යම් හෙයකින් මේ අර්ථයෙහිද ධර්මයෙහිද ස්වභාව නිරුක්තිය සමීපාර්ථ ව්යවහාරය ප්රකාශනය යන යමක් වේද ඒ ස්වභාවය නිරුක්තිය සමීපාර්ථ ව්යවහාරය හා ප්රකාශනයෙහිලා සියලු සත්ත්වයන්ගේ මුල් භාෂාව වූ මාගධියෙහි මේ ස්වභාවය නිරුක්තිය යැයි වෙන් වෙන් වූ ඤාණය නිරුත්ති පටිසම්භිදා ඤාණය වේ. යට කියන ලද ඒ ඤාණයන්හි අරමුණු කාර්ය වශයෙන් හෝ විස්තර වශයෙන් පැවති ඒ සියළුම ඤාණය අරමුණු කොට නැවත විමසා බලන්නහුට ඒ ඤාණයෙහිලා වෙන් වෙන් පරිදි වූ නුවණ පටිසම්භිදා ඤාණය වේ. මෙසේ මේ සිව් වැදෑරුම් පටිසම්භිදා ඤාණයන් භාග්යවතුන් වහන්සේ විසින් තෙමේම අවබෝධ කරගත්තේ වේ. අර්ථ ධර්ම ආදී වූ ඒ ඒ තමා විෂයෙහි නොගැලපීම් වශයෙන් හෝ නොවෙනස් ආකාරයෙන් පැවතීම් වශයෙන් සත්ය වූයේ වෙයි. නොවෙනස් වූයේ වෙයි. අන් අයුරක් නොවූයේ වෙයි. මෙසේද භාග්යවතුන් වහන්සේ තත් පරිදි ව ධර්මයන් අවබෝධ කළේනුයි තථාගත වේ.
එසේම ඤෙය්ය(දතයුතු) යයි යම් කිසිවක් වේද භාග්යවතුන් වහන්සේ විසින් ඒ සියල්ල දන්නා ලදි. දක්නා ලදි. අවබෝධ කරන ලදි. තෙමේම අවබෝධ කරගන්නා ලදි. ඒ එසේමැයි අවබෝධ කටයුතු ධර්මයෝ අවබෝධ කටයුතු ලෙස අවබෝධ කරන ලද්දාහ. පිරිසිඳ දතයුතු ධර්මයෝ පිරිසිඳ දතයුතු ලෙස ද ප්රහාණය කටයුතු ධර්මයෝ ප්රහාණය කළයුතු ලෙසද ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ප්රත්යක්ෂ කළයුතු ලෙසද වැඩිය යුතු ධර්මයෝ වැඩිය යුතු ලෙසද අවබෝධ කරන ලද්දාහ. යම්හෙයකින් උන්වහන්සේට කවර හෝ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්රහ්මයෙක් හෝ “මෙනම් වූ ඒ ධර්මයෝ අවබෝධ නොකරන ලදහයි” දැහැමිව (සෘජුව) අභියෝග කරන්නට සමර්ථයෙක් නැත.
