4. ශාරීපුත්‍ර සූත්‍ර වර්ණනාව
සිව්වැන්නෙහි පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා යනු අරමුණට අභිමුඛව සිහිය තබා, මුව සමීපයෙහි කොට, එසේම විභංගයෙහි,
මෙම සිහිය නාසිකාග්‍රයෙහි හෝ මුව නිමිත්තෙහි හෝ එළඹ සිටියාහු මනාව එළඹ සිටියාහු වේ. එහෙයින් පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වායි කියයි.
නොහොත් පරි යනු හාත්පසින් අල්වා ගන්නා යන අර්ථයි. මුඛං යනු ගෙන යන අර්ථයි. සති යනු වැටහීම් අර්ථයි. එහෙයින් පරිමුඛං සතිං යයි කියයි. මෙහි පටිසම්භිදායෙහි කියන ලද අයුරින් අර්ථය දතයුතුය. එහි මේ කෙටි අර්ථයයි. හාත්පසින් අල්වාගෙන සිහිය ගෙන යාම නිය්‍යාණං යනු සිහියෙන් බැසගත යුතු අරමුණ දතයුතුය. මෙහි පළමු හා අවසන් අර්ථය සියල්ල එකට එකතු කිරීම් වශයෙනි. අනෙක සමවතින්, පූර්වභාගයෙහි එක් අරමුණක සිත පිහිටුවීම් වශයෙන් දතයුතුය. එය සිහිය යන මාතෘකාවෙන් යූ.සේයි. සති යන්න යමෙක් කායගතා සතිය පරිභෝග කෙරෙත්ද යනාදී තන්හි මෙනි. එම ධ්‍යානය යනු කිමෙක්ද? රූපාවචර චතුර්ථ ධ්‍යානය පාදක කොට සමවන් අර්හත්ඵල ධ්‍යානයයි. කෙසේ වනාහි එය දතයුතුද? කම්පා නොවන සමාධි යෝගයෙන් තෙරුන්ගේ කිසියම් විශේෂතා සහිත නිශ්චල භාවයද, කම්පා නොවන ස්වභාවයද, පර්වත උපමාවකින් ප්‍රකාශ කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ, මෙම උදානය වදාළ සේකැයි ගාථාවෙන්ම මෙම අර්ථය හැඟේ. මෙම හිඳගැනීම සත්‍යාවබෝධය සඳහා නොවේ. තවද මෙය ඉහාත්ම සුව විහරණය සඳහායි. සූකර බත (ඌරන් හෑරූ) ලෙණෙහිදී තම බෑනා වූ දීඝනඛ පිරිවැජියාට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන කල්හි මේ මහ තෙරහු චතුරාර්ය සත්‍යය ප්‍රතිවේධ කෘත්‍යය කල් ඇතිවම මස්තක ප්‍රාප්ත කළේය.
එතමත්‍ථං යනු තෙරුන්ගේ අකම්ප්‍ය සමාධි යෝගයෙන්, රහත් භාවයට පැමිණීමෙහිද, කිසියම් කම්පා නොවන ස්වභාව සංඛ්‍යාත කරුණ සර්වාකාරයෙන් දැන එම කරුණ පැහැදිලි කිරීමට මෙම ප්‍රීති වාක්‍යය වදාළ සේක.
එහි යථාපි පබ්බතො සෙලො යනු යම්සේ එකට තද වූ තනි සෙල්මුවා ගල් පර්වතයක් පස් සහිත හෝ විවිධ දෑ (වැලි, මඩ ආදී) මිශ්‍රිත පර්වතයක් නොවේයයි අර්ථයි. අචලො සුප්පතිට්ඨිතො යනු මුල් කොටස මනාව පිහිටියේ, ප්‍රකෘති වාතයන්ගෙන්, සෙලවිය නොහැකියේ, කම්පා නොවනුයේ වේ. එවං මොහක්ඛයා භික්ඛු පබ්බතොව නවෙධති යනු මෝහයාගේ සේස රහිත ප්‍රහාණයෙන්, මෝහ මූලික වූ, සියලු ප්‍රහීණතාවයට පත් දක්ෂ භික්‍ෂුව, යම්සේ එම පර්වතය ප්‍රකෘති වාතයන්ගෙන් නොසැලේද, කම්පා නොවේද, එසේම අටලෝ දහමින් නොසැලේ. කම්පා නොවේ. නිර්වාණයද, අර්හත්වයද මෝහක්‍ෂයයි කියයි. එහෙයින් මෝහක්‍ෂයයට හේතු වූ නිර්වාණයද අර්හත්වයද අවබෝධ කළ හෙයින් සිව් අරි සස්හි මනාව පිහිටියේ, සමවතට අසම්ප්‍රාප්ත කාලයෙහිද කියන ලද ආකාර ඇති පර්වතය මෙන් කිසිවකින් නොසැලේ. සමවතට සමවන් කාලයෙහි කියනුම කවරේද යන අදහසයි.
