4. යක්ඛපහාර (ජුන්හ) සූත්‍ර වර්ණනාව
සිව්වැන්නෙහි කපොත කන්දරායං යනු මෙනම් විහාරයෙහි එම පර්වත කඳුරෙහි පෙර බොහෝ පරෙවියෝ විසූහ. එහෙයින් එය නිමිතිකොට කපොත කන්දරා යැයි කියයි. පසුකල්හි එහි කළ විහාරයද කපොත කන්දර යනුවෙන්ම ප්‍රකට විය. එහෙයින් කපොත කන්දරා යැයි මෙනම් ඇති විහාරයෙහි. ජුණ්හාය රත්තියා යනු ශුක්ල පක්ෂ රාත්‍රියෙහි, නවොරොපිතෙහි කෙසෙහි යනු අලුත බූ ගෑ හිසකෙසින් යුතුව, එය ඉත්ථම්භූත ලක්ෂණයෙහි කරණ වචනයි. අබ්භොකාසෙ යනු යම්තැනක මත්තෙහි වැස්මක් හෝ වටරවුමක් නැත්ද? එවන් ආකාසංගණයෙහි
එහි ආයුෂ්මත් සැරියුත් හිමි රන්වන්ය. ආයුෂ්මත් මහ මුගලන් හිමි නිලුපුල් වර්ණයි. මේ මහ තෙරවරු දෙනමම උසස් බ්‍රාහ්මණ ජාතිකයෝය. ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරන ලද්දාහු ෂට අභිඥා සහිත ප්රතිසම්භිදාප්රාප්ත, සියලු සමවත්ලාභී මහරහත්හුය. සත්සැටක් ශ්‍රාවක පාරමී ඥානයන්ගේ මස්තකප්රාප්ත වූවාහුය. එම කපොත කන්ද විහාරය මනාව හොබවන්නාක් මෙන්, එක් රන් ගුහාවකට පිවිසි සිංහයින් දෙදෙනෙකු මෙන් ද එක් අතපය දිගහැර ඇඟ ප්‍රාණවත් කරන (ව්‍යායාම) එක් බිමකට අවතීර්ණ ව්යාඝ්රයින් දෙදෙනෙකු මෙන්ද එක් මනාව මල් පිපුණ සල් වනයකට පිවිසි සද්දන්ත දෙ ඇත් රජහු මෙන් ද එක් ඉඹුල් වනයකට පිවිසි ගුරුළු රජහු දෙදෙනෙකු මෙන් ද එක් මිනිස් වාහන යානයකට නැගි වෙසමුනි රජවරු දෙදෙනෙක් මෙන්ද, එක් පාණ්ඩු කම්බල ශෛලාසනයක මනාව හිඳගත් සක්දෙව් රජහු දෙදෙනෙකු මෙන්ද, එක් විමනක් තුලටවත් හාරිත නම් මහ බඹුන් දෙදෙනෙකු මෙන්ද එක් ගගන ස්ථානයක සිටි චන්ද්‍ර මණ්ඩල ද්වයයක් මෙන් ද, දෙහිරු මඬලක් මෙන් ද බැබලුනහ. ඔවුනතර ආයුෂ්මත් මහ මුගලන් තෙරහු නිහඬව හුන්නේය. ආයුෂ්මත් සැරියුත් තෙරහු සමවතට සමවැදිනි. එහෙයින් අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්වායි යූ.සේයි.
එහි අඤ්ඤතරං සමාධිං යනු උපේක්ෂා බ්‍රහ්මවිහාර සමාපත්තියයි. සමහරු සංඥාවේදයිත නිරෝධ සමවතයැයිද යෙති. අනෙකුත් අය අරූප ධ්‍යාන පාදක ඵල සමවතැයි කීහු. මෙම ත්‍රිවිධ සමවත්හුම කය රැක්මට සමත් සමවත්හුය. එහි නිරෝධ සමවතෙහි සමාධි පිළිවෙලෙහි හටගැන්ම යට යූ.සේමය. පසුව කියන ලද අරූප පාදක ඵල සමවතම ඇදුරෝ වනති. උත්තරාය දිසාය දක්ඛිණං දිසං ගච්ඡන්ති යනු උතුරු දිසායෙහි යක්ෂ සමාගමට ගොස් තම භවනයට යන්ට දකුණු දෙසට යති. පටිභාති මං යනු මට වැටහේ. (හැඟේ) පටි ශබ්ද යෝගයෙන් ෂෂ්ඨාර්ථයෙහි ද්විතියා වචනයි. මොහුගේ හිසෙහි පහරක් දෙන්ට මාගේ (මට) සිතක් උපදීයයි අර්ථයි. හෙතෙම වනාහි පෙර ජාතියෙහි තෙරුන් කෙරෙහි බඳනා ලද ක්‍රෝධ ඇත්තෙකි. එහෙයින් තෙරුන් දැක දූෂිත සිතැති මොහුට මෙබඳු සිතක් විය. අනෙකා වනාහි නුවණැති ස්වභාව ඇතියෙකි. එහෙයින් ඔහු වළක්වනුයේ අලං සම්ම ආදිය කීහ. එහි මා ආසාදෙසි යනු නොගටව, පහර නොදෙවයි යූ.සේයි. උළාරො යනු උදාර, උතුම් සීලාදී ගුණයන්ගෙන් යුත්,
