නන්ද වර්ගය
1. කර්ම සූත්‍ර වර්ණනාව
නන්ද වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අඤ්ඤතරො භික්ඛූ නම් වශයෙන් අප්‍රකට වූ එක්තරා ක්ෂීණාශ්රව භික්ෂුවක් කියවේ. හෙතෙමේ වනාහි රජගහනුවර කුලපුත්රයෙකි. හෙතෙම මුගලන් තෙරුන් විසින් දෙසන ලද බණ අසා සංවේගයට පත්වූයේ, සසර දොස් දැක ‘ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි වී සිව්සස් කමටහන් ගෙන නොබෝ කලකින්ම විදසුන් වඩා අර්හත්වයට පත්විය. ඔහුට පසුකලකදී දුක් වූ ආබාධයක් හටගත්තේය. හෙතෙම ප්රත්යවේක්ෂා කිරීමෙන් ඉවසමින් වාසය කරයි. ක්ෂීණාශ්රවයන්ට චෛතසික දුකක් නම් නැත. කායික දුක පමණක් පවතී. උන්වහන්සේ එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන කල්හි ඊට නුදුරෙන් එක්තැනක සිට දුක් ඉවසමින් පර්යංකයෙන් හුන්නේය. ඒ සඳහා ‘භගවතො අවිදූරෙ නිසින්නො හොති’ යනුවෙන් කියන ලදි.
එහි පල්ලංකං යනු ඌරුබද්ධ ආසනයයි. ආභුජිත්වා බැඳ, උජුකායං පණිධාය සම්පූර්ණ ශරීරය සෘජුව තබාගනිමින්, පිටෙහි දහඅටක් වූ කොඳුඇට එකට එක සම්බන්ධ වන අයුරින් සිටින්නහුගේ සම් මස් නහර ගමන් නො කරයි. පුරාණ කම්මං විපාකජං පෙර කරන ලද කර්මයාගේ විපාක වශයෙන් සුව දුක් වශයෙන් ඇතිවන්නා වූ මේ ආබාධ කම්ම සමුට්ඨාන ආබාධ නම් වේ. උපක්‍රමයෙන් හට ගත් ඒවා හෝ සෘතු විපර්යාසයෙන් හටගත් ආබාධ ප්‍රතික්ෂේප කරයි. දුක්ඛං පෘථග්ජනයන් කෙරෙහි ඔරොත්තු නොදෙන වේදනාවයි. තිප්පං තියුණු, මැඩපැවැත්විය නොහැකි බලවත්. ඛරං රළු ගොරෝසු, කටුකං අමිහිරි, අධිවාසෙන්තො ඉවසන්නේ, සහනය පවත්නේ,
සතො සම්පජානො වේදනා දුරුකිරීම් වශයෙන්, සිහිනුවණින් යුක්ත වන්නේ, සති සම්පජඤ්ඤය වැඩීම ගැන සිතයි. අනිත්‍යය, අනිෂ්ට ආරම්මණ වශයෙන් සිතන්නේ, ඒකාන්ත වශයෙන් ඉපදීම හා බිඳීම, ඇතිවීම හා නැතිවීම, වේදනාවෙන් මිදීම, නිරෝධය වේදනාවේ අනිත්‍යතාවය සලකමින් සිහියෙන් යුක්තව, කළ යුතු දේ පිළිබඳව සිහිය ඇතිව, සියලුම කාය වේදනාවන් සිහියෙන් දරාගනිමින් විඳ ගනිමින්, තමන් විසින්ම අවබෝධ කරගනිමින් ප්‍රඥාවෙන් පෘථුල බවට යමින් එළඹ සිටි සිහියෙන් යුක්තව කායික වේදනාව තුනී කරයි. අවිහඤ්ඤමානො මහණෙනි, බහුශ්‍රැත නොවූ පෘථග්ජන වූ සමහරු දුක් වේදනාවන්ගෙන් යුක්ත වූයේ ශෝකවෙති. ක්ලාන්ත වෙති. හඬා වැළපෙති. විලාප දෙති. හඬති. මුළාවට පත්වෙති. කියන ලද පරිදි අන්ධ පෘථග්ජනයන් මෙන් වෙනසකට පත් නොවෙමින් හුදෙක් කර්ම විපාකයෙන් ඇති වූවක්ම බව සලකමින් ඉවසමින් සමාපත්තියට සමවදිමින් සිටී. අද්දසා ආයුෂ්මත් තෙමේ ඉවසමින් ක්ෂාන්තියෙන් එසේ සිටින බව දුටුයේය.
