5. උපොසථ සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි තදහු යනු එම දිනයෙහි, උපොසථෙ යන මෙහි වසත්නුයි උපොසථොයි. සීළයෙන් හෝ ආහාර නොගැනීමෙන් යුක්තව වෙසෙත් යයි අර්ථයි. මෙම උපොසථ ශබ්දය ‘අංග අටකින් යුක්ත උපෝසථය වාසය කරමියි ආදී තන්හි - සීලයෙහි ආයේය. උපොසථය හෝ පවාරණය හෝ ආදීන්හි පාමොක් උදෙසීමාදී විනය කර්මයෙහි, ගෝපාලක උපොසථය, නිඝණ්ඨ උපොසථය ආදීන්හි උපවාසයෙහි උපොසථ නාරජු ආදීන්හි ප්‍රඥප්තියෙහි, අද පසළොස්වක පොහොයයි ආදී තන්හි දිනයෙහි, මෙහිද දිනයෙහිම දතයුතුය. එහෙයින් තදනුපොසථෙ යනු එම උපොසථ දිනය වූ, දිනයෙහි යයි අර්ථයි. නිසින්නො හොති යනු මහ බික්සඟ පිරිවරන ලදුයේ අවවාද ප්‍රාතිමෝක්‍ෂය උදෙසන්ට වැඩහුන්නේම වේ. හිඳ, භික්‍ෂූන්ගේ සිත් බලනුයේ එක් දුසිල් භික්‍ෂුවක් දැක, ඉදින් මම මෙම පුද්ගලයා මෙහි හුන්නේම පාමොක් උදෙසන්නෙමි නම් මොහුගේ හිස්මුදුන සත්කඩකට පැලෙන්නේ යයි ඔහු කෙරෙහි අනුකම්පාවෙන් නිහඬව වූ සේක.
මෙහිද උද්ධතං අරුණං යනු අරුණෝද්ගමනයට පැමිණ, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ප්‍රාතිමෝක්‍ෂය උදෙසන සේක්වා’යි තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් පාමොක් උදෙසීම යාඥා කළේය. එකල්හි ‘මහණෙනි, අනුපෝසථයන්හි උපෝසථය නොකටයුතුයැයි ශික්‍ෂාපද (යාගේ) නොපනවන ලද හෙයින් ‘ආනන්දය, පිරිස අපිරිසිදු යයි’ තෙවරක් තෙරුන් විසින් පාමොක් උදෙසීමට යාඥා කරන ලද්දේ වී නමුත් නොදෙසීමට හේතු දෙසනුයේ අසවල් පුද්ගලයා අපිරිසිදුයයි නොවදාරා, ආනන්දය පිරිස අපිරිසිදුයැයි වදාළේය. කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ තුන්යම් රැයක් එසේ කල්ගත කෙළෙහිද? එතැන් පටන් අවවාද ප්‍රාතිමෝක්‍ෂය නොදෙසනු කැමැත්තේ එහි හේතුව ප්‍රකට කිරීමටය.
