6. ගර්භිනී සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි අඤ්ඤතරස්ස පරිබ්බාජකස්ස එක් කෙළෙඹි පරිබ්රාජකයකුගේ දහරා තරුණී මාණවිකා බ්‍රාහ්මණ දියණියකට ව්‍යවහාර කරන නමකි. පජාපතී භාර්යාව, ගබ්භනී දරුවකු ලැබීමට ආසන්න ස්ත්‍රියක්. විජඤ්ඤා අද ද හෙටදැයි දරුවකු ලැබීමට ආසන්න කාලය වේ. මේ බමුණා වනාහි ශක්තිමත් රූපයකින් යුක්ත විය. එබැවින් බිරිඳක සමග වූ ඔහුට පරිව්‍රාජක වහරින් හඳුන්වති. ඔහුගේ භාර්යාවද බ්‍රාහ්මණ කුලයෙහි වූ ඔහුට බ්‍රාහ්මණයි අමතයි. තෙලං තල්තෙල්ය. තල් තෙල් මිශ්‍ර වූ යම් යම් ඖෂධ වර්ග දරුවකු වදන කල්හි ප්‍රසව වේදනාවට ප්‍රතිකාර වශයෙන් අවශ්‍ය බැවින් ඒ ගිතෙල් තල්තෙල් ආදිය ගෙන්වනු මැනවැයි නියම කරයි. යං මෙ විජාතාය භවිස්සති යම් තල තෙලක් මා දරුවකු ලබන කල්හි එය පහසුවීම සඳහා වන්නේය. පරිබ්බාජිකාය යි පාඨයක් ද ඇත. කුතො කවර තැනකින් යම් ගෙදරකින් හෝ මිත්‍ර ගෙදරකින් හෝ තෙල් ආදිය ගෙන එන්නෙම් නම් එබඳු තැනක් මට නැත. තෙලං ආහරාමි දැනට සමීපයෙහි ඇති තැනකින් තෙල් ගෙන එන්නෙමි. ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ගිතෙල් හා තලතෙල් කැමති තාක් බොන්නට දෙනු ලැබේ. නො නහරිතුං භාජනයකින් හෝ අතින් බැහැර ගෙන යන්නට දෙනු නොලැබේ. උග්ගරිත්වා වමනය කොට හෝ දෙන්නෙම් නම් යෙහෙකැයි සිතුවේය. ඔහුට මෙසේ අදහසක් ඇතිවිය. මම රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් ඒ තෙල් කැමති තාක් බී එකෙණෙහිම ගෙදර පැමිණ එක් බඳුනක් තබා එහි වමනය කොට උදුනක් සකස් කොට ඒ තෙල් පිත හා සෙම නිසා අපවිත්‍ර වී ඇත්නම් ගින්නෙන් ඒවා පුලුස්සා දමමි.
උද්ධං කාතුං වමන වශයෙන් බැහැර කරන්නට, න පන අධොවා ති විරේක වශයෙන් බැහැර කරන්නට නො හැකි වෙයි. හෙතෙම අධික වූ පිත තමන්ට මුඛයෙන් ඉවත් කිරීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වී විරේක කිරීමෙන්ද පහ කිරීමට අසමත් වූ බැවින් හුදෙක්ම දුක් වේදනාවන්ගෙන් පෙළෙයි. ඔබමොබ පෙරළෙයි. දුක්ඛාහි දුක් ඇත්තහු විසින් තිප්පාහි තියුණු, කක්ඛලාහි කර්කශ කටුකාහි අතිශයින් දරුණු වූ ආවට්ටතීති එකම තැනෙක නොසිට තමන්ගේ ශරීරය ඔබ මොබ පෙරළෙයි. පරිවට්ටතීති හාත්පස පෙරළෙයි.
එතමත්ථං විදිත්වා මේ කරුණු සියලු අයුරින් දැන මේ උදානය පහළ කළ සේක.
එහි සුඛිනොවත ඒකාන්තයෙන් සැපවත් වූ සත්පුරුෂයෝය. ඔවුහු කවරහුද? යෙ අකිඤ්චනා යම් කෙනෙක් රාගාදී කෙලෙස් නැත්තෝ ද ඔවුහු අකිඤ්චන නම් වෙති. වෙදගුනො හි ජනා අකිඤ්චනා යම් කෙනෙක් ආර්යමාර්ග සංඛ්‍යාත වූ වේදය අවබෝධ කළ බැවින් නිවනට පැමිණියහ. වේදගූ නම් ඒ ආර්යයෝ ක්ෂීණාශ්රව පුද්ගලයෝය. අප්‍රමාණ රාගාදී කෙලෙසුන් අග්‍ර වූ අර්හත් මාර්ගයෙන් විනාශ කළ බැවින් අකිඤ්චනා නම් වෙති. රාගාදී කෙලෙස් නැති කල්හි අල්වා ගැනීම් වශයෙන් කෙලෙස් හටගන්නේද? මෙසේ ගාථාවෙහි මුල් කොටසින් රහත් බව ප්‍රශංසා කොට පසුකොටසින් අන්ධ (බාල) පෘථග්ජනයන් නින්දාවට ලක් කරමින් ‘සකිඤ්චනං පස්සාති’ ආදිය ප්‍රකාශ කළහ. එය පෙර සූත්‍රයෙහි කී පරිදිම මෙසේ මේ ගාථාවෙන්ද සසර දුක හා නිවන කියන ලද්දේය.
සවැනි සූත්‍ර වර්ණනාව යි.
7. ඒකපුත්‍ර සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි එකපුත්තො යනු එකම පුත්‍රයෙකි. ඔහු ද අනුකම්පාව ලැබිය යුතු වූ එකම පුත්‍රයෙකි. ප්‍රියකළ යුතු බැවින් පියො නම් වේ. සිත සතුටු කළ නිසා මනාප නම් වේ. ශරීර ශෝභාවෙන් දැකුම්කළු බවින් හෝ දර්ශනීය බවින් පියො නම් වේ. සීලාචාර පැවැත්මෙන් හා කලණ දහම් ඇති බැවින් මනාපො නම් වේ. කාලය ගෙවෙන බැවින් කාලය නමි. මරණයයි. ඒ මරණයට පැමිණි බැවින් කාලංකතො කාලය නමැති මාරයා විසින් ග්‍රහණයට ගත් බැවින් නටුයේ නොදැකීමට පැමිණියේ කලංකතො කළුරිය කළේය. මළේය යන අර්ථයි.