10. භද්දිය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අනුපියායං යනු මෙනම් වූ නගරයෙහි. අම්බවනෙ යනු ඒ නගරය නුදුරෙහි මල්ල රජුන්ගේ එක් අඹ වනයක් විය. එහි මල්ල රජුන් විසින් විහාරයක් කරන ලදි. එය අඹවනය යයි කියනු ලබයි. අනුපිය අඹ වනය ගොදුරු කොට භාග්‍යවතුන් වහන්සේ එහි වාසය කරයි. එහෙයින් “අනුපියායං විහරති අම්බවනෙ” යයි කියන ලදි. භද්දියො යනු ඒ තෙරුන්ගේ නමයි. කාලිගොධාය පුත්තො යනු කාලිගෝධා නම් වූ ශාක්‍යයන් අතර යම් ශාක්‍ය රාජ දේවියක් වූවාද ඕ ආර්‍ය්‍ය ශ්‍රාවිකා වූවා ලබන ලද මාර්ගඵල ඇත්තී දන්නා ලද සසුන් ඇත්තීද වූවාය. මේ ඇයගේ පුත්‍රයායි. ඔහුගේ පැවිදි වූ අයුරු ඛන්‍ධකයෙහි පැමිණියේම වේ. හෙතෙම පැවිදි වී විදර්ශනා උපදවා නොබෝ කලකින්ම ෂට් අභිඥාලාභී වූයේය. කෙලෙස් ධුතාංග සමාදන් වී පවතී. භාග්‍යවතුන් වහන්සේ විසින් ද “මහණෙනි මාගේ ශ්‍රාවක වූ උසස් කුල ඇති භික්‍ෂූන් අතර යම් මේ කාලිගෝධාවගේ පුත් වූ භද්තිය තෙරුන් අග්‍රයයි අසූ මහා ශ්‍රාවකයන් අතර උසස් කුල ඇති බැව්හි අග්‍රස්ථානයේ තබන ලදි.
සුඤ්ඤාගාරගතො යනු ගමද ගම සමීපයද සෙසු වනයද හැර යයි කියන ලදි. වනයද ගස් මුලද හැර වෙනත් පර්වත - ගල් ගුහා ආදී වූ පැවිද්දන්ට සුදුසු වාසස්ථානය ජනයාගෙන් වන ගැහැට නොමැති හෙයින් මෙහි ශූන්‍යාගාරයයි අදහස් කරන ලදි. තවද වැදි - ගොවි ආදීන්ගේ ශබ්දයන් නොමැති හෙයින් විවේකී වූ යම්කිසි ගෙයක්ද ශූන්‍යාගාරය යයි දත යුතුය. එවැනි ශූන්‍යාගාරයකට ගියේ. අභික්ඛණං යනු බහුලය. උදානං උදානෙති යනු ආයුෂ්මත් උන්වහන්සේ වනයෙහි දිවා විහරණයට එළඹියේද රාත්‍රී කාලයෙහි විසීමට එළඹියේද බොහෝසෙයින් ඵල සමාපත්ති සුවයෙන්ද නිරෝධ සමාපත්ති සුවයෙන් ද ගෙවයි. එහෙයින් ඒ සුවය අරභයා පෙර තමා විඳින ලද බිය සහිත දැවීම් සහිත රජ සැප පිළිකුල් කොට. අහො සුඛං අහො සුඛං යයි සොමනසින් යුත් නුවණැති බැවින් යුතුව හටගත් ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කරයි.
සුත්‍වාන තෙසං එතදහොසි යනු ඒ බොහෝ භික්‍ෂූන්ට ඒ උදම් අනන්නා වූ ආයුෂ්මත් භද්දිය තෙරුන්ගේ “අහෝ සැපයකි අහෝ සැපයක්” යි යන ප්‍රීති වාක්‍යය අසා ඒකාන්තයෙන් නොඇලී බඹසර හැසිරෙයි යයි මෙසේ සිතුවිල්ලක් විය. ඒ පුහුදුන් භික්‍ෂූහු ඒ ආයුෂ්මතුන් වහන්සේගේ විවේක සුවය අරබයා කළ ප්‍රීති වාක්‍යයකැයි නොදන්නාහු මෙසේ සිතූහ. එහෙයින් “නිස්සංසයං” (සැක රහිතව) ආදිය කියන ලදි. නිස්සංසයං යනු සැක රහිතව ඒකාන්තයෙන් යන අර්ථයි. “යම්හෙයකින් හෙතෙම පළමුව ගිහිගෙයි වූයේම යන පෙල කියා අනුභව කළේය යන වචන වශයෙන් ඇතැම්හු අරුත් විස්තර කරති. සෙස්සෝ “යං සා” යනුවෙන්ද කියත්. “යං ස පුබ්බෙ අගාරිය භූතස්ස” යනු පෙළ වේ. එහි යංසා යනු යමක් වීද? සන්‍ධි වීම් වශයෙන් “අ” කාරය හා “ස” කාරය ලෝපය වේ. “එවං ස තෙ පුප්ඵං සා උප්පජ්ජි” යන තන්හි මෙනි. එහි අර්ථය: ආයුෂ්මත් භද්දිය තෙරුන්ට පැවිද්දෙන් පෙර ගිහිගෙයි වූවාහුගේ යම් රාජ සැපයක් අනුභව කරන ලද්දේ වී නම්. සො තමනුස්සරමානො යනු හෙතෙම දැන් ඒ සැපය උකටලී වීම් වශයෙන් සිහිකරමින්.
තෙ භික්‍ඛු භගවන්තං එතදවොචුං යනු උසස් කර ප්‍රකාශ කිරීමේ ස්වභාවයෙන් යුත් ඒ බොහෝ භික්‍ෂූහු උන්වහන්සේට අනුග්‍රහ කිරීමේ අදහසින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. දොස් පැවරීම් වශයෙන් නොවේ. අඤ්ඤතරං යනු නම් ගොත් වශයෙන් ප්‍රසිද්ධ නැති එක් භික්‍ෂුවක්. ආමන්තෙසි යනු ඒ භික්‍ෂූන් හඟවනු කැමැත්තේ ඇනවීය එවං යනු වචන පිළිගැනීමෙහි මැනවයි යන අර්ථය, නැවත “එවං” යනු ප්‍රතිඥා කළ ඇසිල්ලෙහි. අහෝ සුඛං අහො සුඛන්ති ඉමං උදානං උදානෙසි යනු ඒ භික්‍ෂූහු යම් සේ කියත්ද එය එසේම යයි තමාගේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශය පිළිගනී. කිම්පන ත්‍වං භද්දිය යනු භාග්‍යවතුන් වහන්සේ කිමැයි විමසයි. කිම ඔහුගේ සිත නොදන්නේ ද? අප නොදනී. ඔහු ලවාම ඒ කරුණ කියවා ඒ භික්‍ෂූන් දැනුවත් කරන්නට විමසයි. මෙය කියන ලදි. දන්නා වූම තථාගතයන් වහන්සේලා (ඒ ඒ කරුණු පිළිබඳව) විමසත්. දන්නා වූම තථාගතයන් වහන්සේලා නොවිමසත් යයි ආදී වශයෙනි. අත්‍ථවසං යනු කාරණයයි.