7. සුභූති සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි සුභූති යන එම තෙරුන්ගේ නාමයයි. එම ආයුෂ්මත් තෙමේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ පාමුල කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ, කල්ප ලක්‍ෂයක්, රැස්කරන ලද පින් රැසක් ඇත්තේ, මෙම බුද්ධෝත්පාද කාලයෙහි මහත් සම්පත් ඇති, මහත් කුලයෙක උපන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව ශ්‍රවණයකොට, සංවේගප්‍රාප්ත වූයේ, ගිහිගෙන් නික්ම පැවිදිව කරන ලද ප්‍රාර්ථනා ඇති හෙයින් උත්සාහ කරනුයේ, ව්‍යායාම කරනුයේ, නොබෝ කලෙකින්ම ෂට් අභිඥා හටගත්. බ්‍රහ්මවිහාර භාවනායෙහි උසස් තත්ත්වයට පත්වීමෙන් ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යම් මේ සුභූති නමැත්තෙකු වේද, අරණ්‍ය විහාරීන් අතර ඔහුම අග්‍රයයි, අරණ්‍ය විහරණයෙහිලා භාග්‍යවතුන් වහන්සේ විසින් එතදග්‍රස්ථානයෙහි තබන ලදි. හෙතෙම එක් දිනක් සවස් කලැ, දිවා විහරණස්ථානයෙන් වෙහෙර මලුවට, අවතීර්ණ වූයේ, සිව් පිරිස් මැද, භාග්‍යවතුන් වහන්සේ දම් දෙසන්නහු දැක, දේශනාවසානයෙහි නැගිට වඳින්නෙමියි කල්පිරිසිඳ (ඉටා) භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එක්තරා රුක්මුලෙකැ හුන්නේ ඵල සමවතට සමවනි. එහෙයින්, තෙන ඛො පන ආයස්මා සුභූති -පෙ- සමාපජ්ජිත්‍වායි යූ.සේයි.
එහි ද්විතීය ධ්‍යානයෙහි පටන් සියලු රූපාවචර සමාධිද, අරූපාවචර සමාධි ද, අවිතර්ක සමාධිද වේ. මෙහි වනාහි චතුර්ථධ්‍යානය පාදකකොට ඇති අර්හත්ඵල සමාධිය අවිතර්ක සමාධිය යැයි අදහස් කරන ලදි. ද්විතීයධ්‍යානාදීන්හි මිථ්‍යා විතර්කය, ප්‍රහීණය, අත්‍යන්ත ප්‍රහාණ අභාව හෙයින් මෙතෙක් මනාව ප්‍රහීණ වූයේ නොවේ. නැවත ප්‍රහාණ කෘත්‍යයක අභාව හෙයින් ආර්ය මාර්ගයෙන් ප්‍රහීණ වූයේම වේ. එහෙයින් ආර්යමාර්ග කෙළවර වූ අර්හත් ඵල සමාධිය සියලු මිථ්‍යා විතර්කයන්ගේ ප්‍රහාණ කෙළවරෙහි හටගත් හෙයින් විශේෂයෙන් අවිතර්ක සමාධිය යැයි කිවයුතු බවට යෝග්‍ය වේ. චතුර්ථධ්‍යාන පාදකත්වය ගැන කියනුම කවරේද? එහෙයින් මෙහි වනාහි චතුර්ථධ්‍යාන පාදක අර්හත්ඵල සමාධිය අවිතර්ක සමාධියයැයි අදහස් කරන ලදි.
එතමත්‍ථං විදිත්‍වා යනු ආයුෂ්මත් සුභූතිගේ එම සියලු මිථ්‍යා විතර්ක සියලු කෙලෙස් ප්‍රහාණ සංඛ්‍යාත අර්ථය සර්වාකාරයෙන් දැන එකරුණ දැක්වීමට මෙඋදන් ඇනූ සේක.
එහි යස්ස විතක්කා විධූපිතා යනු යම් ආර්ය පුද්ගලයෙකු විසින් හෝ යම් ආර්ය පුද්ගලයෙකුගේ කාම විතර්කාදී සියලුම මිථ්‍යා විතර්ක විනාශකරන ලද්දාහු, ආර්ය මාර්ග ඥානයෙන් තවන ලද්දාහු සිඳින ලද්දාහු වෙත්ද? අජ්ඣත්තං සුවිකප්පිතා අසෙසා යනු ස්වකීය ආධ්‍යාත්ම සංඛ්‍යාත, තම සන්තානයෙහි, නොඉපැත්මට සුදුසු ලෙසින්, මනාව කල්පිත කළ, ශේෂ රහිතව මනාව කල්පිත කළ, ශේෂ රහිතව මනාව සිඳින ලදැයි අර්ථයි. තං සංගං අතිච්ච අරූපසඤ්ඤී යන මෙහි තං යනු නිපාත මාත්‍රයයි. නොහොත් තං ශබ්දය හේත්වර්ථයෙහි වේ. යම්හෙයකින් මිථ්‍යා විතර්කය ශේෂ රහිතව සිඳින ලද ද එහෙයින් රාග බැඳීම් ආදී පස්වැදෑරුම් බැඳීම්, සියලුම කෙලෙස් බැඳීම් හෝ ඉක්මවා ඉක්මවීම් හේතුයෙන් රූප අභාවයෙන්, වෙනස්වීම් සංඛ්‍යාත විකෘතිය, එහි නොමැති හෙයින්, විකාර රහිත භාව හේතුවෙන් හෝ අරූප යැයි ලද නම් ඇති නිර්වාණය අරමුණුකොට පැවැති මාර්ගඵල සංඥාවන්හි අරූප සංඥීවැ. චතුයොගාතිගතො යනු කාම, භව, දිට්ඨි, අවිජ්ජා සිව් යෝගයන්, සුදුසු පරිදි, සිව් මාර්ගයන්ගෙන් ඉක්මවා ගියේ, න ජාතුමෙති යනු මකාරය පද සන්ධි කරයි. ඒකාන්තයෙන් පුනර්භවයට නොඑයි. මතුයෙහි නැවත භවයක ඉපැත්ම ඔහුට නැත යන අර්ථයි. නජාතිමෙතියි ද කියවති. අර්ථය එයමය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සුභූතිගේ අර්හත්ඵල සමවත් විහරණයද, අනුපාදිසෙස නිර්වාණයද අරබයා ප්‍රීති වේගයෙන් මුදාහරින ලදුයේ මෙ උදන් ඇනූ සේක.
සත්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.