2. නන්ද සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි නන්‍දො යනු ඔහුගේ නාමයයි. ඔහු වනාහි චක්‍රවර්ති රාජ ලක්‍ෂණයන්ගෙන් යුක්ත හෙයින් මව්පියවරු, පිරිවර ජනයා, සියලු නෑ පිරිවර සතුටු කරවමින් උපන් හෙයින් නන්ද යන නාමය ලැබීය. භගවතො භාතා යනු භාග්‍යවතුන් වහන්සේගේ එක් පිය පුත්‍රතාවයෙන් සහෝදරත්වයයි. භාග්‍යවතුන් වහන්සේට සහෝදරයෝ නූපදිත්. එහෙයින් මාතුච්ඡා පුත්තොයි යූසේයි. සුලු මව් පුතු යන අර්ථයි. මහා ප්‍රජාපතී ගෝතමියගේ පුතු, අනභිරතො යනු නො ඇලුනේ. බ්‍රහ්මචරියං යනු උසස්, ශ්‍රේෂ්ඨ උතුම් චර්යාව, එක් අස්නක හිඳ අනුභවය, එක් සයනයක නිද්‍රාව, මෛථුනයෙන් වැළැක්ම, සන්‍ධාරෙතුං යනු, ප්‍රථම සිතෙහි පටන් අවසන් සිත තෙක් මනාව සම්පූර්ණ කරන්ට, පවත්වන්ට, මෙහි දෙවන බ්‍රහ්මචරිය පදයෙන් මාර්ග බ්‍රහ්ම චර්යාවගේ ද සංග්‍රහය දතයුතුය. සික්ඛං පච්චක්ඛාය යනු උපසම්පදා ප්‍රාප්තියෙහි දී භික්‍ෂුත්වය සමග සමාදන් වන ලද ඉපදවිය යුතු බැවින් නොනිමි සිව් වැදෑරුම් වූ ද ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කොට, අත්හැර යන අර්ථයි. හීනාය යනු ගිහිබව සඳහා, ආවත්තිස්සාමි යනු පෙරළෙන්නෙමි.
කවර හෙයින් මොහු මෙසේ සැලකරන ලද්දෙහිද? මේ මෙහි අනුපිළිවෙල කථාවයි. පවත්වන ලද උතුම් දම්සක් ඇති බුදුරදහු, රජගහ නුවරට ගොස් වේළුවනයෙහි වැඩ වාසය කරනුයේ ‘මට පුතු ගෙනවුත් පෙන්වුව මැනවැයි සුදොවුන් යැවූ, ලක්‍ෂයක් පිරිවර සහිත දස දූතයින්, පිරිවර සහිතව අර්හත්වයට පත් කල්හි, සියල්ලන්ට පසුව ගොස් අර්හත්වයට පත්, කාලුදායි තෙරුන් විසින් යාමට සුදුසු කල්හි දැන, මග වැනුම් වනා, උපන් බිමට යාම සඳහා ආයාචනා කරන ලදුයේ, විසිදහසක් රහතුන් පිරිවරන ලදුයේ, කිඹුල්වත් නුවරට ගොස් ඥාතීන්ගේ එකතුවීමෙහිදී වූ පොකුරු වැස්ස, මාතෘකා කොට, වෙසතුරු දා දෙසා, දෙවන දින පිඬු පිණිස පිවිසියේ, ‘උත්තිට්ඨෙ නප්ප මජ්ජෙය්‍ය’ යන ගාථාවෙන් පියතුමා සෝවාන් ඵලයෙහි පිහිටුවා, නිවෙස්නට ගොස් ‘ධම්මංචරෙ’ යන ගාථාවෙන් මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයෙහි ද, රජු සකෘදාගාමී ඵලයෙහිද පිහිටවූ සේක.
