10. ශාරීපුත්‍ර සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අත්තනො උපසමං යන ශ්‍රාවක පාරමී මස්තකප්‍රාප්තියට හේතු වූ අග්‍ර මාර්ගයෙන් තමාගේ ශේෂ රහිත කෙලෙස් සංසිඳවීමයි.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නොසන්සිඳවන ලද කෙලෙසුන් ඇති සත්ත්වයින්ගේ රාගාදී කෙලෙසුන්ගෙන් හටගත් තැවීම්, දාහ, දැවීම් ආදී දුකට හේතු වූ ක්ලේෂාභිසංස්කාර නිමිත්තද, ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව ආදී දුක්ද, ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක අතීත අනාගතයන්හිද ඒවායි සංසාර වෘත්ත මූලික දුක මනාව තුලනය කොට, කරුණා කරනුයේ තමාද පෘථග්ජන කාලයෙහි, අනුභව කරන ලද කෙලෙස් නිමිත්ත හෝ අනල්ප වූ දුකද සිහිකොට, මෙවන් මහ දුකකට හේතු වූ කෙලේස දැන් මට මනාව ප්‍රහීණ වූයේ යයි තම කෙලෙස් සන්සිඳුම නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරයි. ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේද, මෙම මෙතෙක් කෙලෙස් සෝවාන් මාර්ගයෙන් සන්සිඳවන ලදි. මෙතෙක් සකෘදාගාමී මාර්ගයෙන්, මෙතෙක් අනාගාමී මාර්ගයෙන්, මෙතෙක් අර්හත් මාර්ගයෙන් සන්සිඳවන ලදැයි ඒ ඒ මාර්ග ඤාණයන්ගෙන් - සීමා වශයෙන් කෙලෙසුන්ගේ සන්සිඳවන ලද බැව් ප්‍රත්‍යවේක්‍ෂා කරයි. එහෙයින් අත්තනො උපසමං පච්චවෙක්ඛමානොයි යූ.සේයි.
වෙනත් තෙර කෙනෙක් අර්හත් ඵල සමවතට සමවැද, එය ප්‍රත්‍යවේක්‍ෂා කොට ඒකාන්තයෙන් මෙහි මේ ශාන්ත ප්‍රණීත භාවය අත්‍යන්තරයෙන් ශාන්ත හෙයින්, අසංඛත ධාතුයෙන් ආරම්මණ වශයෙන් තෙමේ ද මනාව කෙලෙස් සන්සිඳවූයේ යැයි මෙසේ නිතර සන්සිඳීම ප්‍රත්‍යවේක්‍ෂා කෙරේයයි කියයි. අන්‍යයන් වනාහි ශේෂ රහිත කෙලෙසුන්ගේ සන්සිඳීමෙන් කෙළවර හටගත් අග්‍රඵලයම සන්සිඳීම නම් වේ. එය ප්‍රත්‍යවේක්‍ෂා කරමින් හුන්නේ යයි කියයි.
එතමත්‍ථං විදිත්‍වා යනු යම් මේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ දිලිසෙන ප්‍රඥතාදීන්ට හේතු වූ ශ්‍රාවකයින් අතර, අනෙකෙකුට සාධාරණ නොවූ, කෙලෙස් ප්‍රහාණය හෝ අග්‍රඵලය හෝ සන්සිඳීම පිළිවෙලින් යූ.සේයි. එහි ප්‍රත්‍යවේක්‍ෂා සංඛ්‍යාත අර්ථය සර්වාකාරයෙන් දැන එහි අනුසස් දැක්වීමට මේ උදන් ඇනූ සේක.
එහි උපසන්ත සන්ත චිත්තස්ස යනු උපශාන්ත වූම සන්සුන් සිත ඔහුටනුයි උපසන්ත සන්ත චිත්තොයි. සමවත් විෂ්කම්භනයෙන් සන්සුන් කෙලෙස් හෙයින් උපසන්ත චිත්තංයි. සර්වප්‍රකාරයෙන් සන්සුන් ශාන්ත භාවයැයි නොකියයි. එම සන්සුන් භාවයෙහි සීමාව ඉක්ම නොගිය බැවිනි. අග මගින් එසේ නොවේ. ඔහු විසින් අත්‍යන්තයෙන්ම කෙලෙසුන්ගේ නැසූ හෙයින් රහත්හුගේ සිත නැවත කෙලෙසුන්ගේ සන්සිඳවිය යුතු නොමැති හෙයින්, සමථ විදර්ශනා යට මාර්ගයන්ගෙන් සන්සුන් කෙලෙස්ව අත්‍යන්ත ශාන්ත භාවයෙන්ම සන්සුන් ශාන්ත යැයි කියයි. එහෙයින් සන්සුන් වූයේම වී සන්සුන් සිත ඔහුටනුයි “උපපසන්ත සන්ත චිත්තො”යි. ව්‍යපසමනය උපශාන්ත යැයි කියායි. අත්‍යන්ත ව්‍යපසමනයෙන් ශාන්ත සිතට යැයි අර්ථයි.
තවද සියලු ක්‍ෂීණාශ්‍රවයන්ට ශේෂ රහිත කෙලෙස් සන්සිඳීම් ඇති කල්හිද, ශ්‍රාවක පාරමී ඥානයාගේ මස්තකප්‍රාප්තියට හේතු වූ, ශ්‍රාවකයින් තර අන්‍යයන් හා සාධාරණ නුවූ දම් සෙනෙවිහුගේ කෙලෙස් සංසිඳවීමෙහිලා විශේෂ සහිතතාවයන් දැක්වීමට “උපසන්ත සන්ත චිත්ත”යැයි ශාස්තෲන් වහන්සේ උපශාන්ත ශබ්දයෙන් වෙසෙසා වදාළ සේක.
