4. සත්කාර සූත්‍ර වර්ණනාව
සිව්වෙනි සූත්‍රයෙහි තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති යනු කල්ප ලක්‍ෂයකට පෙර සතර අසංඛෙය්‍ය තුල පුරන ලද පුණ්‍යසම්භාර ධර්ම නිසා ලද විපාක හේතුවෙන් මෙයින් මතු මට අවසරයක් නැතැයි වැඩි වැඩියෙන් උපන් සත්කාර ආදියෙන් භාග්‍යවතුන් වහන්සේ පුදන ලද්දාහ. සියලු දිසාවන්හිම මහා වර්ෂා දෙකක් ඇතිවී මහා ගංවතුරක් මෙන් සියලු පාරමී ධර්ම එකම ආත්මභාවයක දක්වන්නෙමුයි එක්වුනාක් මෙන් භාග්‍යවතුන් වහන්සේට ලාභසත්කාර මහා ගංවතුරක් පහළ විය. ඉක්බිති ආහාරපාන වස්ත්‍ර යාන වාහන, මල් ගඳවිලවුන් ආදිය ගත් ඇති ක්‍ෂත්‍රියයෝ ‘බුදුරජාණන් වහන්සේ කොහිද? භාග්‍යවතුන් වහන්සේ කොහිද? දේව දේවයන් වහන්සේ කොහිද? ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා කොහිද? පුරුෂ සිංහයා කොහිද? යි භාග්‍යවතුන් වහන්සේ සොයති. ගැල් සියයකින් සිවුපසය ගෙනවුත් බුදුන් හමුවීමට ඉඩක් නොලබමින් හාත්පස ගව්වක් පමණ එකට වැටී සිටිති. සමහරෙක් අනුව යති. ඒ සියල්ල ඛන්‍ධක ග්‍රන්ථයෙහි ඒ ඒ සූත්‍රවල සඳහන් වන පරිදි දතයුතුයි.
යථාච ඛො චුන්‍ද එතරහි සංඝා වා ගණාවා ලොකෙ උප්පන්නා නාහං චුන්‍ද එතරහි අඤ්ඤං එකසංඝ සමනුපස්සාමි එවං ලාභග්ගයසග්ගප්පත්තා යථරිව චුන්‍ද භික්ඛසංඝො යි දේශනා පරිදි
භාග්‍යවතුන් වහන්සේට හා භික්‍ෂු සංඝයාට උපන් ඒ මේ ලාභසත්කාරය එකතු වී මහා ගංගා දෙකක මහා ජලකඳ දෙකක් මෙන් අප්‍රමාණ විය. එහෙයින් කියන ලදි. තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති -පෙ- පරික්ඛාරානං භික්ඛුසංඝොපි සක්කතො -පෙ- පරික්ඛාරානං යි කී පරිදි
තීර්ථකයෝ වනාහි පූර්වයෙහි පින් නොකළ බැවින් ද, දුෂ්ප්‍රතිපත්ති නිසාද, සකස් නොවූවෝ ගරු බුහුමන් නොලැබුවෝ බුද්ධෝත්පාදයෙන් පසු ලාභයන්ගෙන් පිරිහුනෝ හිරු උදාවෙන් පසු කණාමැදිරියන් මෙන් ආලෝකයක් නැතිව, තේජසක් නැතිව, පිරිහුනු ලාභසත්කාර ඇත්තෝ වූහ. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට හා සංඝයාට ලැබුණු එබඳු ලාභසත්කාර නො ඉවසමින් ඊර්ෂ්‍යාවට පත්වූ ඔවුහු මෙසේ ඵරුසවචනයෙන් බැණ පලවා හරින්නෙමුයි උසුලු විසුලු පාමින් ඒ ඒ තැන භික්‍ෂූන්ට ආක්‍රොෂ පරිභව කරමින් හැසුරුනෝය. එහෙයින් කියන ලදි. අඤ්ඤතිත්‍ථියා පන පරිබ්බාජකා භගවතො සක්කාරං අසහමානා භික්ඛුසංඝස්ස ගාමෙ ච අරඤ්ඤෙ ච භික්ඛු දිසා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්තීති
එහි අසබ්භාහි යනු සභාවට නුසුදුසු වූ, සභාවෙහි යහපත් ජනයා අතර කියන්නට නුසුදුසු නොමනා වචනයෝය. ඵරුසාහි යනු කර්කශ ලෝභ සහගත වචනයෝය. අක්කොසන්ති ජාති ආදී දස ආක්‍රෝශ වස්තුවෙන් ගටා බනිත්. පරිභාසන්ති කෝලාහල කිරීම් වශයෙන් බිය උපදවමින් තර්ජනය කරති. රොසෙන්ති අනුන්ගේ දෝෂයක් වේ නම් එය නැවත නැවත මතුකරමින් කතා කරති. විහෙසෙන්ති වෙහෙසට පත් කරවති. නොයෙක් ආකාරයෙන් අපහසුවට පත් කරති.