බත්කිස අවසනැ, රාහුල මව් ගුණකථනය ඇසිරිකොටැ, සඳකිඳුරු ජාතකය දෙසා, තෙවන දිනැ, නන්ද කුමරුගේ, අබිසෙස් ගෘහ ප්‍රවේශ, විවාහ මංගල්‍යයන් පවත්නා කල්හි පිඬු පිණිස පිවිසැ, නන්ද කුමරුගේ අතට පාත්‍රය දී, මගුල්දම් දෙසා, හුනස්නෙන් නැගිට ආපසු වඩිනුයේ, කුමරුගේ අතින් පාත්‍රය නොගත් සේක. ඔහුට බුදුරදුන් කෙරෙහි පැවැති ගෞරවයෙන් ස්වාමීනි, ඔබගේ පාත්‍රය ගනුමැනවැයි කියන්ට නොහැකි විය. මෙසේද සිතීය. තරප්පු මුදුනෙහිදී පාත්‍රය ගන්නේය. බුදුරදහු එතැන්හිදී නොගත්තේය. අනෙකා තරප්පු ආරම්භක ස්ථානයෙහිදී ගන්නේයයි සිතීය. බුදුරදහු එතැන්හිදීද නොගත්තේය. අනෙකා රාජාංගනයේදී ගන්නේ යයි සිතීය. බුදුරදහු එතැන්හිදීද නොගති. කුමරු නවතිනු කැමැතියේ, නොකැමැත්තෙන් යනුයේ, ගෞරවය හේතුයෙන්, පාත්‍රය ගනු මැනවැයි කියන්ට නොහැකි වේ. මෙහිදී ගන්නේය. මෙහිදී මෙහිදී ගන්නේ යයි සිතමින් යේ.
එකෙණෙහි ආර්යාවනි, බුදුරදහු නන්ද රජුන් ගෙන යේ. ඔහු ඔබගෙන් වෙන් කරන්නේ යයි ජනපද කල්‍යාණියට නිවැසියෝ කීහ. ඕ දියබිඳු වැගිරෙන, අඩක් පණා ගැසූ කෙස්වලින් යුක්තව, වේගයෙන් පහයට නැග, සීමැදුරු කවුළුවෙහි සිට, ආර්යපුත්‍රය, ඉක්මන් කොට එනු මැනවැයි කීවාය. ඇයගේ එම වචනය ඔහුගේ හෘදයෙහි හරස්ව වැටුනාක් මෙන් සිටියේය. බුදුරදහු ද ඔහුගේ අතින් පාත්‍රය නොගෙනම ඔහු විහාරයට ගෙන ගොස්, නන්ද, පැවිදි වන්නෙහිදැයි වදාළේය. හෙතෙම බුද්ධ ගෞරවයෙන් පැවිදි නොවන්නෙමියි නොකියා, එසේය පැවිදි වන්නෙමියි කීය. බුදුරදහු, එසේ නම් නන්ද පැවිදි කරව් යයි කපිලවස්තු පුරයට ගොස් තෙවන දින ඔහු පැවිදි කරවීය. සත්වන දින, මව විසින් සරසා, ශ්‍රමණය මට දායාද දෙවයි කියා යවන ලද, තමා සමග පැමිණි රාහුල කුමරු පැවිදි කරවීය. දෙවන දින මහා ධර්මපාල ජාතකය දේශනාකොට, රජු අනාගාමී ඵලයෙහි පිහිටුවීය.
මෙසේ බුදුරදහු, මහා ප්‍රජාපතිය සෝවාන් ඵලයෙහිද, පියරජු ත්‍රිවිධ ඵලයන්හිද, පිහිටුවා භික්‍ෂු සංඝයා පිරිවරන ලදුයේ, නැවත රජගහ නුවරට ගොස්, ඉක්බිති අනේපිඬු සිටුහු විසින් සැවතට පැමිණීම සඳහා ගන්නා ලද ප්‍රතිඥා ඇතියේ දෙව්රම් වෙහෙර නිමි කල්හි එහි ගොස් වාසය කළ සේක. මෙසේ බුදුරදහු, දෙව්රම වාසය කරන කල්හි, ආයුෂ්මත් නන්ද භික්‍ෂුව, තම නොකැමැත්තෙන් පැවිදි වූ හෙයින්, කාමයන්හි ආදීනව නොදක්නේ ජනපද කල්‍යාණිය විසින් කියන ලද වචන සිහිකරනුයේ, කළකිරුණේ, භික්‍ෂූන්ට තම නොඇල්ම සැල කළේය. එහෙයින් කියන ලදි. තෙන ඛො පන සමයෙන ආයස්මා නන්‍දො -පෙ- හීනායාවත්තිස්සාමීති ‘එකල්හි වනාහි ආයුෂ්මත් නන්ද භික්‍ෂුව ගිහි බවට පරිවර්තනය වන්නෙමියි,