එහි මේ අර්ථයි. බොහෝ සේ බලවත් සන්සුන් බව උපශාන්තයි. එම උපසමයෙන්, සංයමයෙන් සන්සුන් හෝ වූ සන්සුන් බව සන්සුන් ශෘන්තයි. එබඳු සිතක් ඔහුට නුයි සියල්ල පළමු පරිදියි. එසේම එය භාග්‍යවතුන් වහන්සේ විසින්, මහණෙනි සැරියුත් තෙමේ මහා ප්‍රාඥය. බැබලෙන ප්‍රාඥය. පැතිර සිටි ප්‍රාඥය. ධාවන ප්‍රාඥය. තීක්‍ෂණ ප්‍රාඥය. විනිවිද යන ප්‍රාඥයයි ආදී නොයෙක් ක්‍රමයෙන් වර්ණනා කරන ලදි. ස්තුති කරන ලදි. නෙත්තිච්ඡින්නස්ස යනු භව තෘෂ්ණාව නෙත්ති යැයි කියයි. සංසාරයාගේ ගෙනයන හෙයින් එම ගෙනයාම සිඳින ලද්දේ ඔහුගේනුයි නෙත්තච්ඡින්නොයි. එම තෘෂ්ණාව සිඳින ලද්දහුගේ ප්‍රහීණ තෘෂ්ණා ඇතියහුගේ යයි අර්ථයි. මුත්තො මාර බන්‍ධනා යනු හෙතෙම මේ ආකාර වූ, ක්‍ෂය කරන ලද බව බැඳුම් ඇතියේ සියලු මාර බන්‍ධනයන්ගෙන් මිදුනේ, ඔහුට මාර බන්ධනයන්ගෙන් මිදීම සඳහා කළයුතු දෙයක් නොමැත. එහෙයින් දම්සෙනෙවි තම සන්සිඳීම ප්‍රත්‍යවේක්‍ෂා කරයි. සෙස්ස කියන ලද ආකාරමය.
දසවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
සිව්වන වර්ග වර්ණනාව සමාප්තයි.
සොණ වර්ගය
1. රාජ සූත්‍ර වර්ණනාව
මහා වර්ගයෙහි පළමුවැන්නෙහි මල්ලිකාය දෙවියා සද්ධිං යනු තමාගේ අගමෙහෙසිය වූ මල්ලිකා සමග උපරිපාසාද වරගතො යනු විශාල ප්‍රාසාදයෙහි මතු මහලට ගියේ, කොචඤ්ඤො අත්තනා පියතරො යනු තමාට වඩා ප්‍රියකරන අන්කිසි කෙනෙක්, අත්‍ථිනුඛො තෙ යනු කිමෙක්ද, නුඹගේ එවැනි ප්‍රියකරන කෙනෙක් ඇත්දැයි දේවියගෙන් විචාරයි.
කවර හෙයින් විචාරයිද? මැය වනාහි සැවැත්නුවර දුගී මල්කරුවෙකුගේ දියණියකි. එක්දිනක් වෙළඳසලින් කැවුමක් ගෙන මල් අරමට ගොස් කන්නෙමියි යන්නී විරුද්ධ මාර්ගයෙහි බික්සඟන පිරිවරන ලද භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරීමට පිවිසෙන්නහු දැක පසන් සිතැත්තී එය භාග්‍යවතුන් වහන්සේට දුන්නාය. ශාස්තෲන් වහන්සේ එතැන වැඩසිටිනා ආකාරයක් දැක්වූ සේක. අනඳ තෙරහු සිවුරක් පනවා දිනි. භාග්‍යවතුන් වහන්සේ එහි හිඳ එම කැවුම් අනුභව කොට මුව සෝදා සිනහ පහළ කළ සේක. තෙරහු ස්වාමීනි, මැයගේ දානයෙහි කවර විපාකයක් වන්නේදැයි විමසීය. ආනන්දය, අද ඇය තථාගතයන් වහන්සේට ප්‍රථම භෝජනය දුන්නේය. අදම කොසොල් රජුගේ ප්‍රියමනාප අගමෙහෙසිය වන්නේ යයි වදාළ සේක. එදිනම රජු කාසි ග්‍රාමයෙහි බෑනා සමග යුදකොට පැරැදී පැන පැමිණියේ, නගරට පිවිසෙනුයේ සෙබල සමූහයාගේ පැමිණීම බලාපොරොත්තු වන්නෙමියි එම මල් අරමට පිවිසියේය. ඕ පැමිණි රජු දැක ඔහුට වත්පිළිවෙත් කළාය. රජු ඇයගේ වත් කෙරෙහි පැහැදී පියා කැඳවා මහත් ඓශ්වර්යය දී ඇය අන්තඃපුරයෙන් ඉවත්කරවා අග මෙහෙසුන් තනතුරෙහි තැබීය. නැවත එක්දිනක් රජු මවිසින් මැයට මහත් ඓශ්වර්යය දෙන ලදි. නුඹට කවරෙක් ප්‍රියදැයි මැයගෙන් විචාරන්නෙම් නම් ඉතා යෙහෙකැයි සිතීය. ඕ මහරජ, ඔබ ප්‍රිය යැයි කියා නැවත මගෙන් විචාරන්නේය. ඉක්බිති මම ඇයට මටද ඔබම ප්‍රිය යැයි කියන්නෙමියි මෙසේ ඔහු ඔවුනොවුන් අතර විශ්වාසය ඇතිකරලීම සඳහා සතුටුවිය යුත්තක් කරනුයේ විචාළේය.