8. නන්ද සූත්‍රය සඞ්ඝභෙද වර්ණනා
අටවැන්නෙහි ආයස්මන්තං ආනන්‍දං එතදවොච යනු ඉදිරියෙහි යොදවා, නාලාගිරි ඇතු පිටත්කොට යවා ගලක් පෙරළා, භාග්‍යවතුන් වහන්සේට අනර්ථයක් කරන්ට නොහැකි වනුයේ, සංඝයා භේද කොට, වර්ග භේදය කරන්නෙමියි අදහසින් එය ‘අජ්ජතග්ගෙ’ ආදී වචනය කීය. අඤ්ඤත්‍රෙව භගවතා යනු භාග්‍යවතුන් වහන්සේගෙන් තොරවම එක්ව විසීමක් නොකොට යැයි අර්ථයි. අඤ්ඤත්‍රෙව භික්ඛු සංඝං යනු බික් සඟනගෙන් තොරවම, උපොසථං කරිස්සාමි සංඝකම්මානි ච යනු භාග්‍යවතුන් වහන්සේගේ අවවාද පිළිපදින බික්සඟ වෙන්කොට මා හා අනුවර්තනය වන භික්‍ෂු සංඝයා සමග මා හට විශේෂයෙන් අයත් වූ උපොසථයද, සංඝ කර්මයන්ද කරන්නෙමියි අර්ථයි. දෙවදත්තො සංඝං භින්‍දිස්සති යනු දෙව්දතු විසින් භේදකාරී සියල්ලන්ට කරුණු කියා පිළියෙල කළ හෙයින් ඒකාන්තයෙන්ම දෙව්දතු අද සංඝයා බිඳින්නේය. දෙකඩ කරන්නේය. ධම්මො අධම්මො යනාදී අටලොස් භේදකර වස්තූන් අතර, යම්කිසි එක් වස්තුවක් ඉදිරිපත්කොට එකරුණින් මෙය ගනිව්. මෙය රුචි කරව් යැයි හඟවා, සලාක ගන්ට සලස්වා, වෙන්ව සඟකම් කළ කල්හි සංඝයා බිඳුනේ වේ. යූ.සේයි.
උපාලිය, කර්මයෙන්, උදෙසීමෙන් ව්‍යවහාර කරමින්, ශ්‍රවණය කරවීමෙන්, සලාක ගැනීමෙන් යන කරුණු පංචකයෙන් සංඝයා බිඳේ.
එහි කම්මෙන යනු අපලෝකන කර්මාදී සිව් කර්මයන් අතර, එක්තරා කර්මයකින්, උද්දෙසෙන යනු පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතර එක්තරා උදෙසීමකින්, වොහරන්තො යනු ඒ ඒ ආපත්තීන්හිදී අධර්මය ධර්මයැයි ආදී අටලොස් භේදකර වස්තූන් දක්වනුයේ, අනුසාවණෙන යනු මාගේ උසස් කුලයෙන් පැවිදි වූ බවද, බහුශ්‍රැත බවද නුඹලා නොදන්නහුද, මා වැන්නෙක් නම් ධර්මවිරෝධී විනය විරෝධී දෘෂ්ටියක් ගන්නේ යයි කිමෙක්ද, නුඹලාට සිතක් හෝ උපදවන්ට සුදුසුද, කිමෙක්ද මා අපායෙන් (අපා දුකින්) බිය නොවන්නෙම්ද, ආදී ක්‍රමයෙන් කන් මුල වාග් භේද කොට ශ්‍රවණය කරවීම සලාක ගාහෙන යනු මෙසේ ශ්‍රවණය කරවා ඔවුන්ගේ සිත්වලට ධෛර්ය දී හැරී නොඑන ස්වභාවයක් කොට මෙම සලාකය ගනිව්යයි සලාක ගැන්වීමෙන්,
මෙහිද එක කර්මයක් හෝ උදෙසීමක් ප්‍රමාණවත්ය. ව්‍යවහාරය, අනුශ්‍රාවණ, සලාක ගැන්වීම පූර්වභාගයෙහිය. අටලොස් වස්තු දැක්වීම් වශයෙන් වනාහි ව්‍යවහාර කරන්නහු විසින් එහි ඇල්ම හටගැන්වීම සඳහා අනුශ්‍රවණය කරවා සලාක ගන්නා ලදුයේද සංඝයා නොබිඳුනේම වේ. යම්කලෙක්හි වනාහි සතරදෙනෙක් හෝ ඉන් අතිරේක ප්‍රමාණයක් හෝ සලාක ගන්වා ආවේණික හෝ උදෙසීම් කර්මයක් කෙරෙත්ද, එකල්හි සංඝයා බිඳුණේ නම් වේ. දෙව්දත්ද සංඝභේදයට අවශ්‍ය සියල්ල නිපදවා ඒකාන්තයෙන්ම අද ඔහුට ආවේණික, පොහොයද සංඝ කර්මයද කරන්නෙමියි සිතා ‘අද පටන්’ ආදී වචන කීවේය. එහෙයින් භාග්‍යවතුන් වහන්ස, අද දෙව්දත් සංඝයා බිඳින්නේ යයි කීය. භේදකර සියලු කරුණු පිළියෙල කළ හෙයින් යයි යම්හෙයකින් කීහුද එහෙයිනි.
එතමත්‍ථං විදිත්‍වා යනු එම අවීචි මහ නිරයෝත්පත්තියට හේතුව කල්පස්ථායි සුවකළ නොහැකි දෙව්දත් විසින් නිපදවනු ලබන සංඝභේද කර්මය සර්වාකාරයෙන් දැන, ඉමං උදානං යනු කුසල් අකුසල්හි ක්‍රමානුකූලව, සත්පුරුෂ අසත්පුරුෂ සමාන-අසමාන ප්‍රතිපත්ති වශයෙන් යහපත් කුසල්යැයි මෙම කරුණ පැහැදිලි කිරීමට මෙඋදන් ඇනූ සේක.
එහි සූකරං සාධුනා සාධු යනු තමාගේ අන්‍යයාගේද යහපත සිදු කෙරේනුයි සාධුයි. මනාව පිළිපන්නේ, එම යහපත් සැරියුත් ආදී ශ්‍රාවකයන් සමගද පසේබුදු, සම්‍යක් සම්බුදු, අනෙක් ලෞකික යහපත් පුද්ගලයන් සමගද ඇසුර යහපත්ය. සුන්දරය. සිත්කලුය. තමාගේද, අනෙකාගේද, හිතසුව එළවන දෑ කිරීම පහසුය. සුවසේ කරන්ට හැකිය. සාධු පාපෙන දුක්කරං යනු කියන ලද ලක්‍ෂණ ඇති යහපත පාපී දෙව්දතු ආදී පුඟුලන් විසින් කරන්ට දුෂ්කරය. කරන්ට නොහැකිය. ඔහු එය කරන්ට නොහැකිය යන අර්ථයි. පාපං පාපෙන සූකරං යනු අයහපත් පාපය තමාටද, අන්‍යයාටද අනර්ථ එළවනුයේ, පාපයෙන් කියන ලද ආකාර ඇති පාපී පුද්ගලයා විසින් කිරීම පහසුය. සුවසේ කරන්ට හැකිවන්නේය. පාපමරියෙහි දුක්කරං යනු බුද්ධාදී ආර්යයන් විසින් වනාහි එම පාපය කිරීම දුෂ්කරය. හටගැන්ම දුෂ්කරය. හෙය නැසීමම ඔවුන්ගේ යයි ශාස්තෲන් වහන්සේ දක්වන සේක.