3. සුප්පබුද්ධකුට්ඨි සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි, රාජගහෙ සුප්පබුද්ධො නාම කුඩ්ඪි අහොසි යනු රජගහ නුවර සුප්‍රබුද්ධ නම් පුරුෂයෙකු වූයේය. ඔහු කුෂ්ට රෝගයෙන් දැඩිසේ විරූපී වූ ශරීර ඇත්තේය. මනුස්ස දළිද්දො යනු රජගහනුවර යම්තාක් මිනිස්සු සිටිත්ද? ඔවුනතර සියල්ලන්ටම වඩා අතිශය දිළින්දෙකි. හෙතෙම කසල ගොඩවල් වැටවල් ආදීන්හි මිනිසුන් විසින් ඉවත දමන ලද රෙදිකඩවල් මසා අඳියි. කබලක් ගෙන ගෙන් ගෙට ගොස් ලද, බතෙක් ඉවත් කරන කැඳවතුර ඉඳුල්බත් හේතුකොට ජීවත් වේ. එයද පෙර කරන ලද කර්ම හේතුවෙන් ඇතිතාක් නොලබයි. එහෙයින් දිළිඳු මිනිසෙකැයි යූ.සේයි. මනුස්ස කපණො යනු මනුෂ්‍යයින් අතර අතිශය දිළිඳු බවට පත්, මනුස්ස වරාකො යනු මිනිසුන්ගේ පිළිකුලට හා නින්දාවට පත් හෙයින් අතිශයින් දීණ වූ. මහතියා පරිසාය යනු මහත් භික්‍ෂු පිරිසක් විසින්ද, උපාසක පිරිසක් විසින්ද,
එක් දිනක වනාහි භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟ පිරිවරන ලදුයේ රජගහනුවර පිඬු පිණිස පිවිස භික්‍ෂූන්ට පිණ්ඩපාත සුලභකොට පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ භික්‍ෂූන් කිහිප නමක් පිරිවරන ලදුව යම්කෙනෙකුන් විසින් දානය දෙන ලදද? එම උපාසකයන්ගේද සෙසු භික්‍ෂූන්ගේද පැමිණීම බලාපොරොත්තු වනුයේ නගරාභ්‍යන්තරයෙහිම එක්තරා මනහර පෙදෙසක සිටියේය. එකෙණෙහිම භික්‍ෂූහු ඒ ඒ තැනින් අවුත් භාග්‍යවතුන් වහන්සේ මනාසේ පිරිවැරූහ. උපාසකවරුද අනුමෝදනාවද අසා වැඳ නවතින්නෙමුයි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුනහ. විශාල ජනතා එකතුවක් විය. භාග්‍යවතුන් වහන්සේ හිඳිනා කාරයක් දැක්වීය. එකෙණෙහිම බුදුරදුන්ට සුදුසු අසුනක් පැනවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, අසූ අනූ ව්‍යඤ්ජනයන්ගෙන් ප්‍රතිමණ්ඩිත, දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබලන, බඹයක් පමණ වටරවුමෙහි බබලන, නිල්, කහ, රතු, සුදු, මදටිය (මිශ්‍ර) ප්‍රභාෂ්වර වශයෙන් වූ, ෂට්වර්ණ බුද්ධරශ්මීන් විහිදුවමින්, රූපකායශ්‍රීයෙන් එම මුලු පෙදෙසම බබුලුවමින් තාරා සමූහයා විසින් පිරිවරන ලද පුන්සඳක් මෙන් බික්සඟ පිරිවැරුනේ පනවන ලද, උතුම් බුද්ධාසනයෙහි වැඩහිඳ හිරියල් තලයක හුන් කේශර සිංහයෙක් සිංහ නාදය නාදකරන්නාක් මෙන් කොවුල් නද වැනි මිහිරි උතුම් ස්වරයෙන් දම් දෙසයි.
