4. කුමාරක සූත්‍ර වර්ණනාව
සිව්වැන්නෙහි කුමාරකා යනු තරුණ පුද්ගලයෝ, යම් කෙනෙක් මනා කියමන්, නොමනා කියමන්හි අර්ථය දනිත්ද? ඔවුහු මෙහි කුමාරක යැයි අදහස් කරන ලදහ. සත්ත්වයෝ උපන්දින පටන් පසළොස් වස් දක්වා කුමාරයෝ බාලයෝ නමින් වහරති. ඉන් මත්තෙහි විසිවස් දක්වා යෞවනයෝය. මච්ඡකෙ බාධෙන්ති යනු මාර්ගය සමීපයෙහි එක් විලක ග්‍රීෂ්ම කාලයෙහි දිය ක්ෂය වූ කල්හි පහත් තන්හි එම දිය ඉස, පිස කන්නෙමුයින කුඩා මසුන් අල්වා ගනිති. එසේම මරති. තෙනූපසංකමි යනු මාර්ගයෙන් මඳක් විල ඉක්මවා සිටියේ. එහෙයින් එළැඹියේයැයි කියයි. එම කුමාරවරු තමන් කෙරෙහි විශ්වාසය හටගැන්වීමට එළැඹියේය. භායථ වො යන මෙහි වො යනු නිපාත මාත්‍රයකි. දුක්ඛස්ස යනු පංචම්යාර්ථයෙහි ෂෂ්ඨියි. දුක කෙරෙන් යයි (දුකින්) අර්ථයි. අප්පියං වො දුක්ඛං යනු කිමෙක්ද, නුඹලාගේ ශරීරයෙහි උපදනා දුක අප්‍රිය හෝ අමනොඥදැයි විචාරයි.
එතමත්ථං විදිත්වා යනු මෙම සත්ත්වයෝ තමාගේ දුක් නො ඉවසන්නාහුම වී දුකට හේතුවන කරුණුවල පිළිපදනාහු තමාගේ එම දුක කැමැති වන්නාහු නම් වෙතියි යන මෙම කරුණ සර්වාකාරයෙන් දැන. ඉමං උදානං යනු මෙම පාප ක්‍රියාවන්හි වැළැක්මටද ආදීනව පැහැදිලි කිරීමටද උදන් ඇනූ සේක.
එහි අර්ථය : ඔබලාගේ මේ සියල්ලම අපාගත වීමට හේතුයි. සුගතියක් ලද විටද අල්පායුෂ්කතාවය, මනුෂ්‍ය දුර්භාග්යතාදී භේද ඇති දුක් ඇතිකරයි. අප්පියං යනු ඉදින් නුඹලාට අප්‍රිය යමක් ලැබෙද් ඉන් බියවව්. ආවිවා අන්‍යයන්ට ප්‍රකට භාව වශයෙන් නොවැසුණු ලෙස කොට කයින් වචනයෙන් හෝ ප්‍රාණඝාතාදී ප්‍රභේද, යදිවාරහො අප්‍රකට භාව වශයෙන් වැසුණු ලෙස කොට මනෝද්වාරයෙහිම අභිධ්‍යාදී ප්‍රභේද වූ ස්වල්පමාත්‍ර වූද පාපකං ලාමක කර්මයක්. මාකත්ථ යනු නොකරව්. තවද වනාහි එම පාපකර්මය දැන් කරව්ද? මත්තෙහි හෝ නරන්නහුද? නිරයාදී සිව් අපායන්හිද මනුෂ්‍ය ලෝකයන්හිද එයට හේතු වූ දුක් මෙහි හෝ එහෙන් මෙහෙන් හෝ පැන යන්නා වූ ලුහුබඳින්නේ නැතැයි යන අදහසින් උපෙච්ච යනු දැන පලායන්නා වූද නුඹලාට ඉන් මුත්ති මිදීමක් නැත. උත්පත්ති, කාල, ආදී ප්‍රත්‍යයන් එක්වූ කල්හි පැසේම යයි දක්වයි. පලායන්තෙයිද කියවති. කියන ලද ආකාරයෙන් යම්කිසි තැනක යෑමෙහි, ආපසු ඒමෙහි වේයයි අර්ථයි. මෙම අර්ථය අහසෙහි නොවේය. මුහුද මැදද නොවේය. -පෙ- පාප කර්මයෙන් යන මෙම ගාථාවෙන් දැක්විය යුතුය.
සිව්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
5. උපොසථ සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි තදහු යනු එම දිනයෙහි, උපොසථෙ යන මෙහි වසත්නුයි උපොසථොයි. සීළයෙන් හෝ ආහාර නොගැනීමෙන් යුක්තව වෙසෙත් යයි අර්ථයි. මෙම උපොසථ ශබ්දය ‘අංග අටකින් යුක්ත උපෝසථය වාසය කරමියි ආදී තන්හි - සීලයෙහි ආයේය. උපොසථය හෝ පවාරණය හෝ ආදීන්හි පාමොක් උදෙසීමාදී විනය කර්මයෙහි, ගෝපාලක උපොසථය, නිඝණ්ඨ උපොසථය ආදීන්හි උපවාසයෙහි උපොසථ නාරජු ආදීන්හි ප්‍රඥප්තියෙහි, අද පසළොස්වක පොහොයයි ආදී තන්හි දිනයෙහි, මෙහිද දිනයෙහිම දතයුතුය. එහෙයින් තදනුපොසථෙ යනු එම උපොසථ දිනය වූ, දිනයෙහි යයි අර්ථයි. නිසින්නො හොති යනු මහ බික්සඟ පිරිවරන ලදුයේ අවවාද ප්රාතිමෝක්ෂය උදෙසන්ට වැඩහුන්නේම වේ. හිඳ, භික්ෂූන්ගේ සිත් බලනුයේ එක් දුසිල් භික්ෂුවක් දැක, ඉදින් මම මෙම පුද්ගලයා මෙහි හුන්නේම පාමොක් උදෙසන්නෙමි නම් මොහුගේ හිස්මුදුන සත්කඩකට පැලෙන්නේ යයි ඔහු කෙරෙහි අනුකම්පාවෙන් නිහඬව වූ සේක.
මෙහිද උද්ධතං අරුණං යනු අරුණෝද්ගමනයට පැමිණ, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය උදෙසන සේක්වා’යි තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් පාමොක් උදෙසීම යාඥා කළේය. එකල්හි ‘මහණෙනි, අනුපෝසථයන්හි උපෝසථය නොකටයුතුයැයි ශික්ෂාපද (යාගේ) නොපනවන ලද හෙයින් ‘ආනන්දය, පිරිස අපිරිසිදු යයි’ තෙවරක් තෙරුන් විසින් පාමොක් උදෙසීමට යාඥා කරන ලද්දේ වී නමුත් නොදෙසීමට හේතු දෙසනුයේ අසවල් පුද්ගලයා අපිරිසිදුයයි නොවදාරා, ආනන්දය පිරිස අපිරිසිදුයැයි වදාළේය. කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ තුන්යම් රැයක් එසේ කල්ගත කෙළෙහිද? එතැන් පටන් අවවාද ප්රාතිමෝක්ෂය නොදෙසනු කැමැත්තේ එහි හේතුව ප්‍රකට කිරීමටය.