2. රාජ සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයෙහි සම්බහුලානං යනු විනය පිටකයට අනුව තුන්දෙනෙක් සම්බහුලා යි කියති. එයින් මතු සංඝ නම් වේ. සූත්‍රාන්ත දේශනාව අනුවද තුන්දෙනෙක්මයි කියති. මෙහි සූත්‍රාන්ත පරියාය වශයෙන් සම්බහුල යි කියති. උපට්ඨාන සාලායං ධර්මසභා මණ්ඩපයෙහි ධර්මදේශනාව පිණිස වැඩමවූ තථාගතයන් වහන්සේට භික්‍ෂූන් විසින් උපස්ථාන කරන ස්ථානය බැවින් උපට්ඨානසාලාය යි කියනු ලැබේ. තවද යම් ස්ථානයක භික්‍ෂූහු විනය විභාග කරත් ද, ධර්මය දේශනා කරත්ද, සාකච්ඡා පවත්වත් ද, නොයෙක් ආකාරයෙන් රැස්වෙත්ද, එම සාලාව ද මණ්ඩපයද උපට්ඨාන සාලාව යි කියනු ලැබේ. එහෙත් බුද්ධාසනය නිබඳවම පනවන ලද්දේය. මෙය බුදුරදුන් ජීවමාන කාලයෙහි භික්‍ෂූන්ගේ චාරිත්‍රයක් විය. සන්නිසින්නාතං හිඳීම සඳහා පැමිණි අයට, සන්නිපතිතානං ඒ ඒ ස්ථානවලින් පැමිණි පිරිසට, හෙවත් බුද්ධාසනය ඉදිරියෙන් තබා බුදුරදුන් හමුවෙහි මෙන් ආදර ගෞරවයෙන් යුක්තව සකස්ව රැස්ව සිටි අයට, අයං යනු මේ කාලය ප්‍රකාශ කරයි. අන්තරාකථා යනු කමටහන් සිහිකිරීම, අවවාද කිරීම, ප්‍රකට කිරීම් ආදි කථාවන්ගෙන් එක්තරා කථාවක්.
ඉමෙසං වින්නං රාජුනං වෙන්කර දැක්වීමේ සම්බන්ධ විභක්තියයි. මහද්ධන්තරොවා පොළො සාරා ලැබුනු සප්තරතන සංඛ්‍යාත මහා ධනය මොහුට ඇති බැවින් මහද්ධන නම් විය. ධනවතුන් දෙදෙනෙකු අතර මෙතෙම බෙහෙවින් මහත්ධන ඇති බැවින් මහද්ධන නම් විය. නිබඳව වියදම් කිරීම සඳහා මොහුට බොහෝ වස්තුව ඇති බැවින් මහාභොග නම් විය. දිනපතා ලැබෙන විශාල ආදායමක් ඇති බැවින් මහාකොස නම් විය. වජ්‍ර, මහානීල, ඉන්‍ද්‍රනීල, මරකත, වෛදූර්ය, පද්මරාග, පුෂ්පරාග, කක්කෙත්ත, ඵුලාක, විමල, ලොහතක්ඛ, එළික, පබළු, ජෝතිරංග, ගොමුත්තක, ගොමෙදක, සෞගන්‍ධික, මුතු, සංඛ, අඤ්ජනමූල, රාජවට්ට, අමතංසුක, ප්‍රියක, බ්‍රහ්මමණීයි සූවිස්සක් රත්නයෝ වර්ණ නම් වෙති. සත්වැදෑරුම් ලෝහවලින් තැනූ කහවනු සාරා නම් වේ. ඇඳ ඇතිරිලි පාපිසි ආදිය වෙග්ගු නම් වේ. සඳුන් අගරු කොකුම්, තුවරලා, කපුරු ආදිය ගුම්බා නම් වේ. එහි මුලින් දැක්වූ ආදී ශබ්දයෙන් හැල්වී මුං මෑ ආදී පූර්වදිග දේශයෙහි හා අවරදිග දේශයෙහි ධාන්‍යවර්ග ආදිකොට සත්ත්වයන්ගේ උපභෝග පරිභෝග වස්තු වේ නම් ඒ සියල්ල ඇතුලත් වේ. දිනන ලද රාජධානි ඇති බැවින් මහාවිජිත නම් වේ. මහත් වූ ඇත් අස් වාහන ඇති බැවින් ද මහාවිජිත නම් වේ. මහත් වූ සේනාබලය ඇති බැවින් මහාබල නම් වේ. තමන් කැමති දේ ලබාගැනීම නමැති පූර්ව පුණ්‍යකර්ම සම්පත්තිය ඇති බැවින් මහිද්ධික නම් වේ.
