8. සුන්දරී සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි, සක්කතො ආදී පදයන්ගේ අර්ථය යට වර්ණනා කරන ලද්දේමය. අසහමානා යනු නොඉවසන්නාහු ඊර්ෂ්‍යා කරන්නාහු යයි අර්ථයි. භික්‍ෂු සංඝයාටද ලැබෙන සත්කාර නොඉවසන්නාහු යයි සම්බන්ධයයි.
සුන්‍දරී යනු ඇයගේ නාමයයි. ඕ වනාහි එකල්හි සියලු පරිබ්‍රාජිකාවන් අතර මනා රූ ඇතියේ, දර්ශනීය, ප්‍රසාදජනක උතුම් රූප සෞන්දර්යයෙන් යුක්ත වූවාය. එහෙයින්ම ඕ සුන්දරී යැයි ප්‍රකට විය. ඕද නොඉක්මවන ලද යෞවනයෙන් යුක්ත වූවා අසංවර හැසිරීම්ද වේ. එහෙයින් එම සුන්දරී පරිබ්‍රාජිකාව පව්කම්හි යෙදවූහ. එම අන්‍ය තීර්ථකයින් විසින් බුද්ධෝත්පාදයෙහි පටන් තට ලාභසත්කාර වූවාහු, යට ආක්‍රෝශ සූත්‍ර වර්ණනායෙහි සඳහන් වූ ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේටද, භික්‍ෂු සංඝයාටද මහත් අප්‍රමාණ ලාභසත්කාර පවත්වනු ඇත. ඊර්ෂ්‍යාවෙන් මඩනා ලද්දාහු එක්ව, අප ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ උපන් කල පටන් නටුයේ වෙමු. නැසුනු (හීන) ලාභ සත්කාරිකයෝ වෙමු. කිසිවෙක් අපගෙ අස්ථිත්‍වයද නොදනියි. කවර හේතුවකින් ලෝකයා ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි විශේෂ ප්‍රසන්නතාවයකින් යුක්තව මහත් වූ සත්කාර සම්මා එළවයිදැයි එක්ව සාකච්ඡා කළහ. එහිදී එක් අයෙක් මෙසේ කීය. උසස් කුලානුයුක්ත, කඩ නුවූ, මහා සම්මත පරම්මරාවෙන් උපන්නේය. අනෙකෙක් උපතෙහිදී ඔහුට නොයෙක් ආශ්චර්යයන් පහළ වූහයිද අනෙකෙක් කාලදෙවල වැන්දවීමට එළවන ලද ඔහුගේ පාද පෙරලී කාලදේවලගේ ජටාවෙහි පිහිටියේ යැයි ද, අනෙකෙක් වප්මගුල් කල දඹගස් සෙවනෙහි නිදිකරවන ලද්දහුට - මධ්‍යාහ්නය ඉක්මගිය කල්හිද දඹ සෙවන නොපෙරළී සිටියේ යැයි ද අනෙකෙක් මනා රූ ඇතියේ, දර්ශනීය ප්‍රසාදජනක රූ සපුවෙන් යුක්ත යැයිද අනෙකෙක් ජරාවෙන් දිරාගිය, රෝගී, මළ, ප්‍රවෘජ්ජිත සංඛ්‍යාත නිමිති දැක සංවේගප්‍රාප්තව ලැබීමට නියමිත (අප්‍රමාණ වූ) චක්‍රවර්ති රාජ්‍යය හැර පැවිදි වූයේ යයිද කීය. මෙසේ අප්‍රමාණ කාලයක් රැස්කරන ලද වෙනත් අයෙකුට සාධාරණ නුවූ භාග්‍යවතුන් වහන්සේගේ පුණ්‍ය සම්භාරය, ඉහළම පාරමිතා ප්‍රාප්තිය, උපමා රහිත කෙලෙස් තුනී කිරීමේ ප්‍රතිපදාව, ඉතා උතුම් ඥානය, කෙලෙස් ප්‍රහාණ සම්පත්තිය ආදී බුද්ධානුභාව නොදන්නාහු තමා විසින් දිටි පරිදි ඇසූ පරිදි ඒ ඒ කරුණින් භාග්‍යවතුන් වහන්සේට බුහුමන් කිරීම වර්ණනා කොට, බුහුමන් නොකරන කරුණු නොදක්නාහු කවර නම් වූ කරුණකින් අප ශ්‍රමණ ගෞතමයන් වහන්සේට අයසක් උපදවා ලාභ සත්කාර නසන්නෙමුදැයි සාකච්ඡා කළහ. ඔවුනතර එක් සියුම් කල්පනාවෙන් යුක්තයෙක්, පින්වත, මේ සත්ත්ව ලෝකයෙහි මාගම් සුවයෙහි නොඇලුනු සත්ත්වයෙක් නම් නැත. මේ ශ්‍රමණ ගෞතම තෙමේද මනා රූ ඇත්තේය. දෙවියෙක් හා සම වූයේ තරුණය. තමා හා සම රුවැති මාගමක් ලැබ සිත් අලවන්නේය. තවද, සිතේ නො අලවයි නම් ජනතාවට වනාහි සැක ඇතිවන්නේය. එසේනම් අපි සුන්දරී පරිබ්‍රාජිකාව, යම්සේ ශ්‍රමණ ගෞතමයන්ගේ අපකීර්තිය පෘථුවිය පුරා පැතිරෙන්නේද? එසේ පිටත්කර යවමු.
