6. ඡක්කනිපාතය
පන්සියක් පමණ තෙරැණින්ගේ ගාථා වර්ණනාව
සයවන නිපාතයෙහි යස්ස මග්ගං න ජානාති යන මෙය ආදි ගාථා පන්සියයක් පමණ තෙරණියන්ගේ ගාථාය. මේ තැනැත්තියෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍යය ඇත්තාහු ඒ ඒ භවයන්හි උපත්වලට අනුව පින් රැස්කරමින් ක්‍රමයෙන් උපයාගත් නිර්‍වාණගාමී පුණ්‍යසම්භාර ඇතිව මේ බුදුපතෙහි කුලගෙයක ඉපිද වැඩිවියට පැමිණි කල්හි මවුපියන් විසින් පතිකුලවලට පමුණුවනු ලැබුවාහුය. ඒ ඒ ගෙවල පුතුන් ලැබ ගිහිජීවිතය ගතකරන්නාහු සමාන ජාතීන්හි එවැනි කර්‍මයන් කර තිබෙන හෙයින් සියල්ලන්ගේම දරුවන් නැතිවී පුත්‍රශෝකයෙන් මඩිනු ලැබුවාහු පටාචාරා තෙරණිය වෙත එළඹ වැඳ හුන්නාහු තමතමාගේ ශෝකයට හේතු වූ කරුණු සැලකළහ. තෙරණියෝ ඔවුන්ගේ ශෝකය පහකරවමින් මේ ගාථා හතරෙන් ධර්‍මයක් දේශනා කළහ:
යමෙකු පැමිණි මග හෝ ගිය මග හෝ නොදනීද, ඔහු කොතැනකින් පැමිණියේද, හේ මගේ පුතා යයි හඬයි.
ඔහු පැමිණි මග හෝ ගිය මග හෝ දන්නෙහිද, ඔහු උදෙසා ශෝක නොකරහි. සත්ත්වයන්ගේ ස්වභාවය එවැනිය.
අයැදුමක් නැතිව එහි ගියේය. අනුදැනුමක් නැතිව මෙහෙන් ගියේය. කොතැනෙකින් හෝ පැමිණ දවස් කිහිපයක් වැස, මෙතැනින