8. පිණ්ඩපාතික සූත්ර වර්ණනාව
අටවැන්නෙහි පච්ඡාභත්තං යනු උදෑසනම අනුභව කළ, ඒකාසනිකංග - ඛලු පච්ඡාභත්තිකයින්ට මධ්යාහ්නය තුළද පසු බතමැයි. මෙහි වනාහි සාමාන්ය ආහාර අනුභවයෙන් පසු, පසුබතයැයි දතයුතුය. පිණ්ඩපාත පටික්කන්තානං යනු පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණි පිණ්ඩපාතය සොයා බත් කිස නිමවීම් වශයෙන් ඉන් නැවතුනවුන්ගේ, කරෙරි මණ්ඩල මාලෙ යන මෙහි කරෙරි යනු ලුණුවරණ වෘක්ෂයට නමකි. එය ගඳකිළි මණ්ඩපයත් ශාලාවත් අතරත වේ. එහෙයින් ගඳකිළියද කරෙරියි. කුඩා කුටිය යැයි කියයි. මණ්ඩපයද, ශාලාවද කරෙරි මණ්ඩල මාලයැයි කියයි. එහෙයින් ලුණුවරණ වෘක්ෂයට නුදුරෙහි කළ හිඳින ශාලා සංඛ්යාත මණ්ඩලමාලයෙහි, තෘණ හා කොළවලින් වසන ලද නොතෙමෙන ස්ථානය මණ්ඩලමාලයැයි කියති. කෝඹු ආදියෙන් කළ ලතා මණ්ඩපයද මණ්ඩලමාලයැයි අනෙකෙක් කියති.
කාලෙන කාලං යනු කලින් කලැ - අතරින් පතර, ඒ ඒ කාලයෙහි යැයි අර්ථයි. මනාපිකෙ යනු මන වඩන, ප්රිය රූපයන්හි, ප්රිය වූ මනෝඥ රූපයෙහි යන අර්ථයි. ප්රිය අප්රියභාවය පුද්ගල වශයෙන්ද, ද්වාර වශයෙන්ද ගතයුතුය. ඇතැමෙකුට මනෝඥ කැමැති දෑ, ඇතැමෙකුට අමනෝඥ වේ. ඇතැමෙකුට අමනෝඥ අකැමැති දෑ ඇතැමෙකුට මනෝඥ වේ. එසේම එක් ද්වාරයකට (ඉන්ද්රියයකට) මනෝඥ දෑ අනෙක් ඉන්ද්රියයට අමනෝඥ වේ. මෙහි විපාක වශයෙන් ද විනිශ්චය දතයුතුය. කුසල විපාකය ඒකාන්තයෙන් මනෝඥය. අකුසල විපාකය අනිෂ්ටමය. චක්ඛුනා රූපෙ පස්සිතුං යනු ගමට පිඬු පිණිස පිවිසියේ උපාසකයින් විසින් ගෙට ප්රවේශ කරවා, පූජා සත්කාර කිරීම සඳහා එළවන ලද, ආසන වියන් ආදීන්හි, නොයෙක් ආකාර සිත් අලවන වීම්වලින් බබලන වර්ණ සංඛ්යාත ඇල්ම කළයුතු, අන්ය වූද, සවිඤ්ඤාණක රූපයන් කෙරෙහි ද, චක්ෂුද්වාරික විඤ්ඤාණයන්ගෙන් දක්නට, සද්දෙ යනු එසේම ධනවත් ජනයන්ගේ ගෙට පිවිසියේ ඔවුන් විසින් යොදන ලද ගීත හා වාදනය කළ ශබ්දයන් ශ්රවණය කිරීමට, ගන්ධෙ යනු එසේම ඔවුන් විසින් පූජා සත්කාර වශයෙන් එළවන ලද, පුෂ්ප දුම් ආදී සුවඳ ආඝ්රාණය කරන්ට, රසෙ යනු ඔවුන් විසින් දෙන ලද ආහාර පරිභෝග කිරීමෙන් නොයෙක් ආකාර අග්රරසයන් රසවිඳින්ට, පොට්ඨබ්බෙ යනු මහානර්ඝ පසතුරුණු සහිත ආසනයන්හි හිඳිනා කල්හි ස්පර්ශයන් ස්පර්ශ කරන්ට, මෙසේ පංචද්වාරික ඉෂ්ටාරම්මණ ප්රතිලාභයන් වර්ණනාකොට, දැන් මනෝද්වාරික ඉෂ්ටාරම්මණ ප්රතිලාභය දක්වන්ට සක්කතො යනාදිය යූ.සේයි. එය යට යූ.සේමය.
කිමෙක්ද, පිණ්ඩපාතයේ නොයෙදෙනවුන්ට මෙම ක්රමය නොලැබේද? ලැබේ. ඔවුන්ටද, ආරාධනා කොට දෙනු ලබන දන්නා සලාක බත් ආදී කාර්යයක් සඳහා ගමට ගියකල්හි, මහත් සම්පත්තියෙන් යුතු උපාසකාදීහු එසේ සත්කාර සම්මාන කෙරෙත්මය. එය වනාහි අනියතය. පිණ්ඩපාතිකයන්ට වනාහි එකල්හි නිත්යයමය. එහි පූජා සත්කාර කරනු ලබන්නාහු දැක, සත්කාර ගරුත්වයෙන්, සසරින් නිදහස් වීමේ මාර්ගයෙන් බැහැරව සිට නුනුවණින් මෙනෙහි කිරීම් වශයෙන් එම භික්ෂූහු මෙසේ කීහ. ‘හන්දාවුසො මයං පිණ්ඩපාතික හොම’ ආදිය
එහි හන්ද යනු අත්හැරීම් අර්ථයෙහි නිපාතයි. ලච්ඡාම යනු ලබන්නෙමු. තෙනුපසංකමි යනු සුවඳැති ගඳකිළියෙහි වැඩහුන් සේක්, ඔවුන්ගේ එම එකට එකතු වී කථා කිරීම අසා, මෙම භික්ෂූහු මා වැනි වූ බුදු කෙනෙකුන්ගේ සස්නෙහි පැවිදිව මා සමග එක විහාරයෙහි වාසය කරන්නාහුද මෙසේ නුනුවණින් මෙනෙහි කිරීම් වශයෙන් කථා පවත්වති. කෙලෙස් තුනී කිරීමෙහි ක්රියාවල නොපවතිත්. එබැවින් ඔව්හු එයින් බැහැර කරවා කෙලෙස් තුනී කිරීමෙහි විහරණයන්හි යොදවන්නෙමියි රවුම් ශාලාවට එළැඹියේය. සෙස්ස යට කියන ලද ක්රමයමය.