අනාදියිත්වා යනු සැලකිලි නොකොට, ඔහුගේ එම වචනය පිළිනොගෙන ඔහුගේ වචනය පිළිනොගන්නේ ඔහු ගණන් නොගන්නේ නම් වේ. එහෙයින් එම යක්ෂයා ගණන් නොගෙන (බස නොතකා) යයි යූ.සේයි. සීසෙ පහාරං අදාසි යනු සියලු ශක්තියෙන් උත්සාහ උපදවා අහසේ සිටියේම හිසෙහි පහරක් දුන්නේය. හිස්මුදුනෙහි අතමිට මොළවා පහර ගැසීම කළේයයි අර්ථයි. තාව මහා යනු ශක්ති මහත්වයෙන් එපමණ මහත් වූ ප්‍රහාරයක් විය. පහාරො අහොසි තෙන පහාරෙන යනු එම ප්‍රහාරය කිරීම් හේතුවේන, සත්ත රතනං යනු මධ්‍යම ප්‍රමාණ පුරුෂයකුගේ රියනින් සත්රියනක්, සො යනු එම යක්ෂයා, නාගං යනු හස්ති නාගයෙක් (ඇතෙක්) ඔසාදෙය්ය යනු පෘථුවියෙහි කිඳවන්නේය. ගිල්වන්නේය. ඇතුල් කරන්නේය. සුණු විසුණු කරන්නේ යයි අර්ථයි. අඩ්ඪට්ඨම රතනං යනු අඩකින් අටවැන්න සම්පූර්ණ කෙරේනුයි අඩ්ඪට්ඨමානියි. අටවැන්න අඩක් වූ රියන් ප්‍රමාණය එයටනුයි අඩ්ඪට්ඨමානියි. අටවැන්න අඩක් වූ රියන් ප්‍රමාණය එයටනුයි අඩ්ඪට්ඨමරතනයි. ඒ අඩ්ඪට්ඨම රතනය (සත් රියන් වියන) මහන්තං පබ්බත කූටං යනු කෛලාසකූට ප්‍රමාණ මහත් ගිරිකුළක්, පදාලෙය්ය යනු වළං කැබලි ආකාරයෙන් බිඳින්නේය. පොළොවට ඇතුල් කරන්නේය. තවද පළා දමන්නේ යයි සම්බන්ධයි.
එකෙණෙහිම ඔහුගේ ශරීරයෙහි මහා දැවිල්ලක් හටගති. හෙතෙම වේදනාවෙන් පෙළුණේ අහසෙහි සිටින්ට නොහැකි වනුයේ බිම වැටුණි. එකෙණෙහිම යොදුන් එක් ලක්ෂ හැට අටදාහක් අධිකකොට ඇති උසින් යුතු මහාමේරු පර්වත රාජයාණන්ද දරන්නා වූ සිව් නහුතාධික දෙලක්ෂයක් යොදුන් ඝණකම ඇති මහා පෘථුවිය එම පාපී සත්ත්වයා දරන්ට නොහැකි වන්නාක් මෙන් සිදුරක් හටගති. අවීචියෙන් ගිනිදැල් පැන නැග හඬන්නා වූම ඔහු වෙළා ගති. හෙතෙම විලාප නගමින් වැටුණි. එහෙයින් ‘එකල්හි එම යක්ෂයා දැවෙමි. දැවෙමියි කියමින් එතැන්හිදීම අවීචි මහ නිරයෙහි වැටුනියි’ යූ.සේයි. එහි අවථොසි යනු වැටුණි.
කිමෙක්ද ඔහු යක්ෂාත්ම භාවයෙන්ම නිරයට එළැඹියෙහිද? නොඑළඹිණි. එහි යම් දිට්ඨධම්ම වේදනීය පාපකර්මයක් වීද? එහි බලයෙන් යක්ෂාත්ම භාවයෙහි මහත් දුකක් අනුභව කළේය. යම් ආකාර වූ දෙවන ආත්මයේ අනිවාර්යයෙන් විපාක දෙන උපපජ්ජවේදනීය කර්මයක් වේද, එය කරණකොට චුතියට අනතුරුව නිරයෙහි උපනි. තෙරුන් වහන්සේට වනාහි සමවත් බෙලෙන් සන්සිඳුවන ලද ශරීර හෙයින් කිසි විකෘතියක් නොවීය. සමවතින් නො නැගිටි කල්හි යක්ෂයා පහර දිනි. එසේ පහරන්නහු දිවැසින් දැක මහ මුගලන් තෙරහු දම් සෙනෙවි සැරියුත් හිමි වෙත එළැඹියේය. එළැඹෙන කල්හිම දම්සෙනෙවි සැරියුත් හිමි සමවතින් නැගිටියේය. ඉක්බිති මහ මුගලන් තෙරහු ඔහුගෙන් එම පරිභවය පිළිබඳව විමසීය. හෙතෙම ඔහුට ප්‍රකාශ කළේය. එහෙයින් අද්දසා ඛො ආයස්මා මහා මොග්ගල්ලානො -පෙ- අපිච මෙ සීසං ථොකං දුක්ඛංයි යූ.සේයි.