2. අප්පායුක සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අච්ඡරියං භන්තෙ යන මෙයද මේඝිය සූත්‍රයෙහි මෙන් ගර්හා කිරීම් ආශ්චර්ය වශයෙන් යයි දතයුතුය. යාව අප්පායුකා යනු යම් පමණ අල්පායුෂ්ක ඉතා ස්වල්ප ජීවිතයයි. අර්ථයි. සත්තාහජාතො යන උපන් සත් දවසෙහි සත්දින උපන් - එම සත්දිනෙහි උපන්, උපන් සත්වන දිනයෙහි යැයි අර්ථයි. තුසිතං කායං උපපජ්ජි යනු තුසිත දිව්‍ය නිකායෙහි ප්‍රතිසන්ධි ග්‍රහණ වශයෙන් පැමිණියේය.
එක් දිනක් තෙරුන් වහන්සේ පසුබත දිවා ස්ථානයෙහි හුන්නේ, ලක්‍ෂණ අනූව්‍යඤ්ජනයන්ගෙන් ප්‍රතිමණ්ඩිත සෞභාග්‍යයට පත් දර්ශානුන්තරිය වූ, භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය ශ්‍රීය මෙනෙහිකොට විශ්මයෙකි. බුදුවරුන්ගේ රූප කාය සම්පත්තිය දැකුම්කළුයි. හාත්පස ප්‍රසාදාවහය. මනහරයැයි මහත් ප්‍රීති සොම්නසක් මනාව විඳිනුයේ, වැදූ මවට නම් විරූපී වූද පුත්‍රයා සුරූපී වූයේ ප්‍රියමනාප වේ. ඉදින් වනාහි බුදුරදුන්ගේ මව මහාමායා දේවිය ජීවත් වන්නේ නම්, භාග්‍යවතුන් වහන්සේගේ රූප දර්ශනයෙහිලා කවරාකාර වූ ප්‍රීති සොම්නසක් උපදින්නේද? භාග්‍යවතුන් වහන්සේ උපන් සත්දිනකින් යම්බඳු වූ මහාමායා දේවිය කළුරිය කළාය. ඇයට එය මහා හානියකැයි සිතීය. මෙසේ සිතා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, තමාගේ සිතිවිල්ල සැළ කරනුයේ ඇගේ කළුරිය කිරීමට ගරහනුයේ අච්ඡරියං භන්තෙ යනාදිය කීය.
සමහරු වනාහි කීහ - මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේගෙන් මහත් උත්සාහයෙන් පැවිද්ද යාඥා කරන ලද්දේ වී නමුත් ප්‍රතික්‍ෂේප කරන ලදි. මවිසින් උපායෙන් යාඥා කරන ලදුයේ භාග්‍යවතුන් වහන්සේ අෂ්ටගරුධර්ම පිළිගැනීම් වශයෙන් ඇයට පැවිද්ද ද, උපසම්පදාවද අනුදැන වදාළ සේක. ඕ එම ධර්මයන් පිළිගෙන ලබන ලද ප්‍රවෘජ්‍යා උපසම්පදා ඇත්තේ, තෙවන පිරිස ජනිතකොට සිව්වන පිරිසට ප්‍රත්‍යය වූයේය. ඉදින් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ මව මහාමායා දේවිය ජීවත් වන්නේද? මෙසේ මෙම ක්‍ෂත්‍රිය සොහොයුරියන් දෙදෙන එක්ව මෙම සස්න හොබවන්නේය. භාග්‍යවතුන් වහන්සේද මාතෘ බුහුමනින් මාගමට සස්නෙහි පැවිද්ද ද උපසම්පදාවද පහසුවෙන් අනුමත කරන්නේය. ඇයගේ අල්පායුෂ්කතාවයෙන් මෙය ඉතා දුකසේ නිපනැයි මෙම අදහසින්, තෙරහු භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි, ස්වාමීනි ආශ්චර්යයැයි ආදියකීහ. එය පිළිගත නොහැකිය. භාග්‍යවතුන් වහන්සේ වනාහි තම සස්නෙහි පැවිද්ද අනුමත කරනුයේ (කැමැති වනුයේ) බරකොට කැමැති වේ. චිරකල් පැවැත්මේ කැමැත්ත නිසා සැහැල්ලු නොකරයි.
අනෙක් අය කීහ - දශබල, චතුර් වෛශාරද්‍යාදී වූ අන්‍යයන් හා සාධාරණ නුවූ අනන්ත අපරිමාණ බුදුගුණ, තෙරුන් මෙනෙහි කොට, යම් තැනැත්තියක් ලෝකයෙහි අග්‍ර පුද්ගල ශාස්තෲන් වහන්සේ දසමසක් කුසින් පරිහරණය කළේද, මෙය නම් තෙද බලයකි. එම බුද්ධ මාතාව කිසිවෙකුගේ රැකීම කරන්නියක් වන්නීය ය යන මෙය අයෝග්‍යතාවයකි. කුමක් හෙයින්ද? යම් ආකාර වූ භාග්‍යවතුන් වහන්සේගේ උපන් සත්වන දිනයෙහිදී මව කළුරිය කරයිද, කළුරිය කරන ලදුයේද තුසිත දෙව්ලොව උපදීය යන මෙය ශාස්තෲ ගුණයට යෝග්‍ය්‍ය. ආශ්චර්ය, අද්භූත සිත් හටගත්තේ වී එම තමාගේ විශ්මයෝත්පාදය භාග්‍යවතුන් වහන්සේට සැළ කරනුයේ ‘ස්වාමීනි, ආශ්චර්යයැ’යි ආදිය කීය.
ශාස්තෲන් වහන්සේ වනාහි, බෝසතුන් ඉපිද සත්දිනකින් මවගේ කළුරිය කිරීම ස්වභාව සිද්ධියකි. එම ධර්මතාවය පැහැදිලිව දක්වනුයේ, එවමෙතං ආනන්‍ද ආදිය වදාළහ. මේ එම ධර්මතාවයයි. සියලු බෝසත්වරු පාරමී පුරා තුෂිත දෙව්ලොව ඉපිද, එහි ආයුෂ ඇතිතෙක් සිට ආයුෂ කෙළවර දසදහසක් සක්වල දෙවිවරු විසින් රැස්ව බුදුබව සඳහා මිනිස්ලොව ප්‍රතිසන්ධි ග්‍රහණයට ඇරයුම් කරන ලුදයේ, කාල, දීප-දේශ-කුල මෙන්ම මවගේ ආයුෂ ප්‍රමාණයද බලා ප්‍රතිසන්ධි ගනිති. මේ භාග්‍යවතුන් වහන්සේද බෝසත් වූයේ, එසේම තුෂිත පුරයෙහි සිටියේ පස්මහ බැලුම් බලනුයේ, සත්දිනක් අධික දසමස් ප්‍රමාණ වූ මවගේ ආයු ප්‍රමාණය පිරිසිඳ බලා, මේ මට ප්‍රතිසන්ධි ග්‍රහණයට කාලයයි. දැන් උපදින්ට සුදුසුයයි දැනම ප්‍රතිසන්ධි ගත්තේය. එහෙයිාන් සියලු බෝසතුන්ගේ පුරුදු කරන ලද, මනාව පුරුදු කරන ලද වශයෙන්ම දතයුතුය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අප්පායුකාහි ආනන්‍ද බොධිසත්ත මාතරො හොන්ති ආදිය වදාළහ.
කාලං කරොන්ති යනු කියන ලද ආකාර ඇති ආයුෂ ක්‍ෂයයෙන්ම කළුරිය කරති. වැදූ හේතුයෙන් නොවේ. අන්තිම ආත්ම භාවයන්හි බෝසත්වරුන් විසින් වාසය කරන ලද ස්ථාන චෛත්‍ය ගෘහයක් හා සමාන වේ. අන්‍යයන්ගේ පරිභෝගයට සුදුසු නොවේ. බෝසත් බව ඉවත්කොට අනෙකෙකුට අග මෙහෙසුන් තනතුරෙහි තබන්ට නොහැක. බෝසත් මවගේ ආයුෂ එපමණම වේ. එහෙයින් එකල්හි කළුරිය කෙරෙත්. මෙම කරුණම සඳහා මහ බෝසත්වරු පස්මහ බැලුම් කරති.
කවර වයසකදී කළුරිය කෙරෙත්ද? මධ්‍යම වයසෙහිය. ප්‍රථම වයස්හිදී සත්ත්වයින්ගේ ආත්ම භාවයෙහි ඇල්ම බලවත් වේ. එහෙයින් එකල්හි හටගත් ගැබ් ඇති ස්ත්‍රීහු බොහෝ සෙයින් ගැබ රක්නට නොහැකි වෙති. ගැබ්ගත්තේ වී නමුදු බොහෝ ආබාධ වේ. මධ්‍යම වයස්හි දෙකොටසක් ඉක්ම තෙවන කොටසෙහි වස්තුව පැහැදිලි වේ. පිරිසිදු වස්තුවෙහි උපන් දරුවෝ නිරෝගි වෙති. එහෙයින් බෝසත් මව්වරු ප්‍රථම වයස්හි සම්පත් අනුභව කොට, මධ්‍යම වයසෙහි තෙවන කොටසෙහි දරුවන් ප්‍රසූතකොට කළුරිය කෙරෙත්.
එතමත්‍ථං විදිත්‍වා යනු එම බෝසත් මවගේ ද අන්‍ය සියලු සත්ත්වයින්ගේ ද, ආත්මභාවයන්හි ආයුෂයෙහි මරණ කෙළවරතාවය දැන, එම කරුණ පැහැදිලි කිරීම් වශයෙන් නිරවද්‍ය ප්‍රතිපත්තියෙහි උත්සාහ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
එහි යෙ කෙචි යනු අනියම් නිර්දේශයයි. භූතා යනු උපන්නාහු (සත්ත්වයෝ) භවිස්සන්ති යනු අනාගතයෙහි උපදින්නාහ. වා ශබ්දය විකල්පාර්ථයෙහිය. අපි ශබ්දය එක්කිරීම් අර්ථයෙහිය. ඉන් උපදිනු ලබන අයද ඇතුලත් කෙරේ. මෙතෙකින් අතීතාදී වශයෙන් ප්‍රතිසන්ධීන්ට ඇතුලත් සත්ත්වයින් හාත්පසින් ගනු ලැබේ. තවද ගැබෙහි හොවින සත්ත්වයෝ, ගැබින් නික්මුණ කාලයෙහි පටන් උපන්නාහු නමැ, ඉන් පෙර වන්නාහු නමැ. සංසේදජ ඔපපාතිකයෝ ප්‍රතිසන්ධි සිතෙන් මත්තෙහි උපන්නාහු නමැ. සියල්ලෝම වර්තමාන භව වශයෙන් උපන්නාහු නමි. මතු පුනර්භව වශයෙන් වන්නාහු නමි. ක්‍ෂීණාශ්‍රවයෝ උපන්නාහු නමි. ඔව්හු උපන්නාහුම නැවත නොවන්නාහ. එයින් අන්‍යයෝ වන්නාහු නමැ.