භික්‍ෂූහු ද වනාහි අල්පේච්ඡ වූවාහු ලද දෙයින් සතුටු වූවාහු, විවේකයෙහි ඇලුනාහු ගිහියන් හා නොගැටුනාහු, පටන්ගත් වීර්ය ඇත්තාහු හළ ආත්ම තෘෂ්ණාව ඇත්තේ, චෝදක වූවාහු පාපයට ගරහන්නාහු අන්‍යයාට උපදෙස් දෙන්නාහු, අන්‍යයාගේ වචන ඉවසන්නාහු සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන සම්පන්න වූවාහු කලුවන් පංශුකූල සිවුර පොරවා, මනාසේ සන්නද්ධ කළ ගඳැතෙක් බඳු භාග්‍යවතුන් වහන්සේ පිරිවරා කන්යොමා දහම් අසති. උපාසකයෝ ද පිරිසිදු වස්ත්‍ර හැන්දාහු, පිරිසිදු උතුරුසළුවලින් යුක්ත වූවාහු, පෙරවරු මහදන් පවත්වා සුවඳ මල් ආදියෙන් බුදුරදුන් පුදා, වැඳ බික්සඟනට යටහත් පහත් බව දක්වා භාග්‍යවතුන් වහන්සේද බික්සඟනද පිරිවරා සන්සුන් අත්පා ඇතියේ කන් යොමන ලදුයේ සකස්ව දම් දෙසති. එහෙයින් තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නොහොතියි යූ.සේයි.
සුප්‍රබුද්ධ වනාහි සාගිනි දුබලතාවයෙන් පෙලුනේ අහර සොයමින් හැසිරෙනුයේ ඇතුල් වීථියට බටුයේ දුරදීම ඒ මහජන හමුව දැක මේ මහජන සමූහය රැස්වූයේ කවර කරුණකින්ද? ඒකාන්තයෙන්ම මෙහි භෝජන දෙනු ලැබේයයි හඟිමි. මෙහි ගිය කල්හි කිසියම් කෑයුත්තතක් (කැවිලි) හෝ බිඳිය යුත්තක් හෝ ඒකාන්තයෙන්ම ලබන්ට හැකියයි හටගත් රුචිකත්වය ඇත්තේ එහි ගොස් පැහැදීම ඇතිකරන, පැහැදීම ගෙනදෙන උතුම් සන්සිඳීමට පත් දැමුණු, රක්නා ලද සන්සුන් ඉඳුරන් ඇති, ඉතා සන්සුන් එම පිරිස පිරිවරන ලදුයේ ධර්මය දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක, පෙර ආත්මයන් හා යුක්ත වූ මේරුණු උපනිශ්‍රය සම්පත්තියෙන් ප්‍රබුද්ධ කරනු ලැබුයේ මම දහම් ශ්‍රවණය කරන්නේ නම් යෙහෙකැයි පිරිස් කෙළවර හිඳගති. ඒ සඳහා අද්දසා ඛො සුප්පබුද්ධො කුට්ඨ -පෙ- තත්‍ථෙව එකමන්තං නිසීදි. අහම්පි ධම්මං සොස්සාමීතියි යූ.සේයි.
සබ්බාවන්තං යනු සියල්ල ඇතුලත්, හීන, මධ්‍යම, ප්‍රණීත ආදී සියලු පුද්ගලයන් සම්පූර්ණයෙන්, එහි කිසිවෙකුත් අත්නොහැර, සබ්බන්තංයිද කියවති. චෙතසා යනු බුදු ඇස හා යෙදුනු සිතින්, මෙහි චිත්ත ශීර්ෂයෙන් ඤාණය නිර්දිෂ්ටය. එහෙයින් ආසයානුසය ඤාණයෙන්ද, ඉන්‍ද්‍රිය පරො පරියත්ති ඤාණයෙන්දැයි අර්ථයි. චෙතො පරිච්ච මනසා කාසි යනු එම පිරිසෙහි සිත් වෙන වෙනම පිරිසිඳ මෙනෙහි කළේය. ඔව්හු බැලීය. භබ්බො ධම්මං විඤ්ඤාතුං යනු මාර්ගඵල ධර්මය අවබෝධ කරන්ට සමත්ය. උපනිශ්‍රය සම්පන්නයැයි අර්ථයි. එතදහොසි යනු මෙම සුප්‍රබුද්ධ තෙමේ කිසිසේත් තගර සිඛී පසේබුදුන්ට අපරාධකොට මෙබඳුව උපන්නේය. ඔහුගේ මාර්ගඵල සඳහා හේතුසම්පත් පස්වලින් වැසුන රන් නිකක් (රන් කලං 25 බර) මෙන් හෘදයාබ්‍යාපන්තරයෙහිම බබලයි. එහෙයින් පහසුවෙන් අවබෝධ කළ හැකියයි යන මෙය විය. එහෙයින් අයං ඛො ඉධ භබ්බො ධම්මං විඤ්ඤාතුං යි යූ.සේයි.