විජයා ථේරීගාථා වර්ණනාව
චතුක්‍ඛත්තුං ආදිය විජයා තෙරණියගේ ගාථාය. මොතොමෝ පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍යය ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කර ක්‍රමයෙන් වඩාගත් කුසල්මුල් ඇතිව දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී මෙම බුදුපතෙහි රජගහ නුවර එක්තරා කුලගෙයක ඉපිද ඛේමා තෙරණියගේ ගිහිකාලයෙහි සහායිකාවක් වූවාය. ඕතොමෝ ඇය පැවිදිවූ බව අසා ‘රජමෙහෙසියක වූ ඕතොමෝ ද පැවිදිවෙයි, ඒ එසේ නම් මාවැන්නෙකු ගැන කවර කතාද?’ ඒ අනුව පැවිදිවනු කැමැති වූ ඕතොමෝ ඛේමා තෙරණිය සමීපයට එළඹියාය. තෙරණියෝ ඇයගේ අදහස දැන යම්සේ සසර කලකිරීමෙන් සසුනෙහි පහදී ද ඒ අයුරින් ඇයට ධර්‍මයක් දේශනා කළාය. ඕන්තොමෝ ඒ බණ අසා සංවේගයට පැමිණ ලැබූ සැදැහැ ඇත්තී පැවිද්ද ඉල්වූවාය. තෙරණියෝ ඇය පැවිදිකළහ. ඕතොමෝ පැවිදිව කරන ලද පෙර කිස ඇත්තී විදසුන් වඩා හේතුසම්පත් ඇති බැවින් නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත දෙස ආපසු බලා මෙසේ උදන් ඇනුවාය:
චතුක්‍ඛත්තුං පඤ්චක්‍ඛත්තුං විහාරා උපනික්‍ඛමිං,
අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී
භික්‍ඛුනං උපසංකම්ම සක්කච්චං පරිපුච්ඡහං,
සා මෙ ධම්මමදෙසෙසි ධාතු ආයතනානි ච
චත්තාරි අරියසච්චානි ඉන්‍ද්‍රියානි බලානිච,
බොජ්ඣංගට්ඨංගිකං මග්ගං උත්තමත්‍ථස්ස පත්තියා
තස්සාහං වචනං සුත්‍වා කරොන්ති අනුසාසනිං,
රත්තියා පුරිමෙ යාමෙ පුබ්බජාතිමනුස්සරිං
රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්‍ඛුං විසොධයිං,
රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්‍ඛන්‍ධං පදාලයිං
පීතිසුඛෙන ච කායං ඵරිත්‍වා විහරිං තදා,
සත්තමියා පාදෙ පසාරෙසිං තමොක්‍ඛන්‍ධං පදාලිය
සිත වසඟ කරගැනීමට නොහැකිව, සිතෙහි සන්සුන් බව නොලැබ සිවුවරක් පස්වසරක් විහාරයෙන් නික්ම ගියෙමි.
භික්‍ෂුණිය වෙත එළඹ මැනවින් පිළිවිසීමි. ඕතොමෝ මට ධාතු ආයතනාදිය පිළිබඳ ධර්‍මයක් දේශනා කළාය.
නිවන් අවබෝධ කරගනු පිණිස ඕතොමෝ චතුරාර්‍ය සත්‍යය. ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣංග හා ආර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය පැහැදිලිකර දුන්නාය.
මම ඇයගේ ධර්‍මය අසා ඒ අනුශාසනාව පිළිපදිමින් පෙරයමෙහි පෙර විසූ අත්බැව් සිහිකළෙමි.
රෑ මැදයම දිවැස පිරිසිදුකළෙමි, රෑ පසුයම අදුරුකඳ බිඳහෙළමි.
එවිට මුලු සිරුර ප්‍රීතිසුඛයෙන් පුරවා විසීමි. සත්වන දින අඳුරු කඳ බිඳ දමා පා දිගහැරීමි.
