7. කාශ්යප සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි, සත්තාහං එක පල්ලංකෙන නිසින්නො හොති අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්වා යනු මෙහිලා සමහරු අර්හත්ඵල සමාධිය මෙහි එක්තරා සමාධිය යැයි අදහස් කරන ලදැයි කීහ. ඒ ආයුෂ්මත් තෙමේ ඉහාත්ම සුව විහරණය සඳහා බහුලව සමවතට සමවදියි. සත්දිනක් වුව ඵල සමවතින් කල්ගෙවීමට හැකියාව ඇත. එසේම භාග්යවතුන් වහන්සේ විසින්
‘මහණෙනි, මම කාමයන්ගෙන් වෙන්වම - අකුසල ධර්මයන්ගෙන් වෙන්ව යම්තාක් කලක් විසීමට කැමති වෙම්ද ඒතාක් කල් ඒ අයුරින් වාසය කරමි. මහණෙනි, කාශ්යපද කාමයන්ගෙන් වෙන්වම -පෙ- වාසය කරයි
යනාදී ක්රමයෙන් නව අනුපූර්ව විහාර, ෂට් අභිඥා ප්රභේද වූ උතුරු මිනිස්දම්හි කාශ්යපද තමා හා සම සම ස්ථානයෙහි තබන ලදි. මෙහි මෙපමණක්ම නොව තෙරහු යමක ප්රාතිහාර්යයද කරන්නේ යයි කිවයුතුය. ධ්යානාදීන්හි ලා ශ්රාවක සාධාරණත්වය අදහස් කළ හෙයිනි.
අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්වා නිරෝධයට සමවැද යයි පෞරාණිකයෝ කීහ. කෙසේ වනාහි නිරෝධ සමාපත්තිය සමාධියයැ යූ.සේද යත්, එකඟ කිරීම් අර්ථයෙන්, මෙම එකඟ කිරීම් අර්ථය කවරක්ද? මනාව පිහිටුවිය යුතු හෙයිනි. සමථ බල විදර්ශනා බල යන මෙම බල ද්වයයෙන් යුක්ත වූයේ විරුද්ධ ධර්මයන්ගෙන් අකම්ප්ය වූයේ බලප්රාප්ත වූයේ වේ. අනිත්ය, දුක්ඛ, අනාත්ම, නිබ්බිදා, විරාග-නිරෝධ, පටිනිස්සග්ග, විවට්ටානුපස්සනා, සිව්මග ඥානයන් සිව්ඵල ඥානයන් යන මෙම සොළොස් ඥානයන්ගේ වශයෙන් සොළොස් ඥාන චර්යාවන්ගෙන්, ප්රථමධ්යාන සමාධි ආදී අෂ්ට සමාධීන් එකක් සේ සලකා ගන්නා ලදි. ඒවාහි උපචාර සමාධියදැයි මෙම නව සමාධීන්ගේ වශයෙන් නව සමාධි චර්යාවන්ගෙන්ද, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාරදැයි යන, මෙම ත්රිවිධ සංස්කාරයන්ගේ ඒ ඒ තන්හි සන්සිඳීමෙන් එසේ වසනු කැමැති කියන ලද තන්හි වසීභාවප්රාප්ත රහත් හෝ අනාගාමී පුද්ගලයෙකු විසින් අදහස් කරන ලද කාලය අනුව, චිත්ත චෛතසික පරම්පරාවගේ මනාකොට නොපැවැත්ම පිහිටුවිය යුතු හෙයින් එය එසේ නිශ්චල කළ යුතු හෙයින් මෙහි එක්තැන් කිරීම් යන අර්ථයි. එහෙයින් මෙම විහරණය අවික්ෂෙපාර්ථයෙන් සමාධි යැයි යූ.සේයි. එහෙයින් මෙයට සමවත් අර්ථයද කියන ලදැයි දතයුතුය. මෙම නිරෝධ සමාපත්තිය සඳහා පටිසම්භිදා මාර්ගයෙහි -
ද්වි බලයන්ගෙන් යුතු, ත්රිවිධ සංස්කාරයන්ගේ සංසිඳීමෙහි, සොළොස් ඥාන චර්යාවන්ගෙන් ද, නව සමාධි චර්යාවන්ගෙන් ද, වසීභාවයෙන් වන සංඥා නිරෝධ සමාපත්තියෙහි ඥානය කෙසේදැයි?
විචාරා, ද්වි බලකිනැයිද, සමථබල, විදර්ශනා බල යන එම ද්විබලයන්ගේ විස්තරය විශුද්ධි මාර්ගයෙහි නිරෝධ සමාපත්ති කථාවෙහි වර්ණනා කරන ලද්දේමය. කවර හෙයින් මෙම තෙරහු ඵලසමවතට සමනොවැද, නිරෝධ සමවතට සමවැදිනිද? සත්ත්වයින් කෙරෙහි අනුකම්පාවෙනි. මෙම මහ තෙරහු සියලුම සමාපත්තීන් පරිභෝග කරයි. සත්වානුග්රහයෙන් නිතර නිරෝධයට සමවදියි. එයට සමවැද නැගිටියහුට කරන ලද ස්වල්ප වූද සත්කාරය, විශේෂයෙන් මහත්ඵල මහානිසංස වේ.
වුට්ඨාසි යනු අර්හත්ඵල සිතෙහි පැවැත්මෙන් නැගිටියේය. නිරෝධයට සමවන් රහත් තෙමේ අර්හත් ඵලය ද අනාගාමී තෙමේ අනාගාමි ඵලයට, ඉපදවීමෙන් නැගිටියේ නම් වේ.
තෙන ඛොපන සමයෙන සක්කො දෙවානමින්දො ආයස්මතො මහා කස්සපස්ස පිණ්ඩපාතං දාතුකාමෙන යනු කෙසේ ඔහුට දෙනු කැමැත්ත හටගතිද යත්, යම් ඒ පන්සියයක් පමණ දේවතාවෝයි කියන ලද ඈලා සක්දෙව් රජහුගේ පරෙවි පා වැනි පා ඇති සේවිකාවන් අමතා මෙසේ කීය. මහා කාශ්යප ආර්යයන් වහන්සේ පෙරවරුයේ පිඬු පිණිස රජගහ නුවරට පිවිසේ. යව් තෙරුන්ට දන් දෙව් යයි සක්දෙව් රජ විසින් පිටත්කර හරින ලද්දේ, එළඹ දිව්ය ආහාර පූජාකරනු කැමැතිව සිටියාහු තෙරුන් විසින් ප්රතික්ෂේප කරන ලදුයේ දෙව්ලොවටම ගියහ. දැන් පළමු ප්රතික්ෂේය සිතා කවර කලෙක හෝ ගන්නේ යයි සමවතින් නැගිටි තෙරුන්ට දෙනු කැමැතියේ ශක්රයාට නොදන්වා තෙමේම අවුත් දිව බොදුන් එළවන්නියෝ, පළමු ක්රමයෙන්ම තෙරුන් විසින් ප්රතික්ෂිප්ත වූයේ දෙව්ලොව ගියෝය. ශක්රයා විසින් කොහි ගියහුදැයි පිළිවිසියේ එකරුණ සැළකොට, නුඹලා විසින් තෙරුන්ට පිණ්ඩපාතය දෙන ලදදැයි ශක්රයා විසින් විචාල කල්හි බාරගන්ට අකමැති වීයයිද, කුමක් කියන ලද්දෙහිද, දේවයිනි දුගියන්ට සංග්රහ කරන්නෙමියි වදාළේය. නුඹලා කවරාකාරයකින් ගියාහුද? දේවයිනි, මේ අයුරින්මය. ශක්ර තෙමේ නුඹලා වැනියවුන් තෙරුන්ට පිණ්ඩපාතය කුමක් සඳහා දෙන්නාහුදැයි තෙමේ දෙනු කැමැත්තේ, ජරාවෙන් දිරූ කැඩුණු දත් ඇති ඉදුනු කෙස් ඇති, මහල් රෙදි වියන්නෙකු වී සුජා නම් අසුර දියණියද බඳු වූම මැහැලියක් කොට එක් පෙහෙකම් වීදියක් මවා, නූල් දිගහරිමින් සිටියේය. සුජාතාවෝ තසරය පුරවයි. එහෙයින් තෙන ඛොපන සමයෙන සක්කො දෙවානමින්දො -පෙ- තසරං පූරෙති යි යූ.සේයි.
