9. විශාඛා සූත්ර වර්ණනාව
නවවැන්නෙහි පුබ්බාරාමෙ යනු අනුරාධපුරයේ පෙරදිග කොටසෙහි උතුම් දේවියගේ විහාරය හා සමාන තැන්හි කරවන ලද්දා වූ සැවැත් නුවර පිහිටි ආරාමයෙහි. මිගාර මාතු පාසාදෙ යනු
මේ එහි අනුපිළිවෙල කථාවයි. අතීතයෙහි කල්ප සියයක් පමණ කාලයෙහි එක් උපාසිකාවක් පදුමුත්තර බුදුන් අන් එක් උවැසියක් තමාගේ අග්ර උපස්ථායිකා තනතුරෙහි තබනු දැක භාග්යවතුන් වහන්සේට ආරාධනා කර බුද්ධ ප්රමුඛ ලක්ෂයක් භික්ෂූන්ට දන් දී බුදුරදුන්ට වැදහෙව අයුරක් කොට අනාගතයෙහි ඔබවහන්සේ වැනි බුදුවරයෙකුගේ අග්ර උපස්ථායිකාව වන්නේ නම් යයි ප්රාර්ථනා කළාය. ඕ තොමෝ කල්ප ලක්ෂයක් දෙවියන් අතරද මිනිසුන් අතර ද සැරි සරා අපගේ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුගේ පුත් වූ ධනංජය සිටුගේ නිවසෙහි සුමනා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. උපන් පසු ඇයට විසාඛා යයි නම් කළාහුය. යම්දිනෙක බුදුරදුන් භද්දිය නගරයට වැඩි සේක් ද එකල්හි ඇය දැරියන් පන්සියයක් සමග භාග්යවතුන් වහන්සේට පෙර ගමන් කොට පළමු දැකීමෙන් සෝවාන් වූවාය.
පසුකාලයෙහි සැවැත් නුවර මිගාර සිටු පුත්රයා වූ පූර්ණවර්ධන කුමාරයාගේ ගෙට ගියාය. එහිදී ඇගේ මාමණ්ඩිය වූ මිගාර සිටු තෙමේ තමාට කළ උපකාර වශයෙන් මව් තනතුරෙහි තැබුවාය. එහෙයින් මිගාර මාතා යයි කියනු ලැබේ. තමාගේ මහාලතා ප්රසාදන නම් ආභරණය විකුණා නවකෝටියකින් භාග්යවතුන් වහන්සේට ද භික්ෂු සංඝයාටද වාසය පිණිස කිරියක් පමණ භූමි භාගයෙහි මතු මහලෙහි කාමර පන්සීයක, යට මහලෙහි කාමර පන්සියයකැයි කාමර දහසකින් යුත් ප්රාසාදයක් කරවීය. එහෙයින් ‘මිගාර මාතු පාසාදෙ” යයි කියන ලදි.
කොචි දෙව අත්ථො යනු කිසියම් ප්රයෝජනයක්. රඤ්ඤෙ යනු රජ බිසව කෙරෙහි. පටිබද්ධො යනු ඇළුනේ. විශාඛාවගේ නෑ නිවසකින් මැණික් මුතු ආදියෙන් කරන ලද එබඳු උපකරණක් ඇයට පඬුරු පිණිස එවන ලදි. එය නුවර දොර අභියසට පත් වූ විට අයබදු කරුවෝ එය පිළිබඳ බදු ගනු ලබන්නෝ එයට සුදුසු පරිදි නොගෙන වැඩිමනක් ගත්තාහුය. ඒ අසා විශාකා තොමෝ රජුට ඒ බව දන්වනු කැමැත්තී සුදුසු පිරිවර සමගින් රජ මැදුරට ගියාය. එකෙණෙහි රජු මල්ලිකා දේවිය සමග අන්තඃපුරයට ගියේ වෙයි. විශාඛාව අවකාශයක් නොලබන්නී දැන් ලබන්නෙමියි ආහාර ගනු ලබන වේලාවද ඉක්මවා සිඳුන බත් ඇත්තී වී ගියාය. මෙසේ දෙතුන් දිනක් ගොස් නමුත් අවකාශයක් නොලද්දීමය. මෙසේ රජු වෙත නොදන්වන ලද්දේ ද ඒ කරුණු විමසීමට අවකාශ ඇති කිරීමෙන් “යථා අධිප්පායං න තීරෙති” යයි කියන ලදි. එහි යථා අධිප්පායං යනු අභිලාශයට ගැලපෙන අයුරින් න තීරෙති යනු නො නිමවයි. රජු අයත් අයබදු පමණක් රජුට දී ඉතිරිය විසඳාලන්නට මහෝපාසිකාවගේ අදහස විය. ඇය රජ විසින් නොදක්නා ලද සෙයින් තීරණය නොවිය යනුයි. භන්ද යනු අත්හැරීම් අර්ථයෙහි නිපාතයකි. දිවා දිවස්ස යනු දවසෙහි දහවල්ය. මධ්යාහ්න වේලාවෙහි යන අර්ථයි. කිසියම් කළයුත්තක් නිසා දවසෙහි දහවල් කාලයෙහි දෙතුන් දිනක් එළඹියෙමි. භාග්යවතුන් වහන්සේ වෙතම එළඹී මම දැකීමෙන් වන උතුම් පින ආදිය ලැබීම වැනි කරුණු හෙයින් අරුත් සහිත යයි (දක්වන්නීම) ස්වාමීනි; මම මෙම වේලාවෙහි මෙහි පැමිණියා වෙමියි මෙම කරුණ දක්වන්නී වූ මහා උපාසිකා තොමෝ ඉධ මෙ භන්තෙ ආදිය කීවාය.
එතමත්ථං යනු මෙසේ අනුන් අයත් වූ අධිෂ්ඨානය සමෘද්ධ වීම සංඛ්යාත ප්රයෝජනය දැන ඉමං උදානං යනු මෙම අනුන් අයත් වූ පැවැත්ම ඇති අය පිළිබඳ ආදීනවයන් හා ආනිසංසයන් දක්වන්නා වූ ප්රීති වාක්යය ප්රකාශ කළේය.
එහි සබ්බං පරවසං දුක්ඛං යනු යම්කිසි අභිවෘද්ධියක් ප්රයෝජනයක් අනුන් පිළිබඳවද අනුන් අයත් ද එය තමාගේ කැමැත්තෙන් නිපදවන්නට නොහැකි නිසා දුක්ඛං දුක් එළවන්නේ වේ යයි අර්ථයි. සබ්බං ඉස්සරියං සුඛං යනු ඓශ්චර්යය ලෞකික හා ලෝකෝත්තර යයි දෙයාකාරය. එහි රජ ඉසුරු ආදියද ලෞකික ධ්යාන අභිඥා ඉපදවීම වූ සිතේ ඉසුරුමත් බවද ලෞකික ඓශ්චර්යය වේ. මාර්ග ඵලාධිගමය නිරෝධ සංඛ්යාත ඉසුරුමත් බව ලෝකෝත්තර ඓශ්චර්යය වේ. මේවා අතර සක්විති බව අවසන් කොට ඇති මිනිසුන් අතර වූ යම් ඉසුරුමත් බවක් වේද ශක්ර ආදීන්ගේ ඒ ඒ දේව සමූහයා අතර අධිපති බවට හේතු වූ ඉසුරුමත් බවක් වේද, ඒ දෙක ඉදින් කර්මයේ මහිමයෙන් කැමති පරිදි ලද යුතු සැපයට හේතු වූ හෙයින් සැපයක් වේ. වෙනස්වීම් සංඛ්යාත දුක් ඇති හෙයින් හැම පරිද්දෙන්ම දුකක්ම වේ. අනිත්ය බව අවසන් කොට ඇති හෙයින් ලෞකික ධ්යාන ඉපදවීම සංඛ්යාත සිතේ ඉසුරුමත් බවද එසේමය. ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන හෙයින්ද නොවෙනස් වන ස්වභාව ඇති හෙයින්ද නිරෝධ ඓශ්වර්යය ඒකාන්ත සැපය වේ. මේ සියළු තන්හි අපරාධීන බැවින් යම් සිතේ සුවයක් ලබයිද එය අරමුණු කොට ශාස්තෲන් වහන්සේ “සබ්බං ඉස්සරියං සුඛං” යයි වදාළ සේක.