9. ශිල්ප සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි කොනුඛො ආවුසො සිප්පං ජානාති යනු ඇවැත්නි, අප මෙහි රැස්වූ කල්හි ජීවත්වීම නිමිතිකොට උගතයුතු හෙයින් ශිල්පයැයි ලද නම් ඇති යම්කිසි ජීවන මාර්ගයක් කවරෙක් දනීද? කො කිං සිප්පං සික්ඛි යනු කවරෙක් දීර්ඝ කාලයක් ශිල්ප ආචාර්ය කුලයක් ආශ්‍රයකොට, දැනීම් ලැබීම් වශයෙන්ද, ප්‍රයෝග වශයෙන්ද, අශ්ව හස්ති ශිල්පයක් උගත්තේද, කතර සිප්පං සිප්පානං අග්ගං යනු සියලු ශිල්පයන් අතර ගෘහත්වතාවය සඳහාද මහත්ඵල සඳහා ද, නිදුකින් සිදුවීම සඳහාද කවර ශිල්පයෙක් උතුම්ද? යමක් ඇසිරිකොට සුවසේ ජීවත්විය හැකියයි අදහසයි. තත්‍ථෙකච්චෙ යනු එම භික්‍ෂූන් අතර ඇතැම් භික්‍ෂූහු හස්ති ශිල්ප ගුරු කුලයෙන් පැවිදි වූවාහු වෙත්ද? තෙ එව මාහංසු ඔව්හු මෙසේ කීහ. මින් මත්තෙහිද එකච්චෙ යයි සඳහන් තන්හි එම ක්‍රමයමය. හත්‍ථි සිප්පං යනු හස්තීන්ගේ පරීක්‍ෂා කිරීම, දමනය-හැසිරවීම, රෝග ප්‍රතිකාරාදි ප්‍රභේද ඇති කටයුතු කළයුතුය. ඒ උදෙසා පැවැති සියලුම ශිල්ප මෙහි හස්ති ශිල්පය යැයි අදහස් කරන ලදි. අස්සසිප්පං යන මෙහිද එම ක්‍රමයමැයි. රථසිප්පං රථ ශිල්පය වනාහි ගොනුන් විසින් ඇදගෙන යනු ලබන රථයන්හි දමනය හැසිරවීම අණකිරීම් ආදී වශයෙන්ද, රථ නිමැවුම් වශයෙන්ද දතයුතුය. ධනු සිප්පං යනු දුන් ශිල්පය. එය ධනුර්වේදයයි කියයි. ථරුසිප්පං, සෙසු ආයුධ ශිල්ප. මුද්දාසිප්පං යනු හස්තමුද්‍රා ශිල්පයයි. ගණනසිප්පං හිඩැස් නොමැති ගණන් කිරීමේ ශිල්පය, සංඛානසිප්පං යනු එකතුකිරීම් අඩුකිරීම් වශයෙන් පිඩු වශයෙන් ගණන් කිරීමේ ශිල්පයයි. එය යමෙකුට ප්‍රගුණ වේද, ඔහු වෘක්‍ෂයක් දැක මෙම වෘක්‍ෂයෙහි මෙපමණ කොල සංඛ්‍යාවක් ඇතැයි කියන්ට දනියි. ලෙඛා සිප්පං යනු නොයෙක් ආකාරයන්ගෙන් අකුරු ලිවීමේ ශිල්පයයි. නුවණ හෝ වේ. කාවෙය්‍ය සිප්පං යනු තම සිතීම් වශයෙන් හෝ අන්‍යයාගෙන් ලද ශ්‍රවණය වශයෙන් හෝ මෙහි මේ අර්ථයයි. මෙසේ යොදන්නෙමියි මෙසේ අර්ථ වශයෙන් හෝ කිසියම් කළයුත්තක් දැක එයට සමාන කළයුත්තක් කරන්නෙමියි ස්ථානෝත්පත්තික වැටහීම් වශයෙන් හෝ චින්තා, කවි ආදී සිව් කවීන්ගේ කළයුතු කරුණු ශිල්පයයි. භාග්‍යවතුන් වහන්සේ විසින්
‘මහණෙනි, මේ චින්තා කවි, සුතකවි, අත්‍ථකවි, පටිභාග කවියයි පණ්ඩිතයෝ සතරදෙනෙකියි යූ.සේයි.
ලොකායත සිප්පං යනු ඇට සුදු බැවින් කපුටා සුදුය. කණකෙකිණි රතුය. ලේ රතුබැවිනි යන මේ ආදී ක්‍රමයෙන් පැවැති පරලෝ නිවන් ප්‍රතික්‍ෂේප කරන විතණ්ඩ ශිල්ප ශාස්ත්‍රයයි. ඛත්ත විජ්ජා සිප්පං යනු අංගෙය්‍ය, මාසුරක්ඛාදී රාජ්‍ය පරිපාලන විද්‍යා නීති ශාස්ත්‍ර ශිල්පයයි. මේවා වනාහි දොළොස්මහා ශිල්ප නම් වේ. එහෙයින්ම ඒ ඒ තන්හි ‘ශිල්පයන්ගේ අග්‍ර යයි කීය.
