8. සුප්‍රවාසා සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයේ කුණ්ඩියායං යනු මේ නම් ඇති කෝලියයන්ගේ නගරයයි. කුණ්ඩධාන වනෙ ඒ නගරය අසල කුණ්ඩධාන නම් වූ වනයක් අතීතයේ විය.
ඒ වනලැහැබේ ඈත අතීතයේ කුණ්ඩ නම් වූ එක් යක්‍ෂයෙක් වාසය කළේය. සහල් කුඩුවලින් මිශ්‍ර වූ රොටිවලින් කරන පූජාවන්ගෙන් ඒ යක්‍ෂයා සතුටු වෙයි. එසේ පූජාවන් පැවැත්වූ හෙයින් මේ වනලැහැබ කුණ්ඩධාන නමින් හැඳින්වීය. එම වන පෙදෙසට නුදුරුව ඊට පසු කාලයක කෝලිය රජවරු එහි නගරයක් කරවූහ. එම නගරයද මෙම හඳුන්වාදීම පරිදිම කුණ්ඩියා නාමයෙන් හඳුන්වන ලදි. ඒ වනලැහැබෙහි කෝලිය රජවරු භාග්‍යවතුන් වහන්සේ සහිත භික්‍ෂු සංඝයාට වාසය පිණිස විහාරයක් ඉදිකළාහුය. එයද කුණ්ඩධාන වන නමින්ම ප්‍රකට විය. ජනපද චාරිකාවෙහි හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් එම විහාරයට පැමිණ එහි වාසය කළහ. එහෙයින් එකං සමයං භගවා කුණ්ඩියායං විහරති කුණ්ඩධාන වනෙ යන්න කියන ලදි.
සුප්පවාසා යනු ඒ උපාසිකාවගේ නමයි. කෝලිය ධීතා යනු කෝලිය රාජ කුමාරිකාවකි. භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායිකාව වූ ඇය ප්‍රණීතව දන් දෙන්නා වූ ශ්‍රාවිකාවන් අතර ඒතදග්ග ධුරයෙහි තබන ලද සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවකි. භාග්‍යවතුන් වහන්සේලා යම් සුදුසු ඛාදනීය භෝජනීය දෙයක් හෝ ඖෂධයක් හෝ වෙනයම් දෙයක් හෝ, අන්‍ය වූ පුරුෂයන් විසින් ගෙනැවිත් සැපය දෙයක් වීනම් ඒ සියල්ල තමන්ම තමන්ගේ නුවණින් සොයා බලා මැනවින් සම්පාදනය කොට බුදුරදුන්ට පිළිගන්වයි. තව ද දිනපතා අටසියයකට සහබත් ද, තමන්ගේම ධනයෙන් සකස්කොට පුද්ගලික බත් දෙයි. යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් ඒ ගෙදරට පිඬුසිඟා වැඩියකල්හි හිස් අතින් නොයයි. මෙසේ නිතරම දෙන්න කැමැත්ත ඇති අති පිරිසිදු පින් කිරීමෙහි ඇළුණු ආයාචනයට සුදුසු දන් දීමේ සංවිධානයට ම ඇලුණ තැනැත්තියකි. ඇයගේ කුසෙහි පෙර බුදුවරුන්ගේ හමුයෙහි විවරණ ලැබ, පශ්චිම භවික, ශ්‍රාවක බෝධිසත්ත්වයෙක් පිළිසිඳ ගත්තේය. ඕ තොමෝ කිසියම් පාපකර්මයක් නිසා ‘සත්වසක් හා දස් දවසක් මූලගර්භ’ වූවාය.
එහි සත්තවස්සානි යනු සත් වසරය. අත්‍යන්තර සංයෝගයෙහි සප්තමී චනයි. ගබ්භං ධාරෙති ගැබ උසුලයි. ගර්භනී වූවා යන අදහසයි. සත් වසරක්. මූළගබ්භා යනු සත් වසරක් නොසන්සුන් ගැබ ඇත්තීය. ගැබ මෝරා දරුවා ලැබෙන කාලය කර්මජ වාතයෙන් සොලවා පෙරලා හරවන ලද්දේ, පා උඩට ගොස් ඔලුව පහලට වී යෝනි මුඛයෙහි කිසිතැනක නොලැගී, පිටතට නික්මෙයි. ප්‍රසූත නො කරන අවස්ථාවේ යෝනි මාර්ගය වසාගෙන, හරහට නොවීය. ස්වාභාවිකවම යෝනි මාර්ගය වැසේ. කර්මජ වාතයෙන් සුදුසු පරිදි ඔබ මොබ පෙරලීම වෙයි. එය ‘මූලගර්භය’යි කියති. ඇයටද මේ අයුරින් සත්දිනක් ‘විලිරුදාව’ විය.