ගෞතම තෙමෙ අපකීර්තියෙන් උපද්‍රවයට පත්වූයේ හිස ඔසවන්ට නොහැකි වනුයේ කොතැනකට හෝ පලා යන්නේ යයි සියල්ලෝම එකමතිකව එසේ යවන්ට සුන්දරියගේ සමීපයට ගියහ. ඕ ඔවුන් දැක නුඹලා කුමක් සඳහා එකතුව ආවහුදැයි කීවාය. තීර්ථකයෝ කථා නොකරන්නාහු ආරාම කෙළවර වැසුණු පෙදෙසක හිඳගත්හ. ඕ එහි ගොස් නැවත නැවත ආමන්ත්‍රණය කරන්නී ප්‍රතිවචන නොලැබ, කිමෙක්ද මා ඔබලාට අපරාධයක් කරන ලද්දේද? කවර හෙයින් මට පිළිවදන් නොදෙව්දැයි කීවාය. කිමෙක්ද නුඹ අප වෙහෙසනු ලබන කල්හි මධ්‍යස්ථ වන්නෙහිද? කවරෙක් නුඹලා වෙහෙසයිද, කිමෙක්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අප වෙහෙසවා තට ලාභ සත්කාරකයින් කොට හැසිරෙන්නහු නොදක්නෙහිදැයි කීය. එහිදී මා විසින් කුමක් කළයුතුදැයි කී කල්හි එසේනම් නුඹ නිතර ජේතවන සමීපයට ගොස් මහජනයාට මේ මේ ආකාරයෙන් කියවයි කීහ. ඕ ද මැනැවැයි පිළිගත්තාය. එහෙයින් අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජිකා භගවතො සක්කාරං අසහමානා යනාදිය යූ.සේයි.
එහි උස්සහසි යනු හැකි වෙහිද? අත්‍ථං යනු හිතවත් කෘත්‍යයක් හෝ, කපාහං යනු කිමෙක්ද මම, එම තීර්ථකයෝ ඇයගේ ඤාතිත්වක් නොමැති වූයේ නමුදු, ප්‍රව්‍රජ්‍යා සම්බන්ධ මාත්‍රයෙන් ඇය තම වසඟයට ගන්ට ඤාතීහු මෙන්ව, උස්සහසිත්‍වං භගිනි ඤාතීනං අත්‍ථං කාතුංයි කීහ. ඕ ද වැලක පැටලුන මුවෙකු මෙන්, පාදයන්හි ලග්න වූයේ මාගේ ජීවිතය ඥාතීන්ගේ යහපත උදෙසා පරිත්‍යාග කරන ලද්දෙමියි කීවාය.
තෙනහි යනු නුඹ මාගේ ජීවිතය ද නුඹලාගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරන ලද්දෙමියි කියන්නෙහිය. නුඹද ප්‍රථම වයසෙහි සිටියෙහි මනා රූ ඇති අති දර්ශනීය බවට පැමිණියෙහිය. එහෙයින් යම්සේ නුඹ හේතුකොට ශ්‍රමණ ගෞතමයාට අයසක් උපදින්නේද? එසේ කරවයි කියා නිතර දෙව්රමට යව යයි යෙදවූහ. ඕද දැරියක් කියත් දත්පෙළින් මල්වැල් ක්‍රීඩාව ක්‍රීඩා කරනු කැමැතියේ මෙන්ද, බිඳිනු මදැති සැඩ ඇතෙක් පරාමර්ශනය කරන්නාක් මෙන්ද නළලින් මාරයා ගන්නාක් මෙන්, තීර්ථකයන්ගේ වචන පිළිගෙන, මල් ගඳ විලවුන් බුලත් එනසාල්, කරාබුනැටි ආදිය ගෙන, ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කොට මහජනයා නගරයට පිවිසෙන කල්හි ජේතවන අභිමුඛව යන්නී කොහි යෙහිදැයි විමසූ කල්හි ශ්‍රමණ ගෞතමයන් සමීපයටය. මම ඔහු සමග එක ගඳකිළියෙහි වසමියි කියා, එක්තරා තීර්ථකාරාමයක වාසයකොට උදෑසනම දෙව්රම් මගට බැස නුවර අභිමුඛව එන්නී කිමෙක්ද සුන්දරිය, කොහි ගියෙහිදැයි විචාරන ලද්දී, ශ්‍රමණ ගෞතමයන් සමග එක ගඳකිළියෙහි වැස ඔහු කෙලෙස් රතියෙන් රමණය කරවා පැමිණියෙමියි කියයි. එහෙයින් එවං අයපාති ඛො සුන්දරී පරිබ්බාජිකා තෙසං අඤ්ඤතිත්‍ථියානං පරිබ්බාජකානං පටිස්සුත්‍වා අභික්ඛණං ජෙතවනං අගාමාසියි යූ.සේයි.