෙවි තම ආයු සංස්කාරයන් බලා සත්දිනක්ම පමණක් පවතින්නේ යයි දැන භාග්යවතුන් වහන්සේ අනුදන්වා (අනුමත කරවා) නාලක ගමට ගොස් එහිදී සිය මව සෝවාන් ඵලයෙහි පිරිනිවන් පෑහ. ශාස්තෲන් වහන්සේ චුන්ද විසින් ගෙන එන ලද පිහිටුවා සැරියුත් තෙරුන්ගේ ශාරීරික ධාතූන් ගෙන ධාතු චෛත්යයක් කරවා මහ බික් සඟ පිරිවැරුනේ රජගහ නුවරට වැඩම කළ සේක. එහි ගිය කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරහු පිරිනිවියේය. භාග්යවතුන් වහන්සේ ඔහුගේද ශාරීරික ධාතූන් ගෙන චෛත්යයක් කරවා, රජගහ නුවරින් නික්ම පිළිවෙලින් උක්කාචේලයට වැඩම කළ සේක. එහි ගං ඉවුරෙහි බික් සඟ පිරිවරන ලදුයේ වැඩහිඳ අග සව්වන්ගේ පිරිනිවීම හා සබැඳි සූත්රයක් දෙසා, උක්කාචේලයෙන් නික්ම විසල් නුවරට වැඩම කළ සේක. මෙසේ වැඩමකළ භාග්යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරවැ පාසිවුරු ගෙන විසල්නුවරට පිඬු පිණිස පිවිසියේ යැයි කියයි. එහෙයින් උක්කාචේලයෙන් නික්ම විසල් නුවර ගියකලැයි යූ.සේයි.
නිසීදනං යනු මෙහි සම්කඩ අදහස් කරන ලදි. චාපාල චෙතියං යනු පෙර චාපාල නම් යක්ෂයා විසූ තැන චාපාල චෙතියැයි පැණුනහ. එහි භාග්යවතුන් වහන්සේට කළ විහාරයද එම ව්යවහාරය අනුව චාපාල චේතියැයි කියති. උදෙනං චේතියං යන මේ ආදීන්හිද එම ක්රමයමය. සත්තම්බං යනු කිකී නම් කසී රජහුගේ දියණියන් වූ සත්කුමරියෝ සංවේගප්රාප්තව රජගහ නුවරින් නික්ම යම්තැනක ප්රධන් වීර්යය ප්රධන් කළහුද? එම ස්ථානය සත්තම්බ චෙතිය යැයි කියති. බහු පුත්තං යනු උඩින් පහළට ඇදෙන බොහෝ මුල් ඇති එක් නුගරුකෙකි. එහි අධිගෘහිත දේවතාවාගෙන් බොහෝ මිනිස්සු පුතුන් පතති. එතැන් පටන් එතැන බහුපුත්තචෙතියංයි පැනුනහ. සාරන්දදං යනු සාරන්දද නම් යකු වුසූ තැනයි. මෙසේ එම සියල්ලම බුද්ධෝත්පාදයෙන් පෙර දේවතාධිගෘහිතයැයි චෛත්ය ව්යවහාරයෙන් ව්යවහාර කරන ලද්දාහුය. මෙහි විසල්හි භූමිභාග සම්පත්තියෙන්ද, පුද්ගල සම්පත්තියෙන්ද සුලභ ප්රත්යතාවයෙන්ද රමණීය බව දතයුතුය. විහාරස්ථානයන්ට වනාහි නගරයෙන් ඉතා දුර නුවූ බැවින්ද, ඉතා ආසන්න නුවූ හෙයින්ද, ගමනාගමන සම්පතින්ද, ජනාකීර්ණ නුවූ තැනක විහාරය පිහිටි හෙයින්ද, විශාල වෘක්ෂයන්ගේ සෙවන හා ළිංපොකුණු ආදි ජල සම්පත්තියෙන්ද විවේකයට සුදුසු බැවින්ද යන කරුණුවලින් රමණීයත්වය දතයුත්තාහ. චත්තාරො ඉද්ධිපාදා යන මෙහි සෘද්ධිපාදයාගේ අර්ථයට යූ.සේමය. භාවිතා යනු වඩන ලද්දාහු, බහුලීකතා යනු නැවැත නැවැත කරන ලද. යානීකතා යනු ගමන් කළහැකි තත්ත්වයේ යානයක් මෙන් කළ, වත්ථුකතා යනු පිහිටීම් අර්ථයෙන් වස්තුවක් මෙන් කළ, අනුට්ඨිතා යනු නොනැගිටි, පරිචිතා යනු හාත්පසින් රැස්කළ මනාව වඩනා ලද, සුසමාරද්ධා යනු මනාව අරඹන ලද ඉතා යහපත් අයුරු නිපදවන ලදහ.
