9. සද්ධායමාන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි, මාණවකා යනු තරුණයෝ, ප්‍රථම යෞවනයෙහි සිටි බමුණු කුමාරවරු මෙහි අදහස් කරන ලදි.
තෙවධායමානා යනු කවටකම් කරන ස්වභාව වචන සඳහා යූ.සේයි. අන්‍යයන්ට කවටකම් කරන්නාහු හිංසා කරති. එබඳු ස්වභාව වචන කියන සුලුයයි අර්ථයි. එහි මේ වචනාර්ථයි. හිංසාව වධයයි. එය කියත්නුයි වධයමානායි කිවයුතු කල්හි දීර්ඝ කොට වධායමානායි යූ.සේයි. නොහොත් වෙහෙසීමෙහි හිංසනයෙහි මෙන් තමා හැසිරේයයි වධායමානායි. ඉන් එබඳු ස්වභාව හෙයින් වධායමානරූපායි යූ.සේයි. සද්දායමානරූපායිද පාඨයි. උස් ශබ්ද, මහා ශබ්ද කරන්නාහුයිද අර්ථයි. භගවතො අවිදූරෙ අතික්කමන්ති යනු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රවණ විෂයයෙහි මුවට නැගුණු ඒ ඒ දෑ කියමින් ඉක්ම යති.
එතමත්ථං විදිත්වා යනු එම ඔවුන්ගේ වචනයෙහි නොහික්මුණු බව දැන එඅරුත් දැක්වීමට ධර්ම සංවේග වශයෙන් මෙඋදන් ඇනූ සේක.
එහි පරිමුට්ඨා යනු අඥාන, මුළා සිහි ඇති. පණ්ඩිතාභාසා යනු පණ්ඩිත ප්‍රතිරූපක වූ, අන් කවරහු දනිත්ද, අපම මෙහි දනිමුයි ඒ ඒ කරුණෙහි තමන්ට දන්නහු කොට හැසිරෙන හෙයින්, වාචා ගෝචර භාණිතො යනු යම් කෙනෙකුන්ට වචනයම ගොදුරු වූයේ විෂය වූයේ වේද? මුඛාරූඪ වූවක්ම කියන සුළුය. කථා කරන වචනයෙහි අර්ථය පිරිසිඳ නොදත්තේ කථා වස්තු මාත්‍රයෙහිම පිහිටා කථා කරන්නාහු වෙති. නොහොත් කථා කිරීමට අගෝචර, ආර්යයන්ගේ කථාවට විෂය නොවූ මුසාවාද කථා කෙරෙත්නුයි වාචා ගෝචර භාණිතොයි, නොහොත් ගොචරභාණිනො යන මෙහි ආකාරයට හ්රස්වභාවය කරන ලදි. වාචා ගෝචර වූවෝ සතිපට්ඨාන ගෝචරව කථා කරන්නාහු නොවෙති. කෙසේ කියන්නෝ යාවිච්ඡන්ති මුඛායාමං යනු යම් පමණ තමාගේ මුව ඇරීම වේද, යම්තාක් මුව ප්‍රසාරණය කැමැති වෙත්ද, ඒ තාක් ප්‍රසාරණය කොට කථා කරන්නාහු අනෙක් අය කෙරෙහි ගෞරවයෙන්, තමහට අවිෂය වූයේ ද මුව හැකිලීම නොකරත් යයි අර්ථයි. නොහතේ වචනය ගෝචර වූයේම වී කථා කරන්නහුට තෙමේ නොදැන පද ප්රාප්තිකයෝම වී කියන්නෝ (කථා කරන්නෝ) යයි අර්ථයි. එයින්ම මුව ඇරීම යම්තාක් කැමැති වෙත්ද? යම් වචනයකින් ශ්‍රවණය කරවිය යුතුද, එය නොසිතා තම මුව ප්‍රසාරණ මාත්‍රය යම්තාක් වේද, ඒතාක් කැමැති වෙත්යයි අර්ථයි. යෙන නීතා නතං විදූ යනු යමක් කරණකොටගෙන සිහි මුළා වීම් ආදියෙන් නිර්ලජ්ජිභාවයටද, පණ්ඩිතමානී භාවයටද. ගෙන යන ලද්දාහු අපිම මෙසේ කථාකරමුයි එය එසේ තමහට කියන්නහුගේ කරුණ පණ්ඩිත නුවූ - මෝඩයෝ අදක්ෂයෝ නොදනිත් යයි අර්ථයි.
නවවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
10. පන්ථක සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි චූලපන්ථකො යනු මහාපන්ථක තෙරුන්ගේ බාල සොහොවුරු හෙයින්ද, මාර්ගයෙහි උපන් හෙයින්ද, ළදරුකල්හි ලද භාවිතයෙන්, පසුකල්හිද, මේ ආයුෂ්මත් තෙමේ චූලපන්ථකයැයිම ප්‍රකට විය. ගුණ විශේෂයන්ගෙන් වනාහි ෂට් අභිඥා හා විශේෂ විභාගයට පත් ප්‍රතිසම්භිදා ඇතියේ ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර මනෝමය ශරීර නිර්මාණය කරන්නවුන් අතර යම් ආකාර වූ චුල්ලපන්ථකයෙක් වේද, ඵල සමවත් සමවැදීම්හි දක්ෂයින් අතර යම් ආකාර වූ චුල්ලපන්ථකයෙක් වේද ඔහුම අග්‍රය. දෙතන්හි භාග්‍යවතුන් වහන්සේ එතදග්‍රස්ථානයෙහි තබන ලදුයේ අසූමහ ශ්රාවකාභ්යන්තරගත විය.
හෙතෙම එක් දිනක් පසුබත්හි පිණ්ඩපාතයෙන් ඉවත් වූයේ තම දිවාස්ථානයෙහි දිවා විහරණ සඳහා හුන්නේ නොයෙක් සමාපත්තීන්ගෙන් දිවා භාගය කල්යවා සවස්කල්හි උපාසකයින් ධර්මශ්රවණයට නොපැමිණි කල්හිම වෙහෙර මැදට පිවිස භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන් කල්හි භාග්‍යවතුන් වහන්සේ උවටැන් සඳහා එළඹෙන්ට තවම නොකල්යයි ගඳකිළි ඉදිරියෙහි එක්පසෙක පර්යංකයක් බැඳ හුන්නේය. එහෙයින් තෙන ඛො පන සමයෙන ආයස්මා චූලපන්ථකො භගවතො අවිදූරෙ නිසින්නො හොති. පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වායි යූ.සේයි. හෙතෙම එකල්හි කාලය බෙදීම කොට සමවතට සමවැද හුන්නේය.
එතමත්ථං විදිත්වා යනු එම ආයුෂ්මත් චූලපන්ථකගේ කාය චිත්තයන්ගේ, මනාව පිහිටුවන ලද බැව් සංඛ්‍යාත අර්ථය දැන, ඉමං උදානං යනු අන්‍ය වූ ද යම් සන්සුන් සියලු ඉරියව්හි එළැඹ සිටි සිහි ඇති තැන්පත්, එම භික්ෂුවගේ උපාදාන රහිත නිවන කෙළවර කොට ඇති විශේෂාධිගමයෙහි පහළවීම දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
එහි ඨිතෙන කායෙන යනු කායද්වාරික අසංවරයාගේ ප්‍රහාණයෙන් නොකිරීමෙන් මනාව තබන ලද, පිරිසිදු කරන ලද ශරීරයෙන්, එසේම චක්ෂු ආදී ඉන්ද්රියයන්ගේ ආශ්වාද වින්දන තොර බව කිරීමෙන් මනාව තබන ලද පංචද්වාරික කයින්. අසංවර අත් පා ශරීර කුකුස් ආදීන්ගේ අභාවයෙන් නොවෙවුලමින් සිටියා වූ කරජකයෙන්දැයි, සංක්ෂේපයෙන් සියලුම ශරීරයෙන් වෙනස්වීමක් නොමැති නිශ්චල භාවයෙන්, එයින් ඔහුගේ සීල පාරිශුද්ධිය දක්වන ලදි. මෙය මෙසේ වූයේය යන ලක්ෂණයෙහි කරන විභක්තියි. ඨිතෙන චෙතසා යනු සිතෙහි ස්ථිති දැක්වීමෙන් සමාධි සම්පත දක්වයි. සමාධිය සිතෙහි සිටීමයයි කියයි. එහෙයින් සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් එකඟබව ඇතිකල්හි සිත අරමුණෙහි එකඟබවට පැමිණීමෙන් සිටියේ නම් වේ. අන් අයුරෙකින් නොවේ. මෙම කියන ලද ආකාර ඇති කාය චිත්තයන්ගේ තැබීම, තැන්පත් කිරීම සියලු කල්හි සියලු ඉරියව්හි කැමැති විය යුතුයැයි දක්වනුයේ තිට්ඨං නිසින්නො උදවා සයානොයි කීයේය. එහි වා ශබ්දය අනියමාර්ථයෙහිය. එයින් සිටිනුයේ හිඳනුයේ, සයනය කරනුයේ හෝ එයින් අන්‍ය ඉරියව්වක් හෝයි මෙම අර්ථය දක්වන ලද්දේ වේයයිද, සක්මන් කරන්නහුගේද ඉරියව්ව මෙහි ඇතුලත් කරන ලදැයි දතයුතුය.
එතං සතිං භික්ඛු අධිට්ඨහානො යනු කල් ඇතිවම පිරිසිදු හැසිරීම් ඇති, කයෙහි හා සිතෙහි නොමනා කාමුක ස්වභාව සන්සිඳීමෙන් කයෙහි හා සිතෙහි දාහ නැතිකොට, ලබන ලද නිරවද්‍ය සුව නිශ්චයෙන් කය හා සිත සන්සිඳීම් වශයෙන්, සිත සැහැල්ලු මෘදු කර්මණ්යභාවයට පත්කොට මනාව තබනුයේ එක්තැන් කරනුයේ කමටහන් මනාව වඩයි. මස්තක ප්රාප්තියද කරයි. එම කමටහන්හි යෙදීමෙන් ආදි මධ්‍ය පර්යවසානයන්හි බොහෝ උපකාර වූ සිහිය, භික්ෂුව ස්ථිර ලෙස පිහිටුවනුයේ, සිල් පිරිසිදු කිරීම මුල්කොට, විශේෂාධිගමය තෙක් ඒ සඳහා එහි සිත ස්ථිර ලෙස පිහිටුවයි යන අර්ථයි. ලභෙථ පුබ්බාපරියං විසෙසං යනු හෙතෙම මෙසේ සිහියෙන් රැකි සිත් ඇතියේ කමටහන් මතු මතු වඩන්නේ වැඩිදියුණු කරනුයේ පෙර පසු, පෙර පසුවත් බවට පත් කළේ, පෙර පසු කොටසින් පැවැති, උදාර, අති උදාර ආදී භේදයන් ලබන්නේය.