මෙඝිය වර්ගය
1. මෙඝිය සූත්‍ර වර්ණනාව
මෙඝිය වර්ගයෙහි පළමුවැන්නෙහි චාලිකා යනු මෙනම් නගරයෙහි, එම නගරයෙහි දොරටුව පිහිටි තැන හැර හාත්පස සැලෙන මඩ වේ. එම සැලෙන මඩ ඇසිරිකොට සිටි හෙයින් බලනවුනට සෙලවෙන්නාක් මෙන් වැටහෙයි. එහෙයින් චාලිකායි කියයි. චාලිකෙ පබ්බතෙ යනු එම නුවරට නුදුරෙහි එක් පර්වතයක් වේ. එයද මුලුමනින් ශ්වේත වර්ණ හෙයින් මාසේ පොහොය දින බලනවුනට සෙලවෙන්නාක් මෙන් වැටහේ. එහෙයින් චාලික පර්වතයයි යන සංඛ්‍යාවට ගියේය. එහි භාග්‍යවතුන් වහන්සේට මහා විහාරයක් කරවූහ. භාග්‍යවතුන් වහන්සේ එකල්හි එම නුවර ගොදුරුගම් කොට එම චාලික පර්වත මහ වෙහෙර වැඩ වාසය කරයි. එහෙයින් චාලිකායං විහරති චාලිකෙ පබ්බතෙයි යූ.සේයි. මෙඝියො යනු එම තෙරුන්ගේ නාමයයි. උපට්ඨාකො හොති යනු සේවකයා වේ. භාග්‍යවතුන් වහන්සේට ප්‍රථම බෝධියෙහි දී උපස්ථායකයෝ අනියමින් වූහ. එක් කලෙක නාගසමාල, එක් කලෙක නාගිත, එක් කලෙක උපවාන, එක් කලෙක සුනක්ඛත්ත, එක් කලෙක චුන්ද සමනුද්දෙස (ප්‍රවෘජ්‍යා පේක්‍ෂකයා) එක් කලෙක සාගත, එක් කලෙක මේඝිය, එකල්හිද මෙඝිය තෙරුන්ම උපස්ථායක විය. එහෙයින් තෙන ඛොපන සමයෙන ආයස්මා මෙඝියො භගවතො උපට්ඨාකො හොති යි වදාළහ.
ජන්තුගාමං යනු මෙවන් නමින් යුතු එම විහාරයට අයත් වෙනත් ගොදුරුගමක් ජනගාම යැයිද පාඨයි. කිමි කාලාය යනු කලු කෘමීන්ගේ බහුලතාවය හේතුයෙන් ලත් නමැති නදියෙහි, ජංඝාවිහාරං යනු බොහෝ වේලාවක් හිඳගෙන සිටීමෙන් කෙණ්ඩාවල හටගත් වෙහෙස දුරුකිරීම සඳහා ඇවිදීම, පාසාදිකං යනු රුක් බහුලතාවයෙන් ද සිනිඳු පත්‍ර බැවින්ද, බලනවුනට සතුට එළවයිනුයි පාසාදිකංයි, ඝණ සෙවන ඇති බැවින්ද සිත්කලු භූමි බාගය බැවින්ද මනුඤ්ඤංයි ඇතුලත පිවිසියවුන්ට ප්‍රීති සොම්නස් හටගන්නා අර්ථයෙන් සිත අලවයිනුයි රමණීයංයි. අලං යනු සෑහේ. යෝග්‍යයි අර්ථයි. පධානත්‍ථිකස්ස යනු ජනශූන්‍යතාවෙන් භාවනා වඩනු කැමැතියහුට, පධානාය යනු භාවනා වඩනු සඳහා, ආගච්ඡෙය්‍යාහං යනු මම එන්නෙමි. තෙරුන් වහන්සේ වනාහි පෙර එම ස්ථානය ජාති තෙරුන් වහන්සේ වනාහි පෙර එම ස්ථානය ජාති පන්සියයක් අනුපිළිවෙලින් රජෙක් වූයේම පරිභෝග කරන ලද උයනක් විය. එහෙයින් ඔහුට දිටි පමණින්ම එහි වසන්ට සිත නැමිණි. ආගමෙහි තාව යනු ශාස්තෲන් වහන්සේ තෙරුන්ගේ වදන් අසා සලකා බලනුයේ මොහුගේ ඥානය මෙතෙක් මුහුකුරා නොගියේ යයි දැන ප්‍රතික්‍ෂේප කරනුයේ මෙසේ වදාළහ. එක්කම්භාතාව යනු මෙතෙම ගියේ වී නමුත් කටයුතු නොනිපැයෙන කල්හි, සැක නැතිව ප්‍රේම වශයෙන් නැවත පැමිණෙන්නේ යයි සිතෙහි මෘදු බව ඇතිකරලීම සඳහා මෙසේ වදාළහ. යාව අඤ්ඤොපි කොචි භික්ඛු ආගච්ඡති යනු අන්කිසි භික්‍ෂුවක් මා සමීපයට යම්තාක් පැමිණේද ඒ තාක් බලාපොරොත්තු වෙවයි අර්ථයි. කිසි භික්‍ෂුවක් පෙනේද, ආගච්ඡතුයිද කියවති. එසේ පෙනේවා.
