7. ශාරීපුත්ර සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි පෙර නොකියන ලද්දක් ඇත. ගාථාවෙහි අධිචෙතසො යන අධි චිත්තවත් භාවයෙන්, සියලු සිත්වලට අධික වූ (උසස් වූ) අර්හත්ඵල චිත්තයෙන් යුක්ත වූවහුට යන අර්ථයි. අප්පමජ්ජතො යනු ප්රමාද නොවීමෙන් අප්රමාදයෙන් නිරවද්ය ධර්මයන්හි නිතර ක්රියා කිරීමෙන් යුක්ත වූවහුට යැයි යූ.සේයි. මුනිනො යනු යමෙක් දෙලොව අවබෝධ කරයිද, එහෙයින් ඔහු මුනි යයි කියයි. මෙසේ දෙලොව අවබෝධ කිරීමෙන් හෝ, ඤාණයට ‘මොන’ යයි කියයි. ඒ අර්හත්ඵලය ප්රඥා සංඛ්යාත ඤාණයෙන් යුක්ත වූ හෙයින් ක්ෂීණාශ්රවයන් වහන්සේ මුනි නමැ. එම මුනිහුගේ. මොනපථෙසු සික්ඛතො යනු අර්හත් ඤාණ සංඛ්යාත මෝනයාගේ මාර්ගයන්හි සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන්හි, ත්රිවිධ ශික්ෂාවන්හි හෝ හික්මෙන, මෙය ද පූර්වභාග ප්රතිපදාව සඳහා යූ.සේයි. රහතන් වහන්සේ නිමකරන ලද ශික්ෂා ඇත්තේය. එහෙයින් මෙසේ නික්මෙන මෙම ශික්ෂාවෙන් මුනිභාවයට පත් මුනිහුගේ යැයි මෙසේ මෙහි අර්ථ දතයුතුය. යම්හෙයකින් එයම වේද? එහෙයින් යට මාර්ගඵල චිත්තයන්ගේ වශයෙන් අධිචෙතසොයි චතුස්සත්ය අවබෝධ ප්රතිපත්තියෙහි අප්රමාද වීම් වශයෙන් අප්පමජ්ජතොයි. මාර්ග ඥානය හා යුක්ත වීමෙන් මුනිනොයි මෙසේ එම තෙපදයන්ගේ අර්ථය යෙදේමය. නොහොත් අප්රමාදීව හික්මෙන්නහුටයැයි, ප්රධාන හේතු අර්ථතාවය දතයුතුය. අප්රමාදී වන හේතුවද හික්මෙන හේතුවද අධිචෙතසයි.
සොකා න භවන්ති තාදිනො යනු එබඳු ක්ෂීණාශ්රව මුනිහුගේ අභ්යන්තරයෙහි ඉෂ්ඨ වියොගාදී වස්තුක වූ සෝක වීම් සිත් තැවුල් නොවෙත්. නොහොත් තාදිනො යනු අටලෝ දහමින් නොසැලෙන ලක්ෂණයෙන් යුක්ත වූ මෙබඳු මුනිහුට සෝක හට නොගනිත් මේ මෙහි අර්ථයයි. උපසන්තස්ස යනු රාගාදීන්ගේ අත්යන්ත ව්යපසමනයෙන් සන්සුන් වූ, සදා සතී මතො යනු සිහියෙහි මහත් බවට පැමිණීමෙන් හැමකල්හි සිහියෙන් තොර නොවූවහුට,
මෙහිද මුනිනො අධිචෙතසො යන මෙයින් අධි චිත්ත ශික්ෂාවද, අප්පමජ්ජතො යන එයින් අධිසීල ශික්ෂාවද, මුනිනො මොන පථෙසු සික්ඛතො යන ඒවායින් අධිප්රඥා ශික්ෂාවද, මුනිනොයි යන එයින් අධිප්රඥා ශික්ෂාවද, මොන පථෙසු යන එයින් එම ලෝකෝත්තර ශික්ෂාවන්ගේ පූර්වභාග ප්රතිපදාවද, සොකා න භවන්ති යන ආදීන්ගෙන් ශික්ෂා සම්පූර්ණ කිරීමෙහි අනුසස් ප්රකාශ කරන ලදැයි දතයුතුය. සෙස්ස යූ.සේමය.
සත්වන සූත්ර වර්ණනාව නිමියේ ය.
8. සුන්දරී සූත්ර වර්ණනාව
අටවැන්නෙහි, සක්කතො ආදී පදයන්ගේ අර්ථය යට වර්ණනා කරන ලද්දේමය. අසහමානා යනු නොඉවසන්නාහු ඊර්ෂ්යා කරන්නාහු යයි අර්ථයි. භික්ෂු සංඝයාටද ලැබෙන සත්කාර නොඉවසන්නාහු යයි සම්බන්ධයයි.
