6. පිලින්දවච්ඡ සූත්ර වර්ණනාව
සයවැන්නෙහි පිළින්දිවච්ඡො යනු පිලින්දි යන නාමයයි. වච්ඡ යනු ගොත්ර වශයෙන් තෙරුන් හඳුනති. වසලවාදෙන සමුදාචරති යනු එනු වසලය, ඉවත්ව යනු වසලය ආදි වශයෙන් භික්ෂූන් වසල වාදයෙන් වහරයි. අමතයි. සම්බහූලා භික්ඛු යනු බොහෝ භික්ෂූහු, ඔව්හු එසේ හැසිරෙන තෙරුන් දැක රහත්භාවයට පත්ව සිටියේ වී නමුත් පහ නුවූ පෙර අත්බැව්හි පුරුද්ද හෙයින් මෙසේ කථා කරයි යයි නොදන්නාහු මෙම තෙරහු ද්වේෂ සහගත සිතින් හැසිරේයයි සිතා, උසස්කොට කථා කරවීමේ අදහසින් ඔහු එම තත්ත්වයෙන් නැගිටුවීමට (වැළැක්වීමට) සැළකොට සිටියහ. එහෙයින් ආයස්මා භන්තෙ පිලින්දිවච්ඡො භික්ඛු වසල වාදෙන සමුදාචරති’යි යූ.සේයි. මෙම භික්ෂුව රහත්භාවයට පත්වූවෙකැයි හඳුනති. මෙම භික්ෂුව මෙසේ ඵරුෂ වචනයෙන් හැසිරේයයි පෙර පුරුද්දට අනුව එසේ හැසිරෙන්නා වූ මොහු කෙරෙහි උතුරු මිනිස්දම් නුවූයේද, ඔහුගේ ආර්යභාවය නොදන්නා වූ, නොපිළිගන්නා වූ භික්ෂූහු ඔහු පහත්කොට සලකන හැඟීමෙන් යුක්තව භාග්යවතුන් වහන්සේට එම කරුණ දැන්වූහයි සමහරු කීහ. භාග්යවතුන් වහන්සේ තෙරුන්ගේ නිර්ද්වේෂභාවය ප්රකාශ කරනු කැමැතියේ, එක් භික්ෂුවක් ලවා ඔහු කැඳවා, ඔහු ඉදිරිපිට පෙර පුරුදු කිරීම් වශයෙන් මොහු එසේ හැසිරේ. ඵරුෂ වචන පැවසීමේ අදහසින් නොවේ යයි වදාළ සේක. එහෙයින් අථඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි ආදිය යූ.සේයි.
එහි පුබ්බෙ නිවාසං මනසිකරිත්වා යනු ශාස්තෲන් වහන්සේ, වච්ඡයෙනි, තොප වසලවාදයෙන් භික්ෂූන් අමතයි යනු සැබෑදැයි තෙරුන් විචාරා ඔහු විසින් ස්වාමීනි එසේයයි කී කල්හි, මෙම වච්ඡයා ක්ලේශයන්ට වසඟව සිටි පුරුද්දෙන් වසල වාදය අත් නොහරී. කිමෙක්ද අතීත ආත්මභාවයන්හිද, බ්රාහ්මණ ජාතිකයෙක් වූයේදැයි ආවර්ජනා කරනුයේ පූර්වේනිවාසානුස්මෘති ඥානයෙන් හෝ සර්වඥතා ඥානයෙන් ඔහුගේ පෙර විසූ අතීත ජාතීන්හි, වාසය කළ ස්කන්ධ පරම්පරාව මෙනෙහිකොට මනසිකරිත්වා යනු අත්තල තබන ලද නෙල්ලිගෙඩියක් මෙන් ප්රත්යක්ෂ කිරීම් වශයෙන් තමා විසින් මෙනෙහි කොට, භික්ඛු ආමන්තෙසි යනු එම භික්ෂූන්ට හැඟවීමට ආමන්ත්රණය කළේය. වදාළේය. එහෙයින් මා ඛො තුම්හෙ භික්ඛවෙ යනාදිය යූ.සේයි.
එහි මා යනු ප්රතිෂේධාර්ථයෙහි නිපාතයි. තස්ස උජ්ඣායිත්ථ යැයි මෙයින් සම්බන්ධයි. ‘මා උජ්ඣායිත්ථ යනු පහත් තත්ත්වයෙහිලා නොසිතව් - නොබලව් යයි අර්ථයි. වච්ඡස්ස භික්ඛුනො යනු පහත් කොට සැලකීම ඊර්ෂ්යා කිරීම, වච්ඡ භික්ෂුවට යැයි සම්ප්රදානයි. දැන් ඔහු පහත්කොට නොසැලකිය යුතු හේතු දක්වනුයේ න භික්ඛවෙ වච්ඡො දොසන්තරො භික්ඛු වසලවාදෙන සමුදාචරතියි වදාළ සේක. එහි අර්ථය මහණෙනි, මෙම වච්ඡ තෙමේ ද්වේෂ සහගතව ද්වේෂ සිතැතිව, ද්වේෂයෙන් ව්යාපාදයෙන් දූෂිත සිත් ඇතිව භික්ෂූහු වසලවාදයෙන් නොහැසිරේ. මාර්ගාධිගමයෙන්ම ඔහුගේ ව්යාපාදය මුලිනුපුටා දැමීය. මෙසේ ද්වේෂ ස්වභාව විරහිත වූයේද ඔහුගේ එසේ හැසිරීමට පෙර අත්බැව්හි සිදුවූ කරුණු ගෙනහැර දක්වනුයේ වච්ඡස්ස භික්ඛවෙ යනාදිය වදාළහ.
එහි අබ්බොකිණ්ණානී යනු ක්ෂත්රිය ආදි ජාති අතරෙහි අමිශ්රව අතරක් නොමැතිව, පඤ්ච ජාතිසතානි බ්රාහ්මණකුලෙ පච්චා ජාතානි යනු වච්ඡයාගේ සියලුම ඒ උපත් පන්සියයක්ම පිළිවෙලින් බ්රාහ්මණ කුලයෙහිම උපන්නාහු වූහ යි අර්ථයි. සො තස්ස වසලවාදො දීඝරත්තං සමුදාචිණ්ණො යනු යමක් වත්මනැ ක්ෂීණාශ්රව වූයේ වී නමුත් පවත්වාගෙන යයිද, වච්ඡ භික්ෂුවගේ එම වසලවාදය, මෙම ජාතියෙහි පටන් උඩට ආරෝහන වශයෙන් ගත් කල්හි පන්සියයක් පමණ උපත්හි බ්රාහ්මණ ජාතිකත්වයෙන් පුරුදු කරන ලද්දේ, නිතර පවත්වන ලද්දේ විය. බ්රාහ්මණයෝ වනාහි උපතින් සිදු වූ මානයෙන්, මානයෙන් තද වූවාහු අන්යයා වසලවාදයෙන් කතා කෙරෙති. මනාසේ පුරුදු කරන ලදැයිද කියවති. අර්ථය එයමය. තෙන යනු ඔහු විසින් දීර්ඝ කාලයක් එසේ පුරුදු කරන ලද බැවින්, එයින් ඔහුගේ එසේ හැසිරීමට හේතුව පෙර පුරුද්ද යයි දක්වයි. මෙම පෙර පුරුද්ද නම් කිම? යම් ආකාර වූ කෙලෙස් රහිත පුද්ගලයාගේ ද, සන්තානයෙහි අප්රහීණ කෙලෙසුන්ගේ හැසිරීම් හා සමාන හැසිරීමට හේතු වූ, අනාදිමත් කාලයක පටන් භාවිතා කරන ලද, කෙලෙසුන් විසින් ගෙන එන ලද දක්ෂතා මාත්රයක් වේද, එබඳු ස්වභාවය අධිෂ්ඨානය යැයි කියති. එය වනාහි අභිනීහාර සම්පත්තියෙන් දතයුතු වැළැක්වීම් ප්රහාණ වශයෙන් යම්තැනෙක්හි කෙලෙස් ප්රහීණ වූයේ ද, එහි භාග්යවතුන් වහන්සේගේ සන්තානයෙහි නොමැත. යම්තැනක වනාහි කෙලෙස් ප්රහීණ නොවීද? එහිලා ශ්රාවකයින්ගේ ද, පසේ බුදුවරුන්ගේ ද සන්තානයෙහි ඇත. එහෙයින් තථාගතයන් වහන්සේම අනාවරණ ඥාන දර්ශනයෙන් යුක්තය.
එතමත්ථං විදිත්වා යනු ඒ ආයුෂ්මත් පිලින්දිවච්ඡයන්ගේ වසලයයි කථාවෙන් හැසිරීම ඇති කල්හිද ද්වේෂ සහගත සිත්හි අභාව සංඛ්යාත කරුණ දැන ඉමං උදානං යනු ඔහුගේ අග්රඵල අධිගම දැක්වීම් වශයෙන් මෙම ප්රීති වාක්යය වදාළ සේක.
එහි යම්හි න මායා වසති න මානො යනු යම් ආර්ය පුද්ගලයෙක් කෙරෙහි විද්යමාන දොස් වැසීම් ලක්ෂණ කොට ඇත. මායා යනු ශ්රේෂ්ඨයෙක් වෙමියි ආදී ක්රමයෙන් දැඩි ග්රහණ වශයෙන් පැවැති ඉහළ නැගීම ලක්ෂණ කොට ඇත. මානොපි න වසති යනු මාර්ගාධිගමයෙන් මනාව නසන ලද හෙයින් නොපවතියි. නූපදියි. සොඛීණ ලොභො අමමො නිරාසො යනු යම් රාගාදී ආකාර වශයෙන් පැවැති අරමුණු ගැනීම් ලක්ෂණ කොට ඇති ලෝභය සර්වාකාරයෙන් පහවූ හෙයින් වීතලොභො යි එම රූපාදී කිසිතැනෙක්හි මමය, මාගේය යන හැඟීම් තොර කිරීමෙන් අමමො යි දැඩිව අල්වා ගැනීම් රහිත වූයේ, අනාගතයේ වූද භව ආදීන්ගේ අපේක්ෂා විරහිත හෙයින්ද නිරාසොයි. පනුන්නකොධො යනු කිපීම ලක්ෂණකොට ඇති ක්රෝධය අනාගාමී මාර්ගයෙන් සර්වාකාරයෙන් ප්රහීණ හෙයින් පනුන්නකොධොයි. විනාශ කරන ලද ක්රෝධය. අභිනිබ්බුතත්තො යනු, යමෙක් මෙසේ මායා, මාන, ලෝභ, ක්රෝධාදීන්ගේ විනාශ කිරීමෙන් ඒ හා යෙදුන සියලු කෙලෙස් පක්ෂය මනාව ප්රහීණ කළ හෙයින් සර්වප්රකාරයෙන් ක්ලේශ පරිනිර්වාණයෙන් මනාව නිවුණු සිතැත්තේ සිසිල් වූයේ. සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛු යනු මෙබඳු එම ක්ෂීණාශ්රව තෙමේ සර්වප්රකාරයෙන් යටපත් කළ පාප හෙයින් බ්රාහ්මණොයි ඔහුම සමනය කළ පාප බැවින් ද, සමාන චර්යා හෙයින් ද සමණොයි ඔහුම සර්වාකාරයෙන් බුන් කෙලෙස් හෙයින් භික්ඛු නමැ. මහණෙනි, මේ ආකාර වූද එම වච්ඡ තෙමේ කෙසේ ද්වේෂ සහගත සිතැතිව කිසි කාය කර්මාදියක් පවත්වන්නේද, හුදෙක් පෙර පුරුද්ද අප්රහීණ හෙයින් වසලවාදයෙන් නිතර අනෙක් අය අමතයි.