කුමක් නිසා මොවුහු සියලු දෙනාගේ ම පැහැදීම ඇති භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හා භික්‍ෂු සංඝයා කෙරෙහි වෛර කෙරෙමින් ආක්‍රොශ ආදියෙන් දොස් කීවෝ ද? භාග්‍යවතුන් වහන්සේට ලැබෙන ප්‍රණීත ලාභසත්කාර නිසා පලුදු කරගත් සිත් ඇත්තෝ පොළොව සාරමින් වෙහෙසෙන්නාක් මෙන්, පලුද්දක් නැති වජ්‍රමාණික්‍යයෙහි පලුද්දක් උපදවන්නාක් මෙන් සුන්දරිකා නම් පරිබ්‍රාජිකාවක් කැඳවා ඇය ලවා ශාස්තෲන් වහන්සේ ගේ හා භික්‍ෂූන්ගේ නුගුණ කියවා ආක්‍රොෂ ආදිය සිදුකළහ. එම සුන්දරිකා කතාව පසුව සුන්දරිකා සූත්‍රයෙහි සඳහන් වේ. එබැවින් මෙහි ලා යමක් කිය යුතු නම් එය එහිදීම වර්ණනා කරන්නෙමු.
භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ඒ පුවත සැළ කළහ. එහෙයින් කියන ලදි. අථඛො සම්බහුලා භික්ඛු යෙන භගවා තෙනුපසංකමිංසු -පෙ- විහෙසෙන්තීති. එහි අර්ථය කලින් කියන ලද්දේය.
එතමත්‍ථං විදිත්‍වා මෙම ඊර්ෂයාවෙන් පෙළුණු තීර්ථකයන්ගේ නොමනා පැවැත්ම සියලු ආකාරයෙන් දැන, ඉමං උදානං ඊර්ෂ්‍යාවෙන් පෙළුණු ඒ තීර්ථකයන්ගේ විප්‍රකාර කෙරෙහි ප්‍රසන්න සිතින්ද, අනුන් විසින් කළ පුද පූජාවන්ගේ අනුභාවයෙන් ද ප්‍රකාශ කිරීම සඳහා මේ උදානය ප්‍රකාශ කළ සේක.
තත්‍ථ ගාමෙ අරඤ්ඤෙ සුඛදුක්ඛ පුට්ඨොති ගමෙහි හෝ වනයෙහි හෝ යම්කිසි සැපයකින් හෝ දුකකින් පෝෂිතව සැපදුක් අනුභව කරන්නවුන්ගේ සිවුපසයෙන් යුක්ත වූ නෙවත්තතො නො පරතො දහෙත මම සැපවත් වෙමි. මම දුක්ඛිත වමෙි. මාගේ සැපය, මාගේ දුකය, අන්‍යයා විසින්ද මට සුවදුක් උපදවන ලද්දේය. ඒ සුවදුක් තමන්ටද නැත. අනුන්ටද නැත. කුමක් නිසාද? මේ පංචස්කන්ධයෙහි මම ය කියා හෝ මාගේ ය කියා හෝ අනුන්ගේ කියා හෝ කිසිම දැකිය යුත්තක් නැත. හුදෙක් සංස්කාරයෝම හේතූන් පරිදි ඉපදී ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා විනාශ වෙති. මෙහි දේශනාවට හේතුව සැපදුක් ග්‍රහණයි. සියලු ලෝකධර්මයට අනුව අර්ථය දතයුතුයි.