6. තෘතීයනානාතීර්ථක සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි සියල්ල යට කියන ලද ක්‍රමයමය. ඉමං උදානං යන මෙහි දෘෂ්ටි, තෘෂ්ණා මානයන්හි දොස් දැක ඒවා දුරදීම අත්හැර සංස්කාරයන් තත්වාකාරයෙන් දක්නේද එහි ආදීනව නොවන ආකාරයෙන් දක්වන ලද හෙයිාන්, වැරදි අයුරින් සිත පිහිටවූ තත්වාකාරයෙන් නොදක්නහුට, ක්‍රමානුකූලව සසරින් ඉක්මවා යාම්, නොඉක්මවා යාම් ආදිය දැක්වීමට මෙ උදන් ඇනූ සේකැයි අර්ථය යෙදිය යුතුය.
එහි අහංකාර පසුතා අයං පජා යනු ආත්මයද, ලෝකයද ස්වයංකෘත යැයි මෙසේ කියන ලද, මවිසින් කරන ලදැයි එසේ පැවැති දෘෂ්ටියෙහි පසුතා අනුයුක්ත වූවාහු, අයංපහි යනු මිථ්‍යාවන්හි සිත පිහිටුවා ගත් සත්ත්ව සමූහය පරංකාරූප සංහිතා යනු අන්‍ය ඊශ්වරාදීහු සියල්ල කරයි යයි මෙසේ පැවති කාරකයා අනෙකා ලෙස පවත්නා දෘෂ්ටිනිශ්‍රිත ඒ හා යෙදුනේනුයි පරංකාර උපසංහිතායි. එතදෙකෙ නාබ්භඤ්ඤිංසු යනු එම දෘෂ්ටි ද්වයය ඇතැම් මහණ බමුණෝ දොස් දක්නාවී නොඅනුදත්හ. කෙසේද? සිහිය ස්වයංකාර වූයේ ක්‍රියා කරනුයේ සත්ත්වයින්ට යහපතක්ම විය යුතුය. අනිෂ්ඨයෙන් නොවිය යුතුය. කිසිවෙකුත් තම දුක නොකැමැති වේ. නොකැමැති තත්ත්වයන්ද සිදුවේ. එහෙයින් සයංකාරය නොමැනවි. පරංකාරයෙහිද ඉදින් ඊශ්වර හේතුක වේද, ඒ මෙම ඊශ්වරයා ආත්මාර්ථය හෝ පරාර්ථය කරන්නේය. එහි ඉදින් ආත්මාර්ථය සඳහා වනවිට, නොසිදුවූ දෑ ඉටුවන හෙයින් තමා විසින් නොකළ කෘත්‍යය වන්නේය. නොහොත් පරාර්ථයෙහි සියල්ලන්ගේ හිතසුවයම නිපැයෙන්නේ ය. අහිතක්, දුකක් නො නිපැයේ. එහෙයිාන් ඊශ්වර වශයෙන් පරංකාරය සිදුවේ යයිද, තවද ඊශ්වර සංඛ්‍යාත අනෙකක් නිරපේක්‍ෂ වූයේ, නිත්‍යයෙන්ම කරුණු පැවැත්මෙහි වන්නේය. කර්මයෙන් උපත් නොවන්නේය. කරුණු සන්නිශ්‍රිත හෙයින් සියල්ලම එක තැනක ඉපදිය යුතුය. ඉක්බිති ඔහුට අන්‍ය වූද සමග කරන කරුණක් කැමැති වේද, එයම වේවා. ඊශ්වරගෙන් කවර ප්‍රයෝජනද, නොනිමි හැකියාවෙන් පරිකල්පිතයෙන් ඊශ්වර හේතුක පරංකාරය සිදු නොවේද? මෙසේ මැවුම්කරු පුරිස, ප්‍රකෘති, බ්‍රහ්මකාල ආදී හේතුවෙන් සිදු නොවේ. ඒවාහිද සිදුනොවූ හෙයින් කියන ලද දොස් නොඉක්මවන හෙයින්ද වේ. එහෙයින් එතදෙකෙ නාබ්භඤ්ඤංසුයි යූ.සේයි. කියන ලද පරිදි - සයංකාර, පරංකාරයන් නොඅනුදන්නවුන්ද, ආත්මයද, ලෝකයද හේතුවක් නොමැතිව හටගත්තේ යයි පණවත්. ඔව්හුද නනං සල්ලන්ති අද්දසුං යනු හේතුවක් නොමැතිව හටගත්තේ යයි කියන්නෝද වැරදි සිත පිහිටුවා ගැනීම් නොඉක්මවනුයේ තත්වාකාරයෙන් නොදන්නාහු එම දෘෂ්ටිගතය ඒ ඒ තන්හි දුක් උපදවන හෙයින් විදීම් අර්ථයෙන් හුලෙකැයි නොදුටුහ.