එහි තන්තං විනාති යනු දිගු කළ හුය කටින්නාක් මෙන්, තසරං පූරෙති යනු යනු හරස් දණ්ඩ වඩන්නාක් මෙන්. යෙන සක්කස්ස දෙවානමින්දස්ස නිවෙසනං තෙනුපසංකමි යනු තෙරුන් වහන්සේ හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන දුගී ජනයාට සංග්රහ කරන්නෙමියි නගරාභිමුඛවැ වැඩම කරනුයේ නගරයෙන් පිටත ශක්රයා විසින් මවන ලද පේෂකාර වීථියට බැස බලනුයේ, දිරා හැලුණු, ගැලවී එල්ලෙන දිරාගිය සාලාවක් දුටු සේක. එහිද එම අඹුසැමියන් කියන ලද ආකාර ඇති නූල් කැටීමේ ක්රියාව කරනවුන් දැක, මොව්හු මහලු කල්හිද කර්මාන්ත කරති. මෙම නගරයෙහි මොවුන්ට වඩා අන්ත දුප්පතුන් නැතැයි හඟිමි. මොවුන් විසින් දෙන ලද, පලාකොළ මාත්රයක් වුව ගෙන මොවුන්ට සංග්රහ කරන්නෙමියි සිතීය. තෙරහු ඔවුන්ගේ ගෘහාභිමුඛව වැඩම කළ සේක. ශක්රතෙම එසේ එන්නහු දැක, සොඳුර මාගේ ආර්යයන් වහන්සේ මෙතැනින් එයි. නුඹ ඔහු නොදක්නාක් මෙන් නිශ්ශබ්ද වී හිඳුව. දුටු කෙණෙහිම පිණ්ඩපාතය දෙන්නෙමුයි සුජාට කීය. තෙරුන් වැඩමකොට ගෙයි දොරකඩ සිටියේය. ඔව්හුද නොදක්නාහු මෙන් තම කටයුත්තම කරන්නාහු ටික වේලාවක් ගත කළහ. ඉක්බිති ශක්ර තෙමේ ගෙයි දොරකඩ සිටියේ එක් තෙර කෙනෙකු මෙන් අයෙකි. පළමුව කවරහුදැයි සලකා බලවයි කීය. ස්වාමීනි, ඔබ ගොස් සලකා බලනු මැනවැයි කීවාය. හෙතෙම ගෙයින් නික්ම, තෙරුන් පසඟ පිහිටුවා වැඳ, දෙඅත්වලින්, දණහිස්හි එල්ලී කෙඳිරිගාමින් නැගිට ආර්යයන් වහන්සේ කවර තෙරහු කෙනෙක් දෝහෝයි මඳක් පසුබැස, මාගේ ඇස් දුම් දමන්නා සේ වැටහේයයි කියා නළලෙහි අත තබා උඩ බලා, අහෝ දුකකි. අපගේ ආර්ය මහා කාශ්යප තෙරහු බොහෝ කලෙකින් මාගේ කුටි දොරට පැමිණියේය. ගෙයි කිසිවක් ඇත්දැයි විචාළේය. සුජාතාව මඳක් ආකූල වූවාක් මෙන් අඟවා ස්වාමීනි, ඇතැයි පිළිවදන් දිනි. ශක්රතෙමේ ස්වාමීනි රූක්ෂ හෝ ප්රණීතයැයි වෙනසක් නොසිකා අපට සංග්රහ කරනු මැනවැයි පාත්රය ගත්තේය. තෙරුන්වහන්සේ පාත්රය දෙනුයේ, ජරාජීර්ණ වූ මෙම දුගී ජනයාටම මා විසින් සංග්රහ කළයුතුයයි සිතූ සේක. හෙතෙම ඇතුලට පිවිස, මුට්ටි බත නම් වූ බත් මුට්ටියෙන් බත් ගෙන පාත්රය පුරවා තෙරුන්ගේ අතෙහි තැබීය. එහෙයින් අද්දසා ඛො සක්කො දෙවානමින්දො -පෙ- අදාසි යූ.සේයි.