ගුත්තා ථේරීගාථා වර්ණනාව
ගුත්තෙ යදත්ථං පබ්බජ්ජා ආදී ගාථා ගුත්තා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරන ලද, අධිකාර ඇත්තී ඒ ඒ භවයෙහිදී කුසල් රැස්කරන්නී අනුක්රමයෙන් උපයාගත් විමෝක්ෂදායී කුසල් සමූහය නිසා මුහුකළ කුසල්මුල් හේතුකොට සුගතීන්හිම සැරිසරා මේ බුදුපතෙහි සැවැත් නුවර බමුණු කුලයක ඉපිද ගුත්තා යන නමින් ප්රසිද්ධ වුවාය. දැන ඉගෙනගත් පසු ඇයගේ උපනිස සැපත් විසින් මෙහෙයවනු ලැබුවා ගිහිගෙය පිළිකුල් කරන්නී මවුපියන්ගේ අනුමැතිය ලබා මහා ප්රජාපතී ගෞතමී තෙරණිය සමීපයෙහි පැවිදි වූවාය. පැවිද්ද ලබා විදසුන්හි පිහිටා භාවනාවෙහි යෙදෙන්නී බොහෝ කලක සිට සිත පුරුදු පුහුණු කරන්නී බාහිර අරමුණු කෙරෙහි දුවන හෙයින් එකඟබවට නොපැමිණෙයි. බුදුහු එය දැක ඇයට අනුග්රහ කරමින් ගඳකිළියෙහිම හුන්නාහු ආලෝකයක් විහිදුවා ඇයගේ සමීපයෙහි අහසෙහි වැඩසිටියාක් මෙන් තමා දක්වා මෙසේ අවවාද කළ සේක:
ගුත්තෙ යදත්ථං පබ්බජ්ජා හිත්වා පුත්තං වසුං පියං,
තමෙව අනුබ්රෑහෙහි මා චිත්තස්ස වසං ගමි
තමෙව අනුබ්රෑහෙහි මා චිත්තස්ස වසං ගමි
චිත්තෙන වඤ්චිතා සත්තා මාරස්ස විසයෙ රතා,
අනෙකජාතිසංසාරං සන්ධාවන්ති අවිද්දසු
අනෙකජාතිසංසාරං සන්ධාවන්ති අවිද්දසු
කාමච්ඡන්දඤ්ච ව්යාපාදං සක්කාය දිට්ඨිමෙවච,
සීලබ්බතපරාමාසං විචිකිච්ඡඤ්ච පඤ්චමං
සීලබ්බතපරාමාසං විචිකිච්ඡඤ්ච පඤ්චමං
සඤ්ඤොජනානි එතානි පජහිත්වාන භික්ඛුනී,
ඔරංභාගමනීයානි නයිදං පුනරෙහිසි
ඔරංභාගමනීයානි නයිදං පුනරෙහිසි
රාගං මනං අවිජ්ජඤ්ච උද්ධච්චං ච විවජ්ජිය,
සඤ්ඤොජනානි ජෙත්වාන දුක්ඛස්සන්තං කරිස්සසි
සඤ්ඤොජනානි ජෙත්වාන දුක්ඛස්සන්තං කරිස්සසි
ඛෙපෙත්වා ජාතිසංසාරං පරිඤ්ඤාය පුනබ්භවං,
දිට්ඨෙවධම්මෙ නිච්ඡාතා උපසන්තා චරිස්සසී
දිට්ඨෙවධම්මෙ නිච්ඡාතා උපසන්තා චරිස්සසී
ගුත්තා, යම් අරමුණක් සඳහා දරුවන් හා ධනය අත්හැර ගොස් පැවිදිවී ද එය සිහිකරන, සිතට වසඟ නොවන්න.
සිත විසින් වසඟ කරනු ලැබූ සත්ත්වයෝ මාරයාගේ විෂයෙහි ඇළුණෝ වෙති. ඒ බව නොදැන සත්ත්වයෝ නොයෙක් ආත්මභාවයන්හි දුව ඇවිදිති.