එතමත්ථං මෙවැනි රෝගයකට වෙදකම්වලින් සහනයක් නොලැබෙන බව අවබෝධ කරගනිමින්ම, ක්ෂීණාශ්රවයන්ගේ ලෝකධර්මය පිළිබඳව උපක්‍රම රහිත බවම ආදී සියලු කාරණා තේරුම් ගත් බව දැන මේ උදාන වාක්‍යය පහළ කළේය. ‘ඉමං සංඛතං ධම්මානං - යෙහි කෙහි ච දුක්ඛ ධම්මෙහි අවිඝාතපත්ති විභාවනං’
එහි සබ්බ කම්ම ජහස්සානි සියලු කර්මයන් ප්‍රහීණ කිරීම, උසස් මාර්ගය උපදින කාලයේ පටන් සියලු කුසලා කුසල කර්මයන් ප්‍රහීණ කිරීමට අසමර්ථ භාවය පහකොට, යම්සේ ආර්ය මාර්ග ඤාණය ඉපිදවීමෙන් සියලු කර්මයන් ක්ෂය කිරීමේ අර්හත්භාවයම කියයි. භික්ඛුනො ක්ලේශයන් බිඳ දැමූ බැවින් භික්ෂු වේ. ධුනමානස්ස පුරෙකතං රජං අර්හත්වයට පෙර පැවතියා වූ රාග රජස් යයි නම් ලත් දුක් විපාක කර්ම විපාක ගෙන දෙන සිය්ලල විද්ධ්වංසනය කරමින්, අර්හත්වයට පත්වීමෙන් පසුව සාවද්‍ය ක්‍රියාවන්ගෙන් හටගැනීමක් නො මැති නිසාවෙන් භව මූලය තණ්හාව මුළුමනින්ම සිඳ දැමීමේ ක්‍රියාව පමණක්ම වේ.
අමමස්සා රූපාදී කිසිවෙක්හි මම ය මාගේය යන මමංකාර රහිත වන නිසාම වෙදුන් විසින් ශරීරය පිළිදැගුම් කිරීම් ආදිය නිරර්ථකයයි උදාසීන භාවයෙන් සලකයි. ඨිතස්ස සතර ඕඝයන් තරණයකොට නිර්වාණය නමැති ගොඩබිමෙහි සිටියහුට, ප්රතිසන්ධි ග්‍රහණයක් නොමැත්තහුට, ක්ෂීණාශ්රව සංඛ්‍යාත වූ ආර්ය ධර්මයන්හි පිහිටියහුට සසරේ දිවීමක් නම් නැත. තාදිනො ප්‍රතිකූල දෙයෙහි අප්‍රතිකූල සංඥාවෙන් වාසය කරයි ආදී වශයෙන් කියන ලද පස්වැදෑරුම් ආර්ය සෘද්ධියෙන් අෂ්ට ලෝක ධර්මයෙහි කම්පනය වීමක් නැත්තේ ය. අත්ථොනත්ථි ජනංලපෙතවෙ තමන්ට බෙහෙත් කරවන්නැයි ජනයන් ලවා කීමෙහි කියවීමෙහි ප්‍රයෝජනයක් නැත. ශරීරයාගේ නිරපේක්ෂ භාවයම සිතයි. ඉදුණු කොලයක් වැටෙන්නාක් මෙන් තමාමැ කය බිඳී යෙත්වායි ක්ෂීණාශ්රවයන්ගේ අදහස වේ.
[missing trans]