එතමත්‍ථං විදිත්‍වා යනු එම සියලුම ශිල්පායතනයන්ගේ දැනුම ජීවත්වීම සඳහා බවත්, සසර වෘත දුකින් නොමිදිය හැකි බවත්, සීලාදීන්ගේම සුපරිශුද්ධතාවයෙන් සසර දුකින් නිදහස්විය හැකි බවත් ඉන් යුක්ත වූයේම භික්‍ෂුභාවය හැම අතින් අවබෝධ කොට අභිවෘද්ධිය සලසාගත යුතුයයි යන එම කරුණ පැහැදිලි කිරීමට මෙම උදන් ඇනූ සේක.
එහි අසිප්පජීවී යනු සිව් තෘෂ්ණා උපාදානයන්ගේ නැසීම්, යටපත් කිරීම් වශයෙන්, ප්‍රත්‍යය පිළිබඳ ආශාවගේ වියලවන ලද හෙයින් යම්කිසි ශිල්පයක් ආශ්‍රයකොට ජීවත්වීම නොකෙරේනුයි අසිප්පජීවියි එයින් ආජීව පාරිශුද්ධි ශීලය දක්වයි. ලහු යනු අල්ප කෘත්‍යතාවයෙන්ද, පැහැදිලි පැවතුම් ඇති හෙයින් ද ලහුයි. බොහෝ බඩුබාහිරාදිය නොමැති බවයි. එයින් සිව් පසයෙන් සතුටුවීම ඉටුකරන පහසුවෙන් පෝෂණය කළහැකි බව පෙන්වයි. අත්‍ථකාමො යනු දෙවියන් සහිත ලෝකයාගේ අභිවෘද්ධියම ආශා කෙරේ. කැමැති වේනුයි අත්‍ථකාමොයි. ඉන් සත්ත්වයින්ගේ අවැඩ දුරුකිරීම ප්‍රකාශ කරන ලද හෙයින් ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය දක්වයි. ප්‍රාණඝාතාදී අනර්ථ වැලැක්වීම මනාව දක්වන හෙයින්. යතින්‍ද්‍රියො යනු චක්‍ෂුරාදී ෂට් ඉන්‍ද්‍රියයන්ගේ අභිධ්‍යාදිය නොපැවැත්මෙන් සංයමයෙන් යුත් ඉන්‍ද්‍රිය ඇති. එයින් ඉන්‍ද්‍රිය සංවර සීලය යූ.සේයි. සබ්බධි විප්පමුත්තො යනු මෙසේ සුපිරිසිදු සීලයෙන් යුත් සිව්පසයෙහි සන්තෝෂයෙහි පිහිටියේ, ප්‍රත්‍යය සහිත නාමරූප විමසා බලා අනිත්‍යාදී වශයෙන් සංස්කාරයන් විමසා බලනුයේ විදර්ශනාවට නංවා ඉන් මත්තෙහි පිළිවෙලින් පැවැති සිව් ආර්ය මාර්ගයන්ගෙන් සංයෝජනයන්ගේ ප්‍රහීණතාවයට පත්හෙයින්, භවාදීන්හි හැමතැන මනාව මිදුනේය.
අනෙකසාරී අමමො නිරාසො යනු එසේ හැමතැන මිදුනු හෙයින්ම ඕක යයි කියනු ලබන ෂට් ආයතනයන්හිද, තෘෂ්ණා හැසිරීමගේ අභාවයෙන් අනෙකසාරියි. රූපාදී කිසිතැනෙක්හි මමය මාගේය යන හැඟීම් අභාව හෙයින් අවමොය. සියල්ලෙන් සියල්ල බලාපොරොත්තු නොමැති හෙයින් නිරාසොයි. හිත්‍වා මානං එකචරො සභික්ඛු යනු මේ ආකාර වූද හෙතෙම අර්හත් මාර්ග ප්‍රාප්ති සම කාලයෙහිම සේසරහිත මානය හැර, දුරුකොට මෙම භික්‍ෂූහු මෙන් ගණ සංගණිකාරාමතාවය නොකොට, විවේක කැමැත්තෙන් තෘෂ්ණා රහිත සහායකගේ විරහයෙන්ද, සියලු ඉරියව්හි හුදෙකලාව හැසිරෙනුයේ සියලු ආකාරයෙන් බුන් කෙලෙස් බැවින් පරමාර්ථ වශයෙන් භික්‍ෂු නමැ. මෙහිද ‘අසිප්පජීවි’ යනාදියෙන් ලෞකික ගුණ කියන ලදි. ‘සබ්බධි විප්පමුත්තො’ යනාදියෙන් ලෝකෝත්තර ගුණ කියන ලදි. එහි අසිප්පජීවි යන ආදි ධර්මය විභවයෙහි සිටියහුටමය. ශිල්පය නිසා මිථ්‍යා ආජීවයෙන් ජීවිකා කරන්නහුට නොවේ. එහෙයින් ශිල්පයන්හි සාර ග්‍රහණය අත්හැර අධිසීලාදීන්හිම නුඹලා විසින් හික්මිය යුතුයයි දක්වයි.