යම් කිසිවක් ප්රහීණය කළ යුත්තේ නම් ඒ සියල්ල බෝධිමූලයෙහිදීම ප්රහාණය කරන ලදි. නොඋපදින ස්වභාවය ඇත්තේ වීය. උන්වහන්සේට ප්රහාණය කළ යුතු දේ ප්රහාණය කිරීම සඳහා මත්තෙහි කළ යුත්තක් නැත. ඒ එසේමැයි. උන්වහන්සේ විසින් ලෝභ-දෝස-මෝහ විපිළිසර මනස්කාරයන් - ලජ්ජා නැති බව බිය නැති බව කායික මානසික අලස බව (ථීන-මිද්ධ) ක්රෝධය බද්ධ වෛරය, මකු බව, අනුන්ගේ දොස් දැකීම ඊර්ෂ්යාව - මසුරු බව - මායාව - කපටි බව - තද බව එකටෙක කිරීම - මානය අතිමානය මදය - ප්රමාදය. ත්රිවිධ අකුසල මූලය. දුශ්චරිතය විසම සංඥාව කිළිටි සහගත විතර්කය. ප්රමාදයට හේතු වන කෙලෙස් සෙවීම. තෘෂ්ණාව. සිව් වැදෑරුම් විපරිත සෙවීම. ආශ්රවය ග්රන්ථය. ඕඝය. යෝගය. ගැටය තෘෂ්ණා උපාදානය. පස් වැදෑරුම් අභිනන්දනය නිවාරණය. චෛතසික හුල් සිතෙහි බැඳීම්. සවැදෑරුම් විවාද මූලයන්. සත් වැදෑරුම් අනුසයන් අටවැදෑරුම් මිථ්යා බව නව වැදෑරුම් ආඝාත වස්තූන් තෘෂ්ණා මූලයන් දස අකුසල කර්ම පථයන් එක් විසි අනේසනයන් දෙසැටක් දුෂ්ටීන් අටසියයක් තෘෂ්ණා විචරිත ආදී ප්රභේද ඇති එක්දහස් පන්සියයක් කෙලෙස් වාසනා ගුණයද සමග ප්රහාණය කරන ලදි. මුලිනුපුටන ලදි. නසන ලදි. යම්හෙයකින් උන්වහන්සේට කිසියම් ශ්රමණයෙක් හෝ -පෙ- බ්රාහ්මණයෙක් හෝ මෙනම් වූ ක්ලේශයෝ ප්රහාණය නොකරන ලද්දෝ යයි දැහැමිව (සෘජුව) අභියෝග කරන්නට සමර්ථයෙක් නම් නැත.
භාග්යවතුන් වහන්සේ විසින් යම් මේ කර්ම- විපාක- කෙලෙස් උපවාද- ආඥා විතර්ක ආදී ප්රභේදගත වූ යමක් වේද ඒවා සේවනය කිරීමෙන් ඒකාන්තයෙන් අන්තරාය පිණිස යෝග්ය වන්නේ යයි දේශනා කරන ලද ද යම්හෙයකින් කිසියම් ශ්රමණයෙක් හෝ -පෙ- බ්රහ්මයෙක් හෝ ඒවා ඇසුරු කිරීමෙන් ඒකාන්තයෙන් අන්තරාය පිණිස යෝග්ය නොවන්නේ යයි අභියෝග කරන්නට සමර්ථයෙක් නැත.
යම්සේ භාග්යවතුන් වනහන්සේ විසින් සාංසාරික දුක් මුළුමනින්ම දුරලීම සඳහා ආර්ය මාර්ගය පෙරටු කර ඇති සීල සමාධි ප්රඥාවන්ගේ සංග්රහයක් කොටස් වශයෙන් සතක් වූ සත්තිස් ප්රභේදගත වූ නෛර්යාණික ධර්මයක් දේශනා කරන ලදද ඒ ධර්මය ඒකාන්තයෙන්ම නෛර්යාණික මාර්ගයට පිළිපන්නහුට සසර දුකින් මිදීම පිණිස වේ. යම් හෙයකින් ඒ ධර්මය කිසියම් ශ්රමණයෙක් හෝ -පෙ- බ්රාහ්මණයෙක් හෝ නෛර්යාණික ධර්මයයි. දේශිත වූ එයට නෛර්යාණික නොවේයයි දැහැමිව (සෘජුව) අභියෝග කරන්නට සමර්ථයෙක් නැත. මෙය කියන ලද්දේමැයි “විශේෂ ඥානයෙන් සියල්ල අවබෝධ කළ සම්මා සම්බුදුරදුන් විසින් මෙම ධර්මයේ අවබෝධ කරන නොලද්දෝ යයි කිව නොහැක යනු විස්තරය වේ. මෙය මෙසේ යයි තමාගේ දැනීම ප්රහාණය කිරීම් දේශනා විශේෂයෙන් අව්යාජ ස්වභාවයෙන් අවබෝධ කිරීමෙන් නොවෙනස් ආකාරයෙන් පැවති භාග්යවතුන් වහන්සේගේ චතුර් වෛසාරද ඤාණයන් අව්යාජ වේ. වෙනස් වන්නේ නොවේ. මෙසේද තත් වූ ධර්මයන් අවබෝධ කෙරේනුයි භාග්යවතුන් වහන්සේ තථාගත වේ.
