සොණ වර්ගය
1. රාජ සූත්‍ර වර්ණනාව
මහා වර්ගයෙහි පළමුවැන්නෙහි මල්ලිකාය දෙවියා සද්ධිං යනු තමාගේ අගමෙහෙසිය වූ මල්ලිකා සමග උපරිපාසාද වරගතො යනු විශාල ප්‍රාසාදයෙහි මතු මහලට ගියේ, කොචඤ්ඤො අත්තනා පියතරො යනු තමාට වඩා ප්‍රියකරන අන්කිසි කෙනෙක්, අත්‍ථිනුඛො තෙ යනු කිමෙක්ද, නුඹගේ එවැනි ප්‍රියකරන කෙනෙක් ඇත්දැයි දේවියගෙන් විචාරයි.
කවර හෙයින් විචාරයිද? මැය වනාහි සැවැත්නුවර දුගී මල්කරුවෙකුගේ දියණියකි. එක්දිනක් වෙළඳසලින් කැවුමක් ගෙන මල් අරමට ගොස් කන්නෙමියි යන්නී විරුද්ධ මාර්ගයෙහි බික්සඟන පිරිවරන ලද භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරීමට පිවිසෙන්නහු දැක පසන් සිතැත්තී එය භාග්‍යවතුන් වහන්සේට දුන්නාය. ශාස්තෲන් වහන්සේ එතැන වැඩසිටිනා ආකාරයක් දැක්වූ සේක. අනඳ තෙරහු සිවුරක් පනවා දිනි. භාග්‍යවතුන් වහන්සේ එහි හිඳ එම කැවුම් අනුභව කොට මුව සෝදා සිනහ පහළ කළ සේක. තෙරහු ස්වාමීනි, මැයගේ දානයෙහි කවර විපාකයක් වන්නේදැයි විමසීය. ආනන්දය, අද ඇය තථාගතයන් වහන්සේට ප්‍රථම භෝජනය දුන්නේය. අදම කොසොල් රජුගේ ප්‍රියමනාප අගමෙහෙසිය වන්නේ යයි වදාළ සේක. එදිනම රජු කාසි ග්‍රාමයෙහි බෑනා සමග යුදකොට පැරැදී පැන පැමිණියේ, නගරට පිවිසෙනුයේ සෙබල සමූහයාගේ පැමිණීම බලාපොරොත්තු වන්නෙමියි එම මල් අරමට පිවිසියේය. ඕ පැමිණි රජු දැක ඔහුට වත්පිළිවෙත් කළාය. රජු ඇයගේ වත් කෙරෙහි පැහැදී පියා කැඳවා මහත් ඓශ්වර්යය දී ඇය අන්තඃපුරයෙන් ඉවත්කරවා අග මෙහෙසුන් තනතුරෙහි තැබීය. නැවත එක්දිනක් රජු මවිසින් මැයට මහත් ඓශ්වර්යය දෙන ලදි. නුඹට කවරෙක් ප්‍රියදැයි මැයගෙන් විචාරන්නෙම් නම් ඉතා යෙහෙකැයි සිතීය. ඕ මහරජ, ඔබ ප්‍රිය යැයි කියා නැවත මගෙන් විචාරන්නේය. ඉක්බිති මම ඇයට මටද ඔබම ප්‍රිය යැයි කියන්නෙමියි මෙසේ ඔහු ඔවුනොවුන් අතර විශ්වාසය ඇතිකරලීම සඳහා සතුටුවිය යුත්තක් කරනුයේ විචාළේය.
දේවිය වනාහි නුවණැතිය. බුද්ධෝපස්ථායිකාවකි. සංඝෝපස්ථායිකාවකි. මෙම ප්‍රශ්නය රජුගේ මුහුණ බලා නොකිව යුත්තේ යයි සිතා තත්වාකාරයෙන්ම කියන්නී, නත්‍ථි ඛො මෙ මහාරාජ කො චඤ්ඤො අත්තනා පියතරොති අන් කෙනෙකුට වඩා මම මට ම ප්‍රිය කරමි යි කීවාය. කියාද තමා විසින් ප්‍රකාශිත අර්ථය උපායෙන් රජුට ප්‍රත්‍යක්‍ෂ කරවනු කැමැත්තී, තුය්හං පන මහාරාජ අත්‍ථඤ්ඤො කොචි අත්තනා පියතරො යි. යම්සේ රජු ඇයගෙන් විමසන ලද ද? එසේම රජු විචාළාය. රජුද ඇගේ ස්වභාව ලක්‍ෂණයෙන් කියන ලද හෙයින් නවතින්ට නොහැකි වනුයේ, තෙමේද ස්වභාව ලක්‍ෂණයෙන්ම කියනුයේ යම්සේ දේවිය ප්‍රකාශ කළේද? එසේම ප්‍රකාශ කළේය.
ප්‍රකාශකොටද මෝඩ ස්වභාව හෙයින් - “මම පෘථුවීශ්වර රජෙක්මි. මහත් පෘථුවි මණ්ඩලය දිනා වාසය කරමි. මට වඩා අන් පියකරු අනෙකෙක් නොදකිමියි කීම මට යෝග්‍යය. මැය වනාහි පහත් කුල වූවා වසලියෙකැ. මවිසින් උස්තැන තබන ලදි. ස්වාමී වූ මා එසේ ප්‍රිය නොකරයි. තමාම ප්‍රියයැයි මා හමුවෙහි කියයි. මැය ඒකාන්තයෙන් කර්කශක යැ”යි නොසතුටට පත්ව “නුඹට තෙරුවන් නම් වඩා ප්‍රිය නොවේදැ”යි චෝදනා කළේය. දේවිය, දේවයන් වහන්ස, මම තමාගේ සගමොක් සුවයන්ට හිතවත් වන්නී මනාව ප්‍රිය කරමි. එහෙයින් තමාම මට වඩාත් ප්‍රිය යැයි කීවාය. මේ මුළු ලෝකයම තමාගේ අර්ථ සිද්ධියම සලකා අනෙකාට ප්‍රිය කරයි. පුතෙකු ප්‍රාර්ථනා කරනුයේද මොහු මා දිරූ කල්හි පෝෂණයකරන්නේ යැයි අපේක්‍ෂා කරයි. දියණිය මාගේ කුලය වඩන්නේ යැයිද, භාර්යාව මාගේ පාදයන් සේවනය කරන්නේයැයිද අනෙකුත් ඤාති, මිත්‍ර බන්ධූන් ඒ ඒ කෘත්‍යය වශයෙන් මෙසේ ආත්මාර්ථයම බලන්නා වූ ලෝකයා අන්‍යයාට ප්‍රිය කරයි. මෙය දේවියගේ අදහසයි.
ඉක්බිති රජු මෙසේ සිතීය. මේ මල්ලිකාව දක්ෂය. නුවණැතිය. නිපුණය. මට තමාම වඩා ප්‍රිය යැයි කියයි. මටද තමාම වඩා ප්‍රිය වී වැටහේ. එහෙයින් මම මෙකරුණ ශාස්තෲන් වහන්සේට සැළ කරන්නෙමි. යම්සේ ශාස්තෲන් වහන්සේ මට ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමි. මෙසේද සිතා ශාස්තෲන් වහන්සේ සමීපයට එළඹ මෙ කරුණ සැළ කළේය. එහෙයින් අථඛො රාජා පසෙනදි කොසලො -පෙ- පියතරොති යි යූ.සේයි.
එතමත්‍ථං විදිත්‍වා යනු ලෝකයෙහි සියලු සත්ත්වයින්ට තමාම තමාට වඩා ප්‍රිය යැයි රජු විසින් කියන ලද එම කරුණ සර්වප්‍රකාරයෙන් දැන එම කරුණ පැහැදිලි කිරීමට මෙසේ උදන් ඇනූ සේක.
එහි, සබ්බාදිසා අනුපරිගම්ම චෙතසා යනු සියලුම දස දිශාවන් ශේෂ රහිතව සෙවීම් වශයෙන් සිතින් අනුව ගොස්, නෙවජ්ඣගා පියතර මත්තානා ඣචි යනු තමාට වඩා අතිශයින් ප්‍රිය අන් කිසි පුරුෂයෙක් සම්පූර්ණ උත්සාහයෙන් සොයනුයේ ක්‍වචි කිසිතැනෙක, සියලු දිශාවන්හි නො ලබන්නේ ය. එවං පියො පුථු අත්තා පරෙසං යනු මෙසේ කිසිවෙකුට තමාට වඩා ප්‍රිය වූවෙකු නොලැබීම් වශයෙන් පුථු වෙන් වෙන්ව ඒ ඒ සත්ත්වයින්ට තමා ප්‍රිය වේ. තස්මා න හිංසෙ පරං අත්තකාමො යනු මෙසේ සියලුම සත්ත්වයෝ තමාට ප්‍රිය කරයි. තම සුව කැමැති වූයේ, දුක් පිළිකුල් කරනුයේ එහෙයින් තමාට කැමැතියේ තම හිතසුව කැමැති වූයේ, දුක් පිළිකුල් කරනුයේ එහෙයින් තමාට කැමැතියේ තම හිතසුව කැමැති වනුයේ, අන්‍ය සත්ත්වයා යටත් පිරිසෙයින් කුරුකුහුඹියෙක් තරම්වත් නොසලකයි. න හිංස - නොපෙලන්නේය. නොනසන්නේය. අත්වලින්, මැටිකැට ලීදඬු ආදීන්ගෙන් ද නොවෙහෙසන්නේ ය. යමෙකුට වනාහි තමා විසින් කළ දුක් පීඩාවෙහි, එය ඉන් සංක්‍රමණය වන්නාක් මෙන් කාලයක් ගතවීමෙහිදී තමා කෙරෙහි දිස්වන්නේය. මෙය වනාහි කර්මයන්ගේ ස්වභාවයයි.