සිව්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
5. කොලිත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි, කායගතා සතියා යනු කය අනුව බැලීම් වශයෙන් කය අනුව ගිය, කය අරමුණු කොට පැවැති සිහියෙන්, මෙය මෙසේ වූයේය යන ලක්‍ෂණයෙහි කරණ විභක්තියි. අජ්ඣත්තං යනු මෙහි අධ්‍යාත්මය නම් ස්වකීය අධ්‍යාත්මයයි. එහෙයින් තමා කෙරෙහි ආත්ම සන්තානයෙහි යන අර්ථයි. නොහොත් කමටහනට හේතු වූ කෙස් ආදී දෙතිස් කොටස් සමූහය මෙහි කය යැයි අදහස් කරන ලදි. එහෙයින් අජ්ඣත්තං යන පදයට ගෝචරාධ්‍යාත්මයැයි අර්ථය දතයුතුය. සුප්පතිට්ඨිතො යනු ස්වකීය ආධ්‍යාත්ම වූ හෝ ගෝචරධ්‍යාත්ම වූ හෝ ශරීරයෙහි මනාව එළඹ සිටි හෙයින්, මේ කවරනම් සිහියක් යම් අධ්‍යාත්මයක මනාව එළඹ සිටියේ යයි කියන ලද්දේද? ඒ මේ භාග්‍යවතුන් වහන්සේ, මෙම කයෙහි කෙස්, ලොම් ඇත යනාදී ක්‍රමයෙන් ආධ්‍යාත්මික කෙස් ආදී වූ දෙතිස් ආකාර කය යූ.සේයි. එහි පිළිකුල් වශයෙන් මෙනෙහි කිරීම පවත්වන්නහුට, උපචාර අර්පණා වශයෙන් එළඹ සිටි සිහියක් වේද, එය කායගතා සතියයි කියයි. යම් ආකාර වූ ආනාපාන සිව් ඉරියව් සති සම්ප්‍රජාන්‍යයන්ගේ වශයෙන්, උද්ධුමාතක විනීලක වශයෙන්ද, මෙනෙහි කිරීම පවත්වන්නහුට, සුදුසු පරිදි, උපචාර අර්පණා වශයෙන් කයෙහි එළඹ සිටි සිහියක් වේද, එය කායගතා සතියයි කියයි. මෙහි වනාහි අධ්‍යාත්මික කායගතා සතියද, පෘථුවි ආදී සිව් ධාතූහුද සසම්භාර සංක්‍ෂේපාදී සතර අතරින් යම්කිසි එකකින් එක් ආකාරයකින් විභාගකොට, ඒවාහි අනිත්‍යාදි ලක්‍ෂණ සැලකීම් වශයෙන් එළඹ සිටි විදර්ශනා සම්ප්‍රයුක්ත සිහිය කායගතා සතියයි අදහස් කරන ලදි. තෙරුන් වහන්සේ වනාහි එසේ විදර්ශනා කොට තම ඵල සමවතට සමවැද හුන්නේය. මෙහිද ගාථාවෙන් මෙම අර්ථය දතයුතු හෙයින් ‘නචායං නිසජ්ජාං ආදිය කියන ලද ක්‍රම අනුසාරයෙන් යෙදිය යුතුය.
එතමත්‍ථං යනු තෙරුන්ගේ එම සිව් ධාතු වෙන් වෙන්ව අවබෝධ කිරීම් අයුරින් කායානුපස්සනා සතිපට්ඨානයෙන් විදර්ශනාවට බැස ඵල සමවත් සමවැදීම් සංඛ්‍යාත අර්ථය දැන, ඉමං උදානං යනු මෙම සතිපට්ඨාන භාවනාවෙන් නිර්වාණාධිගමය දක්වන ප්‍රීති වාක්‍යය වදාළ සේක.
එහි සති කායගතා උපට්ඨිතා යනු පෙර කියන ලද ලක්‍ෂණ ඇති සිහිය, ශ්‍රද්ධාව පූර්වාංගම සමාධි, වීර්ය ප්‍රඥාවන් සුදුසු පරිදි, කෘත්‍ය නිෂ්පාදනයෙන් විරුද්ධ ධර්මයන් ප්‍රහාණ භාවය පැමිණි හෙයින්, විරුද්ධ ධර්මයන් ප්‍රහීණ වූවාහු එයින්ම, තීක්‍ෂණ හා ප්‍රකට වූද, කියන ලද ආකාර ඇති ශරීරයාගේ ග්‍රහණ වශයෙන් ද, එක් අර්ථයක එක්තැන් කිරීම් වශයෙන්ද, නොවෙනස් ස්වභාවය සලකන්නාහු එළඹ සිටියේ වේ. එයින් කාය සංඛ්‍යාත සිව් ධාතූන්ගේ ද එය ආශ්‍රිත උපාදාය රූපයන්ගේද සැලකීම් වශයෙන් ප්‍රත්‍යයන් විභාගකොට ඉන් මත්තෙහි ඒවාහි, අනිත්‍යාදි ලක්‍ෂණ සැලකීම් වශයෙන් පැවැති ඥාන පරම්පරාව අනුව පැමිණි සිහිය දක්වයි. සති ශීර්ෂයෙන් හෝ ඒ හා සම්ප්‍රයුක්ත විශේෂ දැනුම් ත්‍රයයට ඇතුලත් ඥාන පරම්පරාව දක්වයි. ඡසු ඵස්සායතනෙසු සංවුතො යනු කියන ලද ආකාරයෙන් කයෙහි එළඹ සිටි සිහියෙන් යුක්ත වූයේ චක්‍ෂුරාදීන්හි ස්පර්ශයට හේතු වූ ෂට් ද්වාරයන්හි කායානුපස්සනාවගේ නොවඩනා ලද හෙයින් ඉපැත්මට නුසුදුසු වූ අභිධ්‍යාදීන්ගේ, එය වඩනා ලද හෙයින් පැවැත්මට හේතු වලකනුයේ ඒවා වසනුයේ එහි සංවර වූයේ යයි කියයි. එයින් ඥාන සංවරය දක්වයි.