නිරය ගතිය, තිරිසන් ගතිය ප්රේත ගතිය මිනිස් ගතිය දේව ගතියයි ගති (උපදනා තැන්) පසෙකි. ඒවා අතර සංජීව ආදී වූ අටමහා නිරයෝය. කුක්කුල ආදී වූ උසස්ද නිරයෝය. ලෝකාන්තරික නිරයෝය මේ සියල්ලම ඒකාන්තයෙන් දුක් ඇති හෙයින් සැප රහිත අර්ථයෙන් නිරයෝ වෙති. මොහුගේ කර්මය යම් පරිදි ද එසේ යා යුතු හෙයින් “ගති” නම් වන්නේනුයි නිරය ගති වේ. අබ්බුද ආදී අසූවක් නරකයෝ ද මේවායෙහිම ලා ඇතුලත් වූවෝ වෙති. තිමි නම් මත්ස්යයෝ ද කුඩා ප්රාණීහුද උරග පක්ෂි බලු සිවල් ආදීහු හරහට ඇවිදින හෙයින් තිරිසන්නු නම් වෙති. බඩ සය පවස ඇත්තා වූ පරදත්තූපජීවි නිජ්ඣාම තණ්හිත ආදිහු දුක් බහුල බැවින් ප්රකට සුවයෙන් පහව ගියෝ බැහැර වූවෝ ප්රේතයෝ වෙති. එබඳු ස්වභාව ඇත්තේනුයි “ප්රේතගති” වේ. කාලකඤ්ජිකා ආදී වූ අසුරයෝද මෙහිලා ඇතුලත් වූවෝ වෙති. කුඩා දිවයින් වාසීන් සමග දඹදිව ආදී වූ සිව්මහා දිවයින් වැස්සෝ අපාධිගත වූවන් වඩා මනසින් උසස් හෙයින් මිනිස්සු නම් වෙති. එම ස්වභාව ඇත්තේනුයි මනුස්ස ගති වේ. චතුර්මහාරාජිකයෙහි පටන් නේවසඤ්ඤානාසඤ්ඤායතන ගාමින් දක්වා මොවුහු සූවිසි දිව්ය සමූහයෝ වෙති. තමාගේ සෘද්ධිමහිමයෙන් ක්රීඩා කෙරෙත් සෙල්ලම් කෙරෙත් බැබළෙත්නුයි “දේව” වෙති. එම ස්වභාවය ඇත්තේනුයි “දේවගති” වේ.
ඒ මේ ගතීහු යම් හෙයකින් ඒ ඒ කර්මයන්ගෙන් හටගත් උප්පත්ති භව විශේෂයක් වේද ඒ ඒ විපාක ස්කන්ධයන්ගෙන් කළ හෙයින් රූපී වේ. එහි මේ නම් වූ ගතිය මේ නම් වූ කර්මයෙන් හට ගනී. ඒ කර්මයාගේ විශේෂය හේතු විශේෂයන්ගෙන් මෙසේ යැයි විපාක වශයෙන් වෙන් වූ හෙයින් මේ ගතීන්හි මේ සත්වසමූහයෝ මෙසේ විපාක වශයෙන් වෙන් වූවාහුයයි. තමා පිළිබඳව මෙන් හේතු - ඵල - කොටස් පිරිසිඳීම් (සීමාකොට වෙන් කිරීම) වශයෙන් මුළුමනින්ම භාග්යවතුන් වහන්සේගේ ඤාණය පවතී. එහෙයින් භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ.