5. කොලිත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි, කායගතා සතියා යනු කය අනුව බැලීම් වශයෙන් කය අනුව ගිය, කය අරමුණු කොට පැවැති සිහියෙන්, මෙය මෙසේ වූයේය යන ලක්‍ෂණයෙහි කරණ විභක්තියි. අජ්ඣත්තං යනු මෙහි අධ්‍යාත්මය නම් ස්වකීය අධ්‍යාත්මයයි. එහෙයින් තමා කෙරෙහි ආත්ම සන්තානයෙහි යන අර්ථයි. නොහොත් කමටහනට හේතු වූ කෙස් ආදී දෙතිස් කොටස් සමූහය මෙහි කය යැයි අදහස් කරන ලදි. එහෙයින් අජ්ඣත්තං යන පදයට ගෝචරාධ්‍යාත්මයැයි අර්ථය දතයුතුය. සුප්පතිට්ඨිතො යනු ස්වකීය ආධ්‍යාත්ම වූ හෝ ගෝචරධ්‍යාත්ම වූ හෝ ශරීරයෙහි මනාව එළඹ සිටි හෙයින්, මේ කවරනම් සිහියක් යම් අධ්‍යාත්මයක මනාව එළඹ සිටියේ යයි කියන ලද්දේද? ඒ මේ භාග්‍යවතුන් වහන්සේ, මෙම කයෙහි කෙස්, ලොම් ඇත යනාදී ක්‍රමයෙන් ආධ්‍යාත්මික කෙස් ආදී වූ දෙතිස් ආකාර කය යූ.සේයි. එහි පිළිකුල් වශයෙන් මෙනෙහි කිරීම පවත්වන්නහුට, උපචාර අර්පණා වශයෙන් එළඹ සිටි සිහියක් වේද, එය කායගතා සතියයි කියයි. යම් ආකාර වූ ආනාපාන සිව් ඉරියව් සති සම්ප්‍රජාන්‍යයන්ගේ වශයෙන්, උද්ධුමාතක විනීලක වශයෙන්ද, මෙනෙහි කිරීම පවත්වන්නහුට, සුදුසු පරිදි, උපචාර අර්පණා වශයෙන් කයෙහි එළඹ සිටි සිහියක් වේද, එය කායගතා සතියයි කියයි. මෙහි වනාහි අධ්‍යාත්මික කායගතා සතියද, පෘථුවි ආදී සිව් ධාතූහුද සසම්භාර සංක්‍ෂේපාදී සතර අතරින් යම්කිසි එකකින් එක් ආකාරයකින් විභාගකොට, ඒවාහි අනිත්‍යාදි ලක්‍ෂණ සැලකීම් වශයෙන් එළඹ සිටි විදර්ශනා සම්ප්‍රයුක්ත සිහිය කායගතා සතියයි අදහස් කරන ලදි. තෙරුන් වහන්සේ වනාහි එසේ විදර්ශනා කොට තම ඵල සමවතට සමවැද හුන්නේය. මෙහිද ගාථාවෙන් මෙම අර්ථය දතයුතු හෙයින් ‘නචායං නිසජ්ජාං ආදිය කියන ලද ක්‍රම අනුසාරයෙන් යෙදිය යුතුය.
එතමත්‍ථං යනු තෙරුන්ගේ එම සිව් ධාතු වෙන් වෙන්ව අවබෝධ කිරීම් අයුරින් කායානුපස්සනා සතිපට්ඨානයෙන් විදර්ශනාවට බැස ඵල සමවත් සමවැදීම් සංඛ්‍යාත අර්ථය දැන, ඉමං උදානං යනු මෙම සතිපට්ඨාන භාවනාවෙන් නිර්වාණාධිගමය දක්වන ප්‍රීති වාක්‍යය වදාළ සේක.
එහි සති කායගතා උපට්ඨිතා යනු පෙර කියන ලද ලක්‍ෂණ ඇති සිහිය, ශ්‍රද්ධාව පූර්වාංගම සමාධි, වීර්ය ප්‍රඥාවන් සුදුසු පරිදි, කෘත්‍ය නිෂ්පාදනයෙන් විරුද්ධ ධර්මයන් ප්‍රහාණ භාවය පැමිණි හෙයින්, විරුද්ධ ධර්මයන් ප්‍රහීණ වූවාහු එයින්ම, තීක්‍ෂණ හා ප්‍රකට වූද, කියන ලද ආකාර ඇති ශරීරයාගේ ග්‍රහණ වශයෙන් ද, එක් අර්ථයක එක්තැන් කිරීම් වශයෙන්ද, නොවෙනස් ස්වභාවය සලකන්නාහු එළඹ සිටියේ වේ. එයින් කාය සංඛ්‍යාත සිව් ධාතූන්ගේ ද එය ආශ්‍රිත උපාදාය රූපයන්ගේද සැලකීම් වශයෙන් ප්‍රත්‍යයන් විභාගකොට ඉන් මත්තෙහි ඒවාහි, අනිත්‍යාදි ලක්‍ෂණ සැලකීම් වශයෙන් පැවැති ඥාන පරම්පරාව අනුව පැමිණි සිහිය දක්වයි. සති ශීර්ෂයෙන් හෝ ඒ හා සම්ප්‍රයුක්ත විශේෂ දැනුම් ත්‍රයයට ඇතුලත් ඥාන පරම්පරාව දක්වයි. ඡසු ඵස්සායතනෙසු සංවුතො යනු කියන ලද ආකාරයෙන් කයෙහි එළඹ සිටි සිහියෙන් යුක්ත වූයේ චක්‍ෂුරාදීන්හි ස්පර්ශයට හේතු වූ ෂට් ද්වාරයන්හි කායානුපස්සනාවගේ නොවඩනා ලද හෙයින් ඉපැත්මට නුසුදුසු වූ අභිධ්‍යාදීන්ගේ, එය වඩනා ලද හෙයින් පැවැත්මට හේතු වලකනුයේ ඒවා වසනුයේ එහි සංවර වූයේ යයි කියයි. එයින් ඥාන සංවරය දක්වයි.
සත්තං භික්ඛු සමාහිතො යනු ඒ භික්‍ෂුව මෙසේ එළඹ සිටි සිහි ඇත්තේ, හැමතැන සංවර වූයේ පැතිර සිටි හෙයින් අරමුණෙහි සිත අත්නොහැර අනිත්‍යාදි වශයෙන් විමසා බලනුයේ විදර්ශනාවෙන් විමසා බලා, ඥානය තීක්‍ෂණ වූ කල්හි දක්ෂතාවය උසුලනුයේ, විදර්ශනා සමාධියෙන් පළමුව නිරතුරුව නිරන්තරයෙන් තැන්පත් වූයේ, අනුලෝම ඥානයට අනතුරුව, ගොත්‍රභූ ඥාන දර්ශනයෙහි පටන් ජඤ්ඤා නිබ්බාන මත්තනො යනු අන්‍ය පෘථග්ජනයින්ට සිහිනෙනුදු අගෝචර හෙයින්, ආර්යයන්ට වනාහි ඒ ඒ පුද්ගලයාට ආවේනික හෙයින්, ආත්ම සමාන හෙයින්, ආත්මයයි ලද ව්‍යවහාර ඇති මාර්ගඵල ඥානයෙහි උත්කෘෂ්ඨතාවයෙන් ඒකාන්ත සුව එලවන අසඛ්ඛත ධාතු සංඛ්‍යාත නිර්වාණය තමාගේ යයි යූ.සේයි. එම නිර්වාණය දැනගන්නේය. මාර්ග ඵල ඥානයන්ගෙන් ප්‍රතිවේධ කරන්නේය. සාක්‍ෂාත් කරන්නේ යන අර්ථයි. එයින් ආර්යයන්ගේ නිර්වාණයෙහි මිදීම් ස්වභාවය පෙන්වයි. ආර්යයෝ වනාහි සමාධි සිත පැවැති කාලයෙහිද, ඒකාන්තයෙන් ම නිර්වාණයෙහි නිම්නතාවයෙන්, නම්‍රතාවයෙන්, ප්‍රවණතාවයෙන් වෙසෙත්. මෙහිද යමෙකුට කායගතා සතිය එළඹ සිටියේද, ඒ භික්‍ෂුව ෂට් ස්පර්ශායතනයන්හි සංවර වූයේ, එයින්ම නිතර සමාධියට පත්වූයේ තමාගේ ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් නිර්වාණය තම සන්තානයෙහි විද්‍යමාන වේයයි දැනගන්නේය. මෙසේ ගාථා පදයන්ගේ සම්බන්ධය දතයුතුය. මෙසේ කායානුපස්සනා සතිපට්ඨාන ද්වාරයෙන් අර්හත්වය තෙක් එම භික්‍ෂුව නික්ම යාමේ මාර්ගය ධර්මරාජයාණන් වහන්සේ පෙන්වයි.
අනෙක් ක්‍රමයක්, සති කායගතා උපට්ඨිතා යනු එයින් කායානුපස්සනා සතිපට්ඨානය පෙන්වයි. ඡසු ඵස්සායතනෙසු සංවුතො යනු ස්පර්ශය උත්පත්ති ස්ථානය හේතුව වූයේ ඔවුන්ට නුයි ඵස්සායතනයි. එම ස්පර්ශායතනයන්හි, ස්පර්ශ හේතු වූ, ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිපන් ෂට් චක්‍ෂු ස්පර්ශාදි, විඳිනු ලබන දෑහි තෘෂ්ණාදීන්ගේ නොපැවැත්මෙන් සංවර වූයේ, එයින් වේදනානුපස්සනා සතිපට්ඨානය පෙන්වයි. සත්තං භික්ඛු සමාහිතො යනු නිතර, හැමදා, නිරන්තරයෙන් වික්‍ෂෙප අභාවයෙන් සිතේ එකඟතාවයට පත් භික්‍ෂුව, එම සමාධිය සර්වාකාරයෙන් සතිපට්ඨාන භාවනාවගේ මස්තකප්‍රාප්තියෙන් වේ. විමසා බලනුයේ, අතීතාදී භේද භින්න වූ, පංච උපාදානස්කන්ධයන්හි සේස රහිතව අල්වාගෙන විමසා බලයි යයි එයින් සෙසු සතිපට්ඨානයන් පෙන්වයි. ජඤ්ඤා නිබ්බාන මත්තනො යනු මෙසේ සතර සතිපට්ඨාන භාවනාව මස්තකප්‍රාප්ත කොට සිටියේ බුන් කෙසේ ඇති භික්‍ෂුව තම කෙලෙස් නිවීම ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයෙන් තෙමේම දැන ගන්නේ යයි අර්ථයි.
නොහොත් සති කායගතා උපට්ඨිතා යනු තමාගේ ද අන්‍යයන්ගේද ශරීරයාගේ තත් වූ පරිද්දෙන්, පිරිසිඳ දැනීම දැක්වීමෙන් තෙරුන්ගේ සිහියෙහි විශාලත්වයට පැමිණීම දක්වන ලදි. ඡසු ඵස්සායතනෙසු සංවුතො යනු චක්‍ෂුරාදි ෂට් ද්වාරයන්හි සීමාව ඉක්මවා ගිය සංවරය දැක්වීමෙන්, සන්සුන් විහරනාදී වශයෙන් තෙරුන්ගේ විමසුම් නුවණ ප්‍රකට කිරීමද, ප්‍රඥාවගේ විශාලත්වයට පත්වීමද දක්වන ලදි. සත්තං භික්ඛු සමාහිතො යනු සමවත්හි යෙදීමේ බහුලතාවය දැක්වීමෙන් අනුපූර්ව විහාර සමාපත්තීහු දක්වන ලදහ. මෙවන් ආකාර වූ භික්‍ෂුව ජඤ්ඤා නිබ්බාණ මත්තනො යනු කරන ලද කෘත්‍යයන් ඇති බැවින් මත්තෙහි කළයුත්තක් නොමැති හෙයින්, හුදෙක් තමාගේ ස්කන්ධයන් පැවැත්මේ හේතුව ඉතිරිව නොමැති නිර්වාණයම දැනගන්නේය. ඔහුට අනෙක් සිතිය යුත්තක් නැතැයි යන අදහසයි.