3. යශොජ සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි යසොජ පමුඛානි යන මෙහි යසොජ යනු එම තෙරුන්ගේ නාමයයි. ඔහු පූර්වාංගම කොට, පැවිදි වූ හෙයින් ද, හැසිරෙන හෙයින් ද එම පන්සියයක් භික්ෂූහු යසොජ ප්රමුඛ යැයි යූ.සේයි.
ඔවුන්ගේ මේ පූර්වයෝගයයි. අතීතයෙහි කාශ්‍යප දශබලධාරීන් වහන්සේගේ සස්නෙහි එක්තරා ආරණ්‍යයක භික්ෂුවක්, ආරණ්‍යයෙහි ගල මතුපිට කරන ලද, කොළ සෙවිලි ඇති කුටියක (කුඩාගෙයක) වාසය කරයි. එසමයෙහි පන්සියයක් සොරහු ගම් පැහැරීම් ආදිය කොට සොරකමින් ජීවත් වන්නාහු, සොරකමක් කොට, දනව් වැසි මිනිසුන් විසින් ලුහුබඳින ලද්දාහු. ඉන් බේරීම සඳහා පැනයන්නාහු, අරණ්‍යයට පිවිස, එහි ගතයුතු කිසිවක් හෝ පිළිසරණක් හෝ නොදක්නාහු එම භික්ෂුව, නුදුරෙහි ගලමත හුන්නහු දැක වැඳ එපවත් කියා, ස්වාමීනි, අපහට පිහිටවුව මැනැවැයි ආයාචනා කළහ. තෙරහු ඔබලාට සීලය හා සම පිළිසරණක් නැත. සියල්ලෝ පන්සිල් සමාදන් වවු යයි කීය. ඔවුහු මැනවැයි පිළිගෙන සිල් සමාදන් වූහ. තෙරහු නුඹලා දැන් සීලයෙහි පිහිටියාහු. තව දිවි නැසෙන කල්හිද, මනස දූෂණය නොකරව් යැයි කියත් උපමා ක්‍රමය කීයේය. ඔව්හු මැනවැයි පිළිගත්හ. ඉක්බිති ඒ දනව් වැස්සෝ, එහි පැමිණියාහු, ඔබිනොබ සොයන්නාහු, එම සොරුන් දැක සියල්ලෝ ජීවිතයෙන් තොර කළහ. ඔව්හු එම දනව් වැස්සන් කෙරෙහි සිත් දූෂ්‍ය කිරීම් මාත්‍රයකුදු නොකොට නොකඩසිල් ඇත්තාහු කළුරියකොට කාමාවචර දෙවියන් කෙරෙහි උපන්හ.
ඔවුනතර දෙටු සොර තෙමේ සසර ඔබිනොබ සරන්නාහු, එක් බුද්ධාන්තරයක් දෙව්ලොව කල්යවා, අප භාග්‍යවතුන්ගේ කාලයෙහි දෙව්ලොවින් සැව, දෙටු දෙව්පිත් සැවැත්නුවර දොරැ කෙවුල්ගමෙහි, පන්සියයක් කුලදෙටු කෙවුලාගේ පිත්ව උපනි. ඔහුට යසෝජ යැයි නම් කළහ. අනෙක් අයද සෙසු කෙවුලන්ගේ පුත්‍රයෝ වී උපන්හ. ඔව්හු පෙර එකට වාසය කිරීමෙන් සියල්ලෝම යහලුවන් වී වැලිකෙළියෙහි පටන් ක්‍රීඩා කරන්නාහු පිළිවෙලින් වියපත් වූහ. යසෝජ ඔවුනතර ප්‍රධානියා විය. එම සියල්ලෝම එකතු වී දැල්ගෙන, ගංගා විල් ආදීන්හි මසුන් ඇල්ලීම (බැඳීම) සඳහා හැසිරෙත්.
එකල්හි එක් දිනක, අචිරවතී නදියෙහි දැල හෙලූ කල්හි රන්වන් මත්ස්‍යයෙක් දැල තුලට පිවිසියේය. එය දැක සියලුම කෙවුලෝ, අපගේ පුත්‍රයෝ මසුන් බඳනාහු රන්වන් මත්ස්‍යයෙකු බැන්දාහයි තුටු පහටු වූහ. ඉක්බිති එම පන්සියයක් යහලුවෝ, මත්ස්‍යයා නැවත බහා නැව ඔසවාගෙන ගොස් රජුට දැක්වූහ. රජු එය දැක භාග්‍යවතුන් වහන්සේ, එම මත්ස්‍යයාගේ පැහැපත් වීමේ හේතුව දන්නේයයි මත්ස්‍යයා අල්වාගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට දැක්වීය. ශාස්තෲන් වහන්සේ මේ මත්ස්‍යයා කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි සස්න පිරිහීගෙන යන කාලසීමාවෙහි පැවිදිව, වැරදි මගට පිවිස ඒ අනුව කටයුතු කරනුයේ සස්න පිරිහෙවා නිරයෙහි උපන්නේ, එක් බුද්ධාන්තරයක් නිරයෙහි පැසී, ඉන් චුතව, අචිරවතී නදියෙහි මත්ස්යයෙක්ව උපන්නේ යයි වදාරා, ඔහුගේ මව්, නැගනියද, නිරයෙහි උපන් බවද, ඔහුගේ සොයුරු තෙරුන්ගේ පිරිනිවි බවද ඔහු ලවාම කියවා, මෙය අර්ථෝත්පත්ති කොට කපිල සූත්‍රයද දේශනා කළ සේක.
ශාස්තෲන් වහන්සේගේ දේශනාව ශ්‍රවණයකොට, එම පන්සියයක් කෙවුල් පුත්හු සංවේගප්‍රාප්තව, බුදුරදුන්ගේ සමීපයෙහි පැවිදිව උපසම්පදා ප්‍රාප්තව විවේක වාසයෙහි වසන්නාහු භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම පිණිස ගියහ. එහෙයින් තෙන ඛොපන සමයෙන යසොජ පමුඛානි පංචමත්තානි භික්ඛු සතානි ආදිය යූ.සේයි.
එහි තෙධා යනු ඔව්හු මෙහි, නෙවාසිකෙහි යනු හැමදා වාසය කරන අය සමග, පටිසම්මොදමානා යනු නේවාසික භික්ෂූන් විසින්, ඇවැත්නි, ඉවසීම (රුචි වීම) කෙසේද? ආදි ක්‍රමයෙන් පිළිසඳර වශයෙන් සතුටුවන කථාවෙන් ‘ඇවැත්නි, එසේය රුචිවෙමියි ආදියෙන් නැවත සතුටුවෙමින් ඔවුන් සමග සමව පැවැති සතුටුවීමයි. සෙනාසනානි පඤ්ඤාපය මානා යනු ආචාර්ය උපාධ්යයාදීන්ටද තමන්ටද ලබාගන්නා ස්ථාන විමසා, එම නේවාසිකයින් විසින්, ඔවුන්ට මෙය ඔබගේ ගුරුවරයාටය, මෙය ඔබගේ උපාධ්යායාටය, මෙය ලැබේයයි සෙනසුන් සංවිධානකොට තමාම එහි ගොස්, දොරකවුළු විවරකොට ඇඳ පුටු පැදුරු ආදී සියල්ල බැහැරකොට, ගසාදමා, නිසිතන්හි තැබීම් ආදී වශයෙන්, පනවනු ලබන්නාහුද,