එතඤ්ච සල්ලං පටිගච්ච පස්සතො යනු ආරබ්ධ විදර්ශක යමෙක් වනාහි, පස්වැදෑරුම් වූම උපාදානස්කන්ධයන්හි අනිත්‍යය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මනාසේ දකීද, හෙතෙම එතඤ්ච තෙවැදෑරුම් විපරීත දර්ශනයද, අන්‍ය වූද සියලු වැරදි සිත පිහිටුවා ගැනීමද, ඒවාට නිශ්‍රය වූ පංච උපාදානස්කන්ධයන්ද විදින හෙයින්ද, දුකසේ උදුරා දැමිය යුතු හෙයින්ද හුලෙකැයිද, පටිගච්ච කල් ඇතිවම විදර්ශනා ප්‍රඥායෙන් බලයි. මෙසේ දක්නහුට ආර්යමාර්ග ක්‍ෂණයෙහි ඒකාන්තයෙන්ම අහංකරොමීති න තස්සහොති යම්සේ තමාගේ කාරකභාවය ඔහුට නොවැටහේ. මෙසේ පරො කරොතීති න තස්ස හොති හුදෙක් අනිත්‍ය සංඛ්‍යාත ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මමාත්‍රයම වේ. මෙතෙකින් සර්වප්‍රකාරයෙන්ම දෘෂ්ටිමාන අභාවය දක්වන ලදි. එයින්ම අර්හත්ව ප්‍රාප්තියෙන් සංසාර සමතික්‍රමණය ප්‍රකාශ කරන ලද්දේ වේ.
යමෙක් දෘෂ්ටිගතයෙහි ඇලුනේ වේද, හෙතෙම සංසාරයෙන් හිස ඔසවන්ට නොහැකි වේයයි එය දක්වන්ට මානුපෙතා යන ගාථාව වදාළහ. එහි මානුපෙතා අයං පජා යනු මේ සියලුම දෘෂ්ටිගතික සංඛ්‍යාත ප්‍රජාව සත්ව සමූහය මාගේ දෘෂ්ටිය යහපතැයි මාගේ ග්‍රහණය සුන්දරයි තම ග්‍රහණය දැඩිව ගැනීම් ලක්‍ෂණ මැනීමෙන් යුක්ත වූවාහු සමන්වාගත වූවාහුය. මානගන්‍ථා මාන විනිබන්‍ධා යනු එයින්ම මතුමත්තෙහි උපදින ඔහු විසින් යම්සේ ඔහු එම දෘෂ්ටිය අත්නොහරියි ද, මෙසේ තම සන්තානය ඇලුණු හෙයින් බැඳුණු හෙයින් මාන නමැති ගෙතුම්, මාන නමැති බැඳුම් ඇත්තාහ. දිට්ඨීසු සාරම්භ කථා සංසාරං නාතිවත්තති යනු මෙයම සත්‍යය. අනෙක්වා හිස්යැයි තමා උසස් තත්ත්වයෙහිලා සැලකීම්. අනෙකා පහත්කොට සැලකීම් වශයෙන් තමාගේ දෘෂ්ටීන්හි සිත පිහිටුවාගැනීම් වශයෙන් අනෙකාගේ දෘෂ්ටීන්හි, එකටෙක කිරීම් කථාව, විරෝධ කථාව, සසර ඇසිරිකොට සිටිනවුන්ට අවිද්‍යා තෘෂ්ණාවන්ගේ අප්‍රහාණයෙන් සසර නොඉක්මවයි යනු අර්ථයි.
සවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
7. සුභූති සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි සුභූති යන එම තෙරුන්ගේ නාමයයි. එම ආයුෂ්මත් තෙමේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ පාමුල කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ, කල්ප ලක්‍ෂයක්, රැස්කරන ලද පින් රැසක් ඇත්තේ, මෙම බුද්ධෝත්පාද කාලයෙහි මහත් සම්පත් ඇති, මහත් කුලයෙක උපන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව ශ්‍රවණයකොට, සංවේගප්‍රාප්ත වූයේ, ගිහිගෙන් නික්ම පැවිදිව කරන ලද ප්‍රාර්ථනා ඇති හෙයින් උත්සාහ කරනුයේ, ව්‍යායාම කරනුයේ, නොබෝ කලෙකින්ම ෂට් අභිඥා හටගත්. බ්‍රහ්මවිහාර භාවනායෙහි උසස් තත්ත්වයට පත්වීමෙන් ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යම් මේ සුභූති නමැත්තෙකු වේද, අරණ්‍ය විහාරීන් අතර ඔහුම අග්‍රයයි, අරණ්‍ය විහරණයෙහිලා භාග්‍යවතුන් වහන්සේ විසින් එතදග්‍රස්ථානයෙහි තබන ලදි. හෙතෙම එක් දිනක් සවස් කලැ, දිවා විහරණස්ථානයෙන් වෙහෙර මලුවට, අවතීර්ණ වූයේ, සිව් පිරිස් මැද, භාග්‍යවතුන් වහන්සේ දම් දෙසන්නහු දැක, දේශනාවසානයෙහි නැගිට වඳින්නෙමියි කල්පිරිසිඳ (ඉටා) භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එක්තරා රුක්මුලෙකැ හුන්නේ ඵල සමවතට සමවනි. එහෙයින්, තෙන ඛො පන ආයස්මා සුභූති -පෙ- සමාපජ්ජිත්‍වායි යූ.සේයි.