එහි භික්‍ඛුනී - ඛේමා තෙරණිය උදෙසා කියන ලදී. බොජ්ඣංගට්ඨංගිකං මග්ගං - සප්ත බොධ්‍යංග, අෂ්ටාංගික ආර්‍යමාර්ගය, උත්තමත්‍ථස්ස පත්තියා - රහත් මග නැතහොත් නිවන් මග බලාගනු පිණිස,
පීතිසුඛෙන - පලසමවත් ලැබීමේ ප්‍රීතිසුඛයෙන්, කායං - එය සම්බන්ධ වූ ශරීරය, ඒ අනුව ගැනෙන රූපකාය ඵරිත්‍වා - පතුරුවා, ව්‍යාප්ත කරවා සත්තමියා පාදෙ පසාරෙසිං - විදසුන් වැඩීමට පටන්ගත් සිට සත්වන දින දවස බැඳ සිටි පලඟ බිඳ පා දික්කළෙමි. කෙසේද? තමොක්‍ඛන්‍ධං පදාලිය - එයට පෙර කිසි දිනෙක නොබිඳි ගනඳුර, මෝහය අග්‍රමාර්‍ගඥානය නමැති කඩුවෙන් බිඳහෙළා, විනාශකර යන තේරුමය. සෙස්ස පෙර කියනලද පරිදිමය.
වීජයා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
සයවන නිපාත වර්‍ණනාව සමාප්තය.
7. සත්තක නිපාතය
උත්තරා ථේරීගාථා වර්ණනාව
සත්වන නිපාතයෙහි මුසලානි ගහෙත්‍වාන යන මෙය උත්තරා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකායර්‍ය ඇත්තී ඒ ඒ භවයන්හි පින් රැස් කරමින් ක්‍රමයෙන් වඩන ලද කුසල් මුල් ඇතිව එක්තැන් කළ විමුක්ති ධර්‍මයන්ගෙන් සමන්විතව මේ බුද්ධෝත්පාදයෙහි සැවැත් නුවර එක්තරා කුලගෙයක ඉපිද උත්තරා යන නම් ලබා ක්‍රමයෙන් දැන ඉගෙනගෙන පටාචාරා තෙරණිය වෙත ගියාය. තෙරණිය ඇයට ධර්‍මය දේශනා කළාය. ඕතොමෝ ඒ බණ අසා සසරෙහි උපන් සංවේගය ඇත්තී සසුනෙහි පැහැදී මහණ වූවාය. ඕතොමෝ පූර්‍වකෘත්‍ය නිමකර පටාචාරා තෙරණිය සමීපයෙහි විදසුන් පිහිටුවා භාවනාවෙහි යෙදෙන්නී උපනිශ්‍රය සම්පත් ඇති බැවින් ද ඉඳුරන් මුහුකුරා ගොස් තිබුණු හෙයින්ද නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත පිරික්සා බලමින් මෙසේ උදන් ඇනුවාය:
මුසලානි ගහෙත්‍වාන ධඤ්ඤං කොට්ටෙන්ති මානවා,
පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා
ඝටෙථ බුද්ධසාසන යං කත්‍වා නානුතප්පති,
ඛිප්පං පාදානි ධොවිත්‍වා එකමන්තෙ නිසීදථ
චිත්තං උපට්ඨපෙත්‍වාන එකග්ගං සුසමාහිතං,
පච්චවෙක්‍ඛථ සංසාරෙ පරතො නො ව අත්තනො
තස්සාහං වචනං සුත්‍වා පටාචාරානුසාසනිං,
පාදෙ පක්‍ඛාලයිත්‍වාන එකමන්තෙ උපාවිසිං
රත්තියා පුරිමෙ යාමෙ පුබ්බජාතිමනුස්සරිං,
රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්‍ඛු විසොධයිං
රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්‍ඛන්‍ධං පදාලයිං,
තෙවිජ්ජා අථ වුට්ඨාසිං කතා තෙ අනුසාසනී
සක්කං ච දෙවාතිදසා සඞ්ගාමෙ අපරාජිතා,
පුරක්‍ඛත්‍වා විහරාමි තෙවිජ්ජම්හි අනාසවා