මේ ගැබෙහි වූයේ සීවලී ස්ථවිරයෝය. ඇයට කෙසේනම් සත් වසක් ගැබ දැරීමේ දුක ද, සත්දවසක් විලිරුදා පැහැරීමේ දුක ද ඇතිවූ මේ මව සෝවාන් වූ ආර්යශ්‍රාවිකාවියකි. එසේ වූ ඇයට මේ දුක් ඇතිවීමේ හේතුව මෙසේ කියනු ලැබේ. පෙර බරණැස් නුවර කසී රජු රජකරන අවදියේ එක් කොසොල් රජකෙනෙක් මහත් බලසේනාවක් සමග ගොස් බරණැස් නුවර ගෙන ඒ රජු මරා ඔහුගේ අගමෙහෙසිය තමන්ගේ අගමෙහෙසිය බවට පත්කළාය. බරණැස් රජුගේ පුතා පියා මරණ කල්හි, කුරුබිල්දොරින් පලාගොස් තමන්ගේ නෑ මිත්‍ර හිතවතුන් එක්රැස්කොට අනුක්‍රමයෙන් බලසෙනග සංවිධානය කොට බරණැසට ඇවිත් නුදුරෙහි කඳවුරු බැඳ ‘රජය හෝ දෙව යුද්ධ හෝ කරව’ කියා ඒ රජුට හසුන්පත් යැවීය. රජ කුමරුගේ මව හස්න අසා යුද්ධයෙන් වැඩෙක් නැත. සියලු දිශාවන්ගෙන් ඇතුල්වීම වළක්වා බරණැස් නුවර වටකරව. ඉක්බිති දර, දිය, ආහාර නැතිවීමෙන් ක්ලාන්ත වන නුවරවැස්සෝ යුද්ධයෙන් තොරව රජු අල්ලාගෙන දක්වන්නේ යයි හසුන්පතක් යැවීය. හෙතෙම මවගේ අනුශාසනය අසා සතර මහවාසල් රකිමින් සත්වසක් නගරය වටකරගෙන සිටියේය. නුවර මිනිස්සු සුලු දොරවලින් නික්මී, දර ජලය ආහාර ගෙන සියලු කෘත්‍යයන් කරති.
ඉක්බිති රජකුමරුගේ මව මගේ පුතා බාලයෙකි. ඔහු උපාය නො දනී. යව, සත් දවසක් නගරයේ සියලු කුඩා දොරවල්ද වසා මුරකාවල් යොදවන්නැයි කියවයි පුතාට රහස් පණිවුඩයක් යැව්වාය. හෙතෙම මවගේ අනුශාසනය අසා එසේ කළේය. නගරයෙන් නික්මීමට නොලබන්නෝ, (කෑම් බීම් නැති වූ රටවැස්සෝ) සත්වෙනි දවසේ ඒ රජුගේ හිස කපා රජකුමරුට දුන්නාහ. කුමාරයා නුවරට පිවිස රාජ්‍යය භාරගත්තේය. ඔහු එදා සත්වසක් නගර දොරටු වසා තැබීමේ අකුසල කර්මයෙන් සත්වසක් ලෝකුඹු නරකය හා සමාන වූ මව්කුසෙහි විසීය. ඉතිරි හත්දවසක් කුඩා දොරටුද වසා තැබීමේ හේතුවෙන් විළිරුදාවෙන් වේදනා විඳීමට පැමිණියේය. සත් දවසක් නගරය අවහිර කර අල්ලා ගැනීමෙහි විපාක වශයෙන් ලෝකුඹු නිරයෙහි වාසය කර සත් දවසක් ගැබ් මුළා බවට පැමිණියේ යයි ජාතකට්ඨ කතාවෙහි කියන ලදි. යම් හෙයකින් හෙතෙම පදුමුත්තර සම්බුදු පාමුලදී “ලාභීන් අතර අග්‍ර වන්නෙම්” යයි ප්‍රාර්ථනය කළේද, යම් හෙයකින් විපස්සී බුදුරදුන්ගේ කාලයෙහි නුවරුන් සමග උක්සකුරු හා දීකිරි දී ප්‍රාර්ථනයක් කළේද ඒ අනුහසින් ලාභීන් අතර අග්‍ර වූයේය. සුප්පවාසා තොමෝද “දරුව නගරය අවහිර කර අල්ලා ගනුව” යි මෙහෙය වූ බැවින් අවුරුදු හතක් ගැබ පරිහරණය කර සත්දිනක් මුළා වූ ගැබ් ඇත්තී වූවාය. මෙසේ ඒ මවු පුත්‍ර දෙදනෙ තමාගේ ක්‍රියාවට අනුරූප වූ මෙවැනි දුක් වින්දාහුය.