නත්‍ථි කිඤ්චි උත්තරිං කරණීයං යනු සිව් සත්‍යයන්හි, සිව් මාර්ගයන්ගෙන් පරිඥා ආදී සොළොස් කෘත්‍යයන්ගේ කොට නිමහෙයින්, අභිසම්බෝධිගේ හෝ අවබෝධ කළ හෙයින් ඉන් මත්තෙහි කළයුත්තක් නම් නැත. නත්‍ථි කතස්සවා පතිචයො යනු කළ දැයෙහි යලි රැස් කැරුමෙක්ද නැත. වඩන ලද මාර්ගය නැවත නොවඩනු ලැබේ. ප්‍රහීණ වූ කෙලෙසුන්ගේ හෝ නැවත ප්‍රහාණයෙහිලා කාර්යයක් නම් නැත. අත්‍ථි කතස්ස පතිචයො යනු මාගේ සන්තානයෙහි නිෂ්පාදිත සීලාදී ධර්මයෙහිද ආර්ය මාර්ගයෙහිද, අවබෝධ නොකළ හෙයින් ඒ සඳහා නැවත වැඩීම් සංඛ්‍යාත යළි රැස් කැරුමෙක් ඇත. කැමැති විය යුතුයයි අර්ථයි. පධානන්ති ඛො මෙඝිය වදමානං කින්ති වදෙය්‍යාම යනු මහණදම් කරමියි එය කියන ඔබට අපි අන් කුමක් නම් කියන්නෙමුද?
දිවා විහාරං නිසීදි යනු දිවා විහරණය සඳහා හිඳගති. හිඳගතුයේද, පෙර අනුපිළිවෙලින් පන්සියයක් ආත්ම රජව, උයන්කෙළි ක්‍රීඩා කරමින් නොයෙක් නළුනිළි පිරිවර සහිතව හුන් විරු මඟුල් ගල් තහඩුව යම් තැනෙක්හි වීද, එම ස්ථානයෙහිම හිඳ ගත්තේය. ඉක්බිති ඔහුට හුන් කලැ පටන් ශ්‍රමණ භාවය රහිත මෙන් විය. රජ වෙස්ගෙන නාට්‍යය පිරිවර විසින් පිරිවරන ලදුයේ සුදු කුඩය යට මහානර්ඝ පර්යංකයක හුන්නාක් මෙන් විය. ඉක්බිති ඔහුට එම සම්පත් ආශ්වාද කරන කල්හි කාම විතර්ක පහල විය. ඔහු එකෙණෙහිම බඩු සහිතව අල්වා ගත් සොරුන් දෙදෙනෙකු ගෙනවුත් ඉදිරිපස සිටියවුන් මෙන් දිටීය. ඔවුනතර එක් අයෙකු මැරවීමට අණකිරීම් වශයෙන් ව්‍යාපාද විතර්කය උපනි. එක් අයෙකු අත් පා විලංකු දමන ලෙස අණකිරීම් වශයෙන් විහිංසා විතර්කය උපනි. මෙසේ හෙතෙම වැල් ජාලාවකින් වැසුන රුකක් මෙන්ද, මැස්සන් ගැවසී ගත් මීයක් නසන මීමැසි ඝාතකයෙක් මේනද අකුසල විතර්කයන්ගෙන් වටකරන ලදුයේ, මනාව ගැවසීගත්තේ විය. ඒ සඳහා අථ ඛො ආයස්මතො මෙඝියස්ස ආදිය යූ.සේයි.
අච්ඡරියං වත භො යනු එය ගර්හා කිරීමේ ආශ්චර්යය නමැ. යම්සේ නම් ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ නිශ්ශබ්දතාවය දැක, ස්වාමීනි, ආශ්චර්යයෙක. ස්වාමීනි පෙර නොවූ විරියෙකැයි කීය. සමහරු වනාහි, එකල්හි මල්, ඵල, පත්‍රාදීන්හි ලෝභ වශයෙන් කාම විතර්කයද, ගොරෝසු ස්වර ඇති පක්‍ෂි ආදීන්ගේ ශබ්ද ශ්‍රවණයෙන් ව්‍යාපාද විතර්කයද, මැටි කැට ආදීන්ගෙන් එම සතුන් වෙහෙසට (පීඩාවට) පත් කිරීම් අදහසින් විහිංසා විතර්කයද, මම මෙහිම වාසය කරන්නේ නම් යෙහෙකැයි එහි අපේක්‍ෂතා වශයෙන් කාම විතර්කයද, එහි වනයෙහි හැසිරෙනවුන් දැක සිත (දූෂ්‍ය) ද්‍රෝහී වීමෙන් ව්‍යාපාද විතර්කයද, ඔවුන් වෙහෙසට පත්කිරීමේ අදහසින් විහිංසා විතර්කයද, ඔහුට උපදිත් යයි කියති. කවරාකාරයකින් හෝ ඔහුගේ මිථ්‍යා විතර්ක ඉපැත්මම කාරණයයි. අන්‍වාසත්තා යනු ලැගුණාහු, ගැවසී ගත්තාහු. තමා කෙරෙහිද, ගුරුවරයා කෙරෙහිදැයි ඒකවචනාර්ථයෙහි වුවද බහුවචනය පෙනේ. අන්‍වාසත්තොයි ද පාඨයි.