දානාදි සතර සංග්‍රහ වස්තුවෙන් ජනතාව සතුටු කෙරේනුයි රාජා නම් වේ. මගධ රාජ්‍යයට අධිපති වූයේ මාගධ නම් මහත් වූ සේනාවන්ගෙන් යුක්ත වූ බැවින් ද සෝනිය ගෝත්‍ර ඇති බැවින්ද සේනියෝ නමි. බිම්බි නම් රත්රන් ය. රන්වන් පාට ඇති බැවින් බිම්බිසාර නම් වේ. සමහරු මේ නාමය රජුට පමණක් යෙදේයයි කියති. පසමිතුරු සේනාවන් ජයගත් බැවින් පසේනදි නම් වේ. කොසොල් රටට අධිපති වූයේ කෝසල නම් විප්පකතා යනු අවසන් නොකළ කථාය. ඒ භික්‍ෂූන්ගේ අනතුරු කථාවක් දක්වන ලදය.
සායණ්හ සමයං, සවස එක් වේලාවක, පටිසල්ලානාවුට්ඨිතො ඒ ඒ රූපාදී අරමුණුවලින් සිත ආරක්ෂා කරගැනීම සඳහා පටිසල්ලානයි කියන ලද කාය, චිත්ත විවේකයෙන් නැගී සිටියේය. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු භික්‍ෂු සංඝයා සමග සැවැත්නුවර වැඩමවා පහසුවෙන් ලද පිණ්ඩපාතය භික්‍ෂූන් සමග වළඳා, භික්‍ෂූන් සමග සැවැත්නුවරින් නික්ම විහාරයට පිවිස ගන්‍ධකුටියේ ඉදිරියෙහි සිට වත්පිළිවෙත් කළ භික්‍ෂූන්ට සුදුසු පරිදි අවවාද දී ඔවුන් අරණ්‍ය වෘක්‍ෂමූලයන්හි දහවල් කාලය ගත කිරීමට ගියපසු ගන්‍ධකුටියට වැඩමවා ඵලසමවත් සුවයෙන් දහවල් කාලය ගතකොට සුදුසු කල්හි සමවතින් නැගිට ‘මාගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් මුලුමහත් විහාරය පුරා දැන් මාගේ ධර්මදේශනාවට සවන්දීම පිණිස සිටින බැවින් ධර්මසභා මණ්ඩලයට යාමට රන් ගුහාවකින් නික්මෙන කේසර සිංහරාජයකු මෙන් හා උතුම් ගඳකිළියෙන් නික්ම රංචුව වෙත යන උතුම් ඇත් රජකු මෙන්ද, මනෝඥ වික්‍රම ගමන් ඇත්තේ අසූවක් කුඩා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් හා මහාපුරුෂ ලක්‍ෂණ දෙතිසකින් බබලමින්, ව්‍යාමප්‍රභාවෙන් හාත්පස අලංකාර කරමින්, අලංකාර කේතුමාලාවෙන් බබලමින්, නීල, පීත, ලෝහිත, ඕදාත, මාඤ්ජෙෂ්ඨ, ප්‍රභාෂ්වර වශයෙන් ෂඩ්වර්ණ බුදුරැස් විහිදුවමින්, සිතිය නොහැකි ආනුභාවයෙන්, උපමා රහිත බුද්ධලීලාවෙන් යුක්තව, රූපකාය සම්පත්තියෙන් සියලු විහාරය ඒකාලෝක කොට උපස්ථාන ශාලාවට වැඩි සේක. එහෙයින් කියන ලදි. අථඛො භගවා -පෙ- තෙනුපසංකමි යි.