6. සොණ සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි අවන්තීසු යනු අවන්ති රටෙහි, කුරරඝරෙ යන මෙනම් නගරයෙහි, පපාතෙ පබ්බතෙ, ප්‍රපාත නම් (පවත්ත) පර්වතයෙහි, සොණො උපාසකො කුටිකණ්ණො යනු නමිාන් සෝණනම් තිසරණ ගමනයෙන් උපාසක බැව් දැනුම්දීමෙන් උපාසක වූ, කෝටියක් අගනා පළඳනාවක් දැරීමෙන් කෝටිකණ්ණ යැයි කිවයුතු, කුටිකණ්ණ යැයි ප්‍රකට ළදරු කුමරෙකු වූ සෝණයැයි අදහසයි. මෙතෙම ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ගේ සමීපයෙහි දහම් අසා සස්නෙහි මනා ප්‍රසන්නතාවයට පත්වූයේ තිසරණයෙහිද, සරණ සිල්හිද පිහිටියේ පපාප පර්වතයෙහි සෙවන හා දිය යුත් තැනෙක විහාරයක් කරවා, තෙරුන් එහි වස්වා සිව්පසයෙන් උවටැන් කරයි. එහෙයින් ආයස්මතො මහා කච්චායනස්ස උපට්ඨාකො හොතියි යූ.සේයි. හෙතෙම කලින් කල තෙරුන්ගේ උවටැනට යයි. තෙරහු ඔහුට දම් දෙසයි. සංවේග බහුලව
ධර්මචරියාවන්හි උත්සාහවත්ව නොවෙසේ. හෙතෙම එක් දිනක් ගැල් සමග වෙළඳාම සඳහා උදේනි නුවරට යන්නේ අතරමග කැලයෙහි ගැල් නැවැති කලැ රැයෙහි අනෙක් ජනතා පීඩා බියෙන් එක්පසක ඔවුන්ගෙන් ඉවත්ව නිද්‍රොපගත විය. ගැල් සාත්තුව ඉතා අලුයම නැගිට පිටත්ව ගියහ. එකෙකු හෝ සෝණ පිබිදවූයේ නැත. සියල්ලෝම ඔහු සිහි නොකොට ගියහ. හෙතෙම රැය පහන්වූ කල්හි පිබිද නැගිට කිසිවෙකු නොදක්නේ වෙළඳ පිරිස විසින්ම ගියමග ගෙන වහ වහා යනුයේ එක් නුග ගසක් කරා එළැඹියෝය. එහි එක් මහා විකෘති, විරූපී දර්ශනයක් වූ, ඇවිදින්නා වූ පුරුෂයෙකු තම ඇටවලින් මිදුනු තම මස් තෙමේම කන්නහු දිටීය. දැක නුඹ කවරෙක්දැයි විමසීය. ස්වාමීනි, ප්‍රේතයෙක් වෙමි. කුමක් හෙයින් මෙසේ කෙරෙහිද? තම පූර්වකර්මයෙනි. එම කර්මය කිමෙක්ද? මම පෙර භාරුකච්ඡනුවර වැසි කූට වෙළෙන්දෙක්ව අන් සන්තකය වංචාකොට කෑවෙමි. සමණහු පිඬු පිණිස එළැඹි කල්හි නුඹලාගේ මස් කව්යයි අපහාස කළෙමි. එ කමින් දැන් මෙදුක් අනුභව කරමි. එය අසා සොණ අතිශයින් සංවේගප්‍රාප්ත විය.
ඉන් ඔබ්බට යනුයේ මුවින් වැගිරෙන කලු ලේ සහිත ප්‍රේත දරු දෙදෙනෙක් දැක එසේම විචාළේය. ඔව්හුද එසේම තම කර්මය කීහ. ඔවුහු වනාහි භාරුකච්ඡ නුවර ළදරු කල්හි භාණ්ඩ වෙළඳාමෙන් ජීවිකාව කරන්නාහු තම මව රහත්හු ආරාධනා කොට අනුභව කරවන්නී, ගෙට ගොස් අප සතු දෑ කවර හෙයින් ශ්‍රමණයන්ට දෙන්නෙහිද? නුඹ විසින් දෙන ලද බොජුන් අනුභව කරන ශ්‍රමණයන්ගේ මුවින් කළු ලේ වැගිරේවායි පරිභව කෙළෙමු. එම කර්මයෙන් නිරයෙහි පැසී, එහි සේසවිපාක වශයෙන් ප්‍රේත යෝනියෙහි ඉපිද එකල සිට මෙම දුක අනුභව කරමුයි කීහ. එයද අසා සෝණ අතිශයින් සංවේගයට පත්වූයේ විය.
හෙතෙම උදේනි නුවරට ගොස්, එම කටයුතු අවසන්කොට, කුලගෙට ආපසු අවුත් තෙරුන් කරා එළැඹැ කළ පිළිසඳර ඇතියේ තෙරුන්ට එකරුණ සැළ කළේය. තෙරහුද ඔහුගේ ප්‍රවෘත්තිය අසා, ආදීනව හා අනුසස් විස්තර කරමින් දම් දෙසූය. හෙතෙම තෙරුන් වැඳ රෑ කෑම අනුභව කොට නින්දට එළැඹියේය. මදක් නිදා පිබිද ඇඳ මතුපිට හිඳ, ධර්මය ඇසූ පරිද්දෙන් මෙනෙහි කරන්ට පටන්ගති. ඔහුට එම ධර්මය මෙනෙහි කරන කල්හි, එම ප්‍රේතාත්මභාවයන් මෙනෙහි කරන කල්හි සසර දුක අතිශය භයානකව වැටහිණ. පැවිද්දට සිත නැමිණි. හෙතෙම පහන් වූ කලැ සිරුර පිළිදැගුම්කොට තෙරුන් කරා එළැඹ තම අදහස සැළකොට පැවිද්ද ඉල්වීය. එහෙයින් ‘අථඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස -පෙ- පබ්බාජෙතු මං භන්තෙ අය්‍යො මහා කච්චානොත යූ.සේයි.