9. උපසෙන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි උපසෙනස්ස යන මෙහි උපසෙන යනු එම තෙරුන්ගේ නාමයයි. වංගන්ත බමුණුගේ පුත් බැවින් වංගන්ත පුතුයැයි ද වහරති.
ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ බාල සොයුරු වූ මේ තෙර වනාහි, සස්නෙහි පැවිදිව ශික්ෂාපද නොපැනවූ කලැ උපසපන් දෙවස්වැ, උපාධ්‍යාය වී එක් භික්ෂුවක් උපසම්පදාකොට, ඔහු සමග භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයට ගියේය. භාග්‍යවතුන් වහන්සේ විසින් එම භික්ෂුවගේ එක්ව වසන බැව් විචාරා ඛන්ධකයෙහි ආක්‍රමයෙන්, හිස් පුරුෂය, නුඹ යම් ආකාර වූ සමූහයා සමග බැඳීම් සංඛ්‍යාත බහුලතාවයට ඉතා ඉක්මණින් පෙරළිනි යයි මනාව ගර්හා කරන ලදුයේ කසයෙන් පහර ලද ආජානේය අශ්වයෙකු මෙන් සංවේගයට පත් මනසින් යුතුව යම් ආකාර වූ මම දැන් පිරිස නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් ගර්හා කරන ලද්දේ වෙමි. පිරිස නිසාම ප්රසංසාහර්ය වන්නෙම් යයි උත්සාහවත් වූයේ සියලු ධුත ධර්මයන් සමාදන්ව පවත්නේ විදර්ශනා අරඹා නොබෝ කලෙකින්ම ෂඩභිඥා සිව්පිළිසිඹියා ප්‍රාප්ත මහා ක්ෂීණාශ්රවයෙක්ව, තම ඇසිරි කරනවුන් ධුතාංගධරයින්ම කොට, ඔවුන් සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, සන්ථත ශික්‍ෂාපදයෙහි සඳහන් ක්‍රමයෙන් ‘උපසේන නුඹගේ මේ පිරිස ප්රසාදජනකයයි, පිරිස් වශයෙන්, භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙන් ලද ප්‍රශංසා ඇතියේ, “මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර, යම් මේ වග්ගන්ත පුත්‍ර උපසේන කෙනෙක් වේද? හැම ආකාර සතුට ගෙන දෙන්නවුන් අතර ඔහුම අග්‍රය”. එතදග්‍රස්ථානයෙහි තබන ලද අසූමහ ශ්‍රාවකයන් අතර ඇතුළත් වූයේ වේ.
හෙතෙම එක් දිනක් පසුබත පිණ්ඩපාතයෙන් ඉවත්වූයේ (වැළැකුගේ) අතවැස්සන් තම තමන්ගේ දිවා ස්ථානයන්ට ගිය කල්හි දිය කලයෙන් දිය ගෙන පා සෝදා ශරීරාංග සිසිල්කොට සම්කඩ අතුරා දිවා ස්ථානයෙහි දිවා විහරණ සඳහා හුන්නේ තම ගුණයන් සිහි කළේය. ඔහුට ඒවා නොයෙක් සියදහස් ගණන් ඊයක් පසු ඊයක් මෙන් වැටහුනි. හෙතෙම, ඒ බුදුරදුන්ගේ ශ්‍රාවකයෙක් මෙබඳු ගුණ ඇතිවූයෙහි නම් එම ශාස්තෲන් වහන්සේගේ ගුණ කෙබඳු විය හැකිදැයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අභිමුවව මෙනෙහි කිරීම යැවීය. එහෙයින් ඔහුට එම ඤාණබල අනුරූපව නොයෙක් කෝටි ගණන් වැටහිණි. හෙතෙම මාගේ ශාස්තෲන් වහන්සේ මෙබඳු සීලයකින් යුක්තය. මෙබඳු යහපත් පැවැත්මෙන් යුක්තය. මෙබඳු ප්‍රඥායෙන් යුක්තය. මෙබඳු මිදීම්වලින් යුක්තය. ආදියෙන්ද, මේ ආකාරයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ යන ආදියෙන් ද ශාස්තෲන් වහන්සේගේ ගුණ ප්‍රකට කිරීම් ආකාරයෙන් සිහිකොට ඉක්බිති ‘මනාව කියන ලද්දේය යන ආදියෙන් ධර්මයෙහිද, ‘මනාව පිළිපන්නේය යන ආදියෙන් ආර්ය සංඝයාගේ ද ගුණ සිහි කළේය. මෙසේ මහතෙරහු තෙරුවන් ගුණයන්හි නොයෙක් ආකාර වෙනස්කම් ප්‍රකට වූ කල්හි තමා ප්‍රමුදිත වයේ මහත් ප්‍රීති සොම්නසක් මනා සේ විඳිමින් හුන්නේය. එකරුණ දැක්වීමට ආයස්මතො උපසෙනස්ස වග්ගන්ත පුත්තස්ස රහො ගතස්ස ආදිය යූ.සේයි.
එහි රහොගතස්ස යනු රහසිගත වූවහුට පටිසල්ලීනස්ස යනු හුදෙකලා වූවහුට, එවං චෙතසො පරිවිතක්කො උදපාදි යනු මෙසේ දැන් කියනු ලබන ආකාර ඇති සිතට විතර්කයක් උපනි. ලාභාවත මෙ යනු යම් ආකාර වූ මෙම මනුෂ්‍යත්වය, බුද්ධෝත්පාදය, ශ්‍රද්ධාව බෝධාදීහු විශ්මයෙකි. ඒකාන්තයෙන් මවිසින් ඒවා ලබන ලද්දෙමි. සුලද්ධං වත මෙ යනු මවිසින් භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි පැවිදි උපසම්පදා, තෙරුවන් ඇසුරු කිරීම් ආදියෙන් යම්කිසිවක් ලබන ලදද? විශ්මයෙකි. එය මා විසින් ඒකාන්තයෙන් මනාසේ ලබන ලදි. එහිලා සත්ථාච මෙ ආදියෙන් කරුණ කීවේය.
එහි මෙලෝ පරලෝ පරමාර්ථයන්ගෙන් සුදුසු පරිදි සත්ත්වයින්ට අනුශාසනා කෙරේනුයි සත්ථායි, පෙර පින් ඇති බව ආදී කාරණයන්ගෙන් භගවායි. කෙලෙසුන් කෙරෙන් දුර හෙයින්ද, සංසාර චක්‍රයෙහි දැතිරෝද නැසූ හෙයින්ද, කෙලෙස් සතුරන්ගේ නැසීම කළ හෙයින්ද, ප්‍රත්‍යය ආදීන්ට සුදුසු හෙයින්ද, පව් කිරීමෙහි රහස් නොමැති හෙයින්ද අරහංයි, මනාව තෙමේම සියලු ධර්මයන් අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධොයි මේ මෙහි සංක්ෂේපයයි. විස්තරය වනාහි විසුද්ධි මාර්ගයෙහි බුද්ධානුස්මෘති නිර්දේශයෙන් ගතයුතුය.
ස්වාක්ඛාතෙ යනු මනාසේ (කියන ලද) දෙසන ලද, ඒකාන්තයෙන් සසරින් නිදහස දෙන ලෙස දේශිත, ධම්ම විනයෙ යනු බුදු වදන්හි, එය වනාහි අවවාදය පරිදි පිළිපදිනවුනට සසර දුක්හි වැටීමෙන් වළක්වා දැරීමෙන්ද, රාගාදී කෙලෙස් හික්මවන හෙයින්ද ධර්මවිනය යයි කියයි. සබ්රහ්මචාරයො යනු ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්‍රහ්ම සංඛ්‍යාත භාග්‍යවතුන් වහන්සේගේ සාසන ආර්යමාර්ග සත්‍යයෙහි සමව හැසිරෙත්. පිළිපදිත්නුයි සබ්රහ්මචාරයොයි. සීලවන්තො යනු මාර්ග සීල ඵල සීල වශයෙන් සිල්වත්හ. කල්‍යාණ ධම්මා යනු සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනාදී යහපත්, සුන්දර ධර්ම ඔවුන්ට ඇත්තේනුයි කල්‍යාණ ධම්මායි එයින් සංඝයාගේ මනා ප්‍රතිපත්තිය පෙන්වයි. සීලෙසු චම්හි පරිපූරකාරී යනු මම ද පැවිදිව තිරිසන් කථා කියන, කාය දෘඪතා බහුලව නොවිසීමි. තවද ප්රාතිමෝක්ෂ සංවර ආදී සිව්වැදෑරුම් වූද සීලය, කඩනුවූ, සිදුරු නුවූ, පුල්ලි නැති, කබර රහිත, දාසත්වයෙන් තොර, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද කෙලෙස් සපර්ශ රහිත කොට සම්පූර්ණ කරනුයේ ආර්ය මාර්ගයටම පිවිසිනැයි කියයි. ඉන් තමාගේ යට ඵලද්වයයෙහි සම්පත්තිය දක්වයි. සෝවාන් සකෘදාගාමීහු වනාහි සීලයන්හි පරිපූරකාරීහුය. සාහිතො චම්හි එකග්ග චිත්තො යනු උපචාර අර්පණා භේදයෙන් සමාධියෙහි සර්වාකාරයෙන් අවික්ෂිප්ත සිතැත්තේ සමාහිත වූයේ වෙමි. මෙම සමාධියෙහි සම්පූර්ණ කිරීම් වචනයෙන් තමාගේ තෘතීය ඵල සම්පත්තිය පෙන්වයි. අනාගාමීහු වනාහි සමාධියෙහි පරිපූරකාරීහුය. අරහාචම්හි ඛීණාසවො යනු කාමාශ්රවාදීන්ගේ සර්වප්රකාරයෙන් ක්ෂීණ හෙයින් ක්ෂීණාශ්රම නම් වේ. එයින්ම භව සංයෝජන ක්ෂය කරන ලද හෙයින් දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර දක්ෂිණෙය්යතාවයෙන් අර්හත් නම් වෙමි. එයින් තමාගේ කළයුත්ත කළ බව දක්වයි. මහිද්ධිකො චම්හි මහානුභාවො යනු අධිෂ්ඨාන විකුර්වණ ආදී සෘද්ධීණ්හි මහත් වසී භාවයෙන් යුක්ත වූ හෙයින් මහත් සෘද්ධි ඇත්තේ උදාර වූ පුණ්යානුභාවෙහිද ගුණානුභාව සම්පත්තියෙන්ද මහානුභාව වෙමි. එයින් හෙතෙම තමාගේ ලෞකික අභිඥා නව අනුපූර්ව විහාර සමවත් යෝගය දක්වයි. ආර්යයෝ අභිඥාවන්හි වසීභාවයෙන් කැමැති දැයක් නිෂ්පාදනයෙන් මහා සෘද්ධි ඇත්තෝ වෙති. පූර්ව උපනිශ්‍රය සම්පත්තියෙන් ද නොයෙක් විහාර සමාපත්තීන්ගෙන්ද පිරිසිදු කරන ලද සන්තාන හෙයින් මහානුභාව වෙති.