සුන්දරී යනු ඇයගේ නාමයයි. ඕ වනාහි එකල්හි සියලු පරිබ්රාජිකාවන් අතර මනා රූ ඇතියේ, දර්ශනීය, ප්රසාදජනක උතුම් රූප සෞන්දර්යයෙන් යුක්ත වූවාය. එහෙයින්ම ඕ සුන්දරී යැයි ප්රකට විය. ඕද නොඉක්මවන ලද යෞවනයෙන් යුක්ත වූවා අසංවර හැසිරීම්ද වේ. එහෙයින් එම සුන්දරී පරිබ්රාජිකාව පව්කම්හි යෙදවූහ. එම අන්ය තීර්ථකයින් විසින් බුද්ධෝත්පාදයෙහි පටන් තට ලාභසත්කාර වූවාහු, යට ආක්රෝශ සූත්ර වර්ණනායෙහි සඳහන් වූ ක්රමයෙන් භාග්යවතුන් වහන්සේටද, භික්ෂු සංඝයාටද මහත් අප්රමාණ ලාභසත්කාර පවත්වනු ඇත. ඊර්ෂ්යාවෙන් මඩනා ලද්දාහු එක්ව, අප ශ්රමණ ගෞතමයන් වහන්සේගේ උපන් කල පටන් නටුයේ වෙමු. නැසුනු (හීන) ලාභ සත්කාරිකයෝ වෙමු. කිසිවෙක් අපගෙ අස්ථිත්වයද නොදනියි. කවර හේතුවකින් ලෝකයා ශ්රමණ ගෞතමයන් කෙරෙහි විශේෂ ප්රසන්නතාවයකින් යුක්තව මහත් වූ සත්කාර සම්මා එළවයිදැයි එක්ව සාකච්ඡා කළහ. එහිදී එක් අයෙක් මෙසේ කීය. උසස් කුලානුයුක්ත, කඩ නුවූ, මහා සම්මත පරම්මරාවෙන් උපන්නේය. අනෙකෙක් උපතෙහිදී ඔහුට නොයෙක් ආශ්චර්යයන් පහළ වූහයිද අනෙකෙක් කාලදෙවල වැන්දවීමට එළවන ලද ඔහුගේ පාද පෙරලී කාලදේවලගේ ජටාවෙහි පිහිටියේ යැයි ද, අනෙකෙක් වප්මගුල් කල දඹගස් සෙවනෙහි නිදිකරවන ලද්දහුට - මධ්යාහ්නය ඉක්මගිය කල්හිද දඹ සෙවන නොපෙරළී සිටියේ යැයි ද අනෙකෙක් මනා රූ ඇතියේ, දර්ශනීය ප්රසාදජනක රූ සපුවෙන් යුක්ත යැයිද අනෙකෙක් ජරාවෙන් දිරාගිය, රෝගී, මළ, ප්රවෘජ්ජිත සංඛ්යාත නිමිති දැක සංවේගප්රාප්තව ලැබීමට නියමිත (අප්රමාණ වූ) චක්රවර්ති රාජ්යය හැර පැවිදි වූයේ යයිද කීය. මෙසේ අප්රමාණ කාලයක් රැස්කරන ලද වෙනත් අයෙකුට සාධාරණ නුවූ භාග්යවතුන් වහන්සේගේ පුණ්ය සම්භාරය, ඉහළම පාරමිතා ප්රාප්තිය, උපමා රහිත කෙලෙස් තුනී කිරීමේ ප්රතිපදාව, ඉතා උතුම් ඥානය, කෙලෙස් ප්රහාණ සම්පත්තිය ආදී බුද්ධානුභාව නොදන්නාහු තමා විසින් දිටි පරිදි ඇසූ පරිදි ඒ ඒ කරුණින් භාග්යවතුන් වහන්සේට බුහුමන් කිරීම වර්ණනා කොට, බුහුමන් නොකරන කරුණු නොදක්නාහු කවර නම් වූ කරුණකින් අප ශ්රමණ ගෞතමයන් වහන්සේට අයසක් උපදවා ලාභ සත්කාර නසන්නෙමුදැයි සාකච්ඡා කළහ. ඔවුනතර එක් සියුම් කල්පනාවෙන් යුක්තයෙක්, පින්වත, මේ සත්ත්ව ලෝකයෙහි මාගම් සුවයෙහි නොඇලුනු සත්ත්වයෙක් නම් නැත. මේ ශ්රමණ ගෞතම තෙමේද මනා රූ ඇත්තේය. දෙවියෙක් හා සම වූයේ තරුණය. තමා හා සම රුවැති මාගමක් ලැබ සිත් අලවන්නේය. තවද, සිතේ නො අලවයි නම් ජනතාවට වනාහි සැක ඇතිවන්නේය. එසේනම් අපි සුන්දරී පරිබ්රාජිකාව, යම්සේ ශ්රමණ ගෞතමයන්ගේ අපකීර්තිය පෘථුවිය පුරා පැතිරෙන්නේද? එසේ පිටත්කර යවමු.