මෙසේ නියමින් කියා නැවැත නියමකොට දක්වන්ට තථාගතස්ස ඛො යනාදිය වදාළහ. මෙහිද කප්පං යනු ආයුකප්පං ආයුෂ්කල්පයයි. තිට්ඨෙය්ය යනු එකල්හි මිනිසුන්ගේ ආයුෂ්ප්රමාණය යම් පමණද එය සම්පූර්ණකොට සිටින්නේය. දරන්නේය. කප්පාවසෙසංවා යනු ස්වල්ප වූ හෝ, භීය්යොවා යනු කියන ලද වර්ෂ සියයෙන් අතිරේක වශයෙන් හෝ, මහා සිවතෙරුන් වනාහි, බුදුවරුන්ට නොතන්හි ගර්ජනයක් නම් නැත. යම්සේ වනාහි බේලුව ගමෙහිදී හටගත් මාරාන්තික වේදනාව දසමසක් මැඩපැවැත්වූ සේක. මෙසේ නැවත නැවත සමවතට සමවැද දසවස බැගින් මැඩ පවත්වා මෙම භද්ර කල්පයම සිටින්නේද, කවර හෙයින්ද එසේ නොසිටියෙහිද, තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද ශරීරය නම් කැඩුම් බිඳුම් ආදියෙන් පෙළයි. (මඩියි.) බුදුවරු වනාහි කැඩුම් බිඳුම් ආදියට නොපත්ව පැසුළු ආයුෂ කොටසෙහි බොහෝ ජනයාට ප්රියමනාප කාලයෙහිම පිරිනිවෙත්. අග්රශ්රාවක මහා ශ්රාවකයින් පිරිනිවි කල්හි පිරිවර රහිතව හුදෙකලාවම හෝ ළදරු සාමණේර පිරිවැරීමෙන් සිටිය යුතු වෙයි. ඉක්බිති විශ්මයෙකි. මේ බුදුවරුන්ගේ පිරිසදැයි පහත්කොට සැලකිය යුතු තත්ත්වයට පැමිණෙන්නේය. එහෙයින් නොසිටියේ යැයි කීවේය. මෙසේ කී කල්හිද අසූවෙන් ආයුෂ් කල්පය නිගමනය කොට ඇතැයි සැලකේ. මෙයම අටුවායෙහි නියමිතය.
ඔළාරිකො නිමිත්තෙ යනු දළ සංඥා ඉපැත්මෙහි, එය දළ සංඥා උත්පාදනයයි. තිට්ඨතු භගවා කප්පං යනු මුළු කල්පය සිටින සේක්වා. යම් ආකාර වූ සිටීමේ යාඥාව, යස්ස කස්සචි ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා යනාදියෙන් ක්ෂීණාශ්රව භාවයෙන් තමාගේ සිව් වැදෑරුම් වැඩීම් ආනුභාවයෙන් කල්පයක් සිටින්ට සමත් බව දැක්වීම ප්රකට වචනයෙන් බබලවයි. වචන ක්රමය අත්හැර සෘජුවම තම අදහස් පැහැදිලි කිරීම කරන ලදි.
බහුජන හිතාය යනු මහජනයාට හිතසුව සඳහා. බහුජනසුඛාය යනු බොහෝ ජනයාට සුව සඳහා. ලෝකානුකම්පාය යනු සත්ත්ව ලෝකයාට අනුකම්පා හේතුයෙන් කවර සත්ත්ව ලෝකයාටද, යමෙක් භාග්යවතුන් වහන්සේගේ ධර්මදේශනාව ශ්රවණය කොට ධර්මය ප්රතිවේධ කරයි. අමාපැන් පානය කරයි. ඒ භාග්යවතුන් වහන්සේගේ දම්සක් පැවැතුම් සූත්ර දේශනායෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ප්රමුඛ අටලොස් කෙළක් බ්රහ්මයෝ ධර්මය ප්රතිවේධ කළහ. මෙසේ සුභද්ර පරිව්රාජක හික්මවීම තෙක් දහම් ප්රතිවේධ කළ සත්ත්වයින්ගේ ගණන් කිරීමක් නැත. (ගණන් කළ නොහැක) මහාසමය සූත්රය, මංගල සූත්රය, චූලරාහුලෝවාද සූත්රය, සමචිත්ත සූත්රය යන මෙම සිව් සූත්රයන්ගේ දේශනා කාලයෙහි, සිව්සස් නව ලොවුතුරුදම් අවබෝධයට සත්ත්වයන්ගේ ගණන් පිරිසිඳීමෙක් නැත. එම ප්රාමාණාතික්රාන්ත සත්ත්ව ලෝකයාට අනුකම්පාවෙන් භාග්යවතුන් වහන්සේගේ සිටීම වේ. මෙසේ අනාගතයෙහිද වන්නේ යයි අදහසින් කියයි. දේව මනුස්සානං යනු හුදෙක් දෙවි මිනිසුන්ට පමණක් නොවේ. අවශේෂ නාග සුපර්ණාදීන්ටද වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස භාග්යවතුන් වහන්සේගේ සිටීම වේ. සහේතුක ප්රතිසන්ධික, මාර්ග ඵල සාක්ෂාත් කිරීමෙහි භව්ය පුද්ගලයන් දැක්වීමට මෙසේ යූ.සේයි. එහෙයින් අන්යයන්ගේද වැඩ සඳහා, හිත සඳහා, සුව සඳහා භාග්යවතුන් වහන්සේ වැඩසිටීවායි අර්ථයි. අත්ථාය යනු මෙලොව සම්පත් සඳහා. හිතාය යනු පරලෝ සැපතට හේතුවූ හිත සඳහා, සුඛාය යනු නිර්වාණධාතු සුව සඳහා, පළමු හිතසුව ග්රහණය සර්ව සාධාරණ වශයෙන් දත යුතුය.