කම්සුවයෙහි ආශාව, ක්රෝධය, සක්කායදෘෂ්ටිය, නිරර්ථක සිල් හා ශික්ෂාපදවල යෙදීම, පස්වැනිව සැකය. මේ කියන යටිතලවලට පමුණුවන සංයෝජනයන් අත්හැර පුනරුත්පත්තියට නොපැමිණෙන්න.
රාගය මානය අවිද්යාව උඩඟු බව යන මේ සංයෝජනයන් දුරුකර දුක් කෙළවර කරන්නෙහිය.
සසර ඉපදීම නිමකොට පුනර්භවය අවබෝධ කරගෙන මේ අත්බැව්හිදීම තණ්හාව නැතිකර සන්සුන්ව වෙසෙන්න.
එහි තමෙව අනුබ්රෑහෙහි - යමෙකුගේ කෙලෙස් හා ස්කන්ධයන් නිවා දැමීම මෙයින් අදහස් කෙරේ. හිත්වා පුත්තං වසුං පියං - ආදරය කටයුතු නෑ සමූහයා හා භෝගරාසිය අත්හැර මගේ සසුනෙහි, පබ්බජ්ජා - බඔසර දිවියටම කැමතිවෙමින් එයම වඩව. සම්පූර්ණ කරව. මා චිත්තස්ස වසං ගමි දිග කෙටි ආදී අරමුණු වශයෙන් වඩනාලද රැවටිලිකාර සිතට වසඟ නොවන්න.
මායාවකට උපමාවන මේ සිත විසින් රවටනු ලබන අන්ධ පෘථග්ජනයා මාරයාගේ වසඟයට යන්නේ සසර හැරදමා පෙරළා නොඑති. එහෙයින් ‘චිත්තෙන චඤ්චිතා’ යනුවෙන් කීහ.
සඤ්ඤොජනානි එතානි ‘කම්සුවයෙහි ඇලීම, ක්රෝධය’ ආදී වශයෙන් සඳහන්කළ බැඳීම් අර්ථයෙන් සංයෝජන නමින් හැඳින්වෙන කෙලෙස්ය, පජහිත්වාන - අනාගාමි මාර්ගයෙන් සහමුලින් සිඳ, භික්ඛුනී - ඇය ඇමතු අයුරුය. ඔරංභාගමනීයානී රූපාරූපධාතුවලින් යටකොටසෙහි කාමධාතුවට අයත් මිනිස් දිවියට හිතකර වූ, උපකාර වූ, එහි ප්රතිසන්ධියට හේතුවන බැවින් ‘ම’ යන සන්ධිය යෙදී තිබේ. ‘ඔරමාගමනීයානි’ යනු පෙරවදනය තේරුම ද එයමය. නයිදං පුනරෙහීසි - පහළ ලෝකධාතුවල උපත ඇතිකරවන්නා වූ සංයෝජනයන් දුරුකිරීමෙන් ප්රතිසන්ධි වශයෙන් මේ කාමභවයට නැවත නොපැමිණෙන්නෙහිය. රකාර පදසන්ධිය සඳහා වූ අකුරුය. ඉත්ථං යනු පෙළෙහි දැක්වෙන පාඨයයි. මෙලොවට අයත් කාමභවය යනු තේරුමය.
රාගං, රූපාරාගය හා අරූප රාගයයි මානං, අගමගට බාධක වූ මානයයි. අවිජ්ජං උද්ධච්චං - මෙහි එම ක්රමයමය. විවජ්ජීය - විදර්ශනාවෙන් යටපත්කොට සඤ්ඤොජනානි ජෙත්වාන - මෙකී රූපරාගාදී උපරි ලෝකධාතුවලට පමුණුවන්නා වූ සංයෝජනයන් අර්හත් මාර්ගයෙන් සිඳදමා දුක්ඛස්සන්තං කරිස්සසි - සියලු සසරදුක් අවසානයට පමුණුවන්නෙහි.