අද්දසා යනු කෙසේ දුටුයෙහිද? තම චෙතො පරියඥානයෙන්, එම පිරිසෙහි භික්‍ෂූන්ගේ සිත් මනාව දන්නේ එම හිස් පුරුෂයාගේ දුසිල් සිත දුටු සේක. සිත දුටු කල්හි ඒ හා සමග යුත් පුද්ගලයා දුටුයේ නම් වේ. එහෙයින් අද්දසා ඛො ආයස්මා මහා මොග්ගල්ලානො තං පුග්ගලං දුස්සීලං යි ආදිය යූ.සේයි. අනාගතයෙහි සත්දිනක් පවත්නා අන්‍යයන්ගේ සිත් චෙතොපරිය ඥානලාභියා දැනගනී. අතීතයෙහිද මෙසේය. දුස්සීලං සිල් නොමැති. සිල් විරහිත යයි අර්ථයි. පාපධම්මං යනු දුසිල් හෙයින්ම පහත් අදහස් ස්වභාවය බැවින් ලාමක ස්වභාවයයි. අසුචිං යනු අපිරිසිදු කාය කර්මාදීන්ගෙන් යුක්ත වූ හෙයින් පිරිසිදු නොවේ. සංකස්සර සමාචාරං යනු කිසියම් නොගැලපෙන දෙයක් දැක මෙය මොහු විසින් කරන ලද්දේ වන්නේ යයි මෙසේ අන්‍යයාගේ නියත සැකයෙන් සිහි කළයුතු හැසිරීම්, නොහොත් කිසියම් කළයුතු දෙයක් සාකච්ඡා කරන කල්හි, භික්‍ෂුවක් දැක කිමෙක්දෝ හෝ මොව්හු මවිසින් කළ ක්‍රියාවක් දැක සාකච්ඡා කෙරෙත් යයි තමා කෙරෙහිම සැකයෙන් සිහි කළයුතු හැසිරීම්,
ලජ්ජා විය යුතු හෙයින්ද සඟවා තැබීමට හේතුවන හෙයින්ද, වැසුණු කර්ම එයටනුයි පටිච්ඡන්න කම්මන්තො යි. එය පිළිකුල් ශ්‍රමණ වෙස් දරන ලද හෙයින් ශ්‍රමණයෙක් නොවේනුයි අස්සමණං යි. සීට්ටු ගැනීම් ආදියෙහිදී, කෙතෙක් සමනහුදැයි ගණන් කිරීමෙහිදී, මමද ශ්‍රමණයෙක් වෙමියි මිථ්‍යා ප්‍රතිඥාවෙන් ශ්‍රමණ ප්‍රතිඥාව, ශ්‍රේෂ්ඨ නුවූ චරිතයෙන් අබ්‍රහ්මචාරියි. අනෙක් සබ්‍රහ්මචාරීහු, මනාව හැඳ, මනාව පොරවා, මනා පාත්‍ර දරමින්, ගම් නියම්ගම්හි පිඬු පිණිස හැසිර ජීවිකාව ගතකරන්නහු දැක, අබ්‍රහ්මචාරී වූයේම, තෙමේද එවැනි ආකාරයෙන්, පිළිපදිනුයේ උපොසථාදීන්හිද, දෘෂ්‍යමාන වනුයේ, මම ද බ්‍රහ්මචාරී යැයි ප්‍රතිඥා දෙන්නාක් මෙන් වේයයි බ්‍රහ්මචාරී පටිඤ්ඤංයි. කුණු වූ කර්මයෙන් සීල විපත්තියෙහි ඇතුලට මනාව පිවිසි හෙයින් අනෙතාපූතිං යි. ෂට් ද්වාරයන්ගෙන් රාගාදී කෙලෙස් වර්ෂාවෙන් තෙත්වූ හෙයින් අවස්සුතංයි හටගත් රාගාදී කසල හෙයින් සිල්වන්තයින් විසින් හැරදැමිය යුතු හෙයින්ද කසම්බුජාතං යි. මජ්ඣෙ භික්ඛු සංඝස්ස නිසින්නං යනු සංඝයාට ඇතුලත් වූවෙකු මෙන් බික් සඟ ඇතුලත හුන්නේ, දිට්ඨොසි යනු මොහු වනාහි ප්‍රකෘති තත්ත්වයෙන් නුවූයේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දේ විය. යම්හෙයකින් දක්නා ලද්දේ ද, එහෙයින් නැත. තෙ තොපට භික්‍ෂූන් සමග එක්ව විනයකර්මාදී එක්වීමක් නැත. එම සංවාසය තොපට නැද්ද, එහෙයින් ඇවැත්නි නැගිටුවයි මෙසේ මෙහි පද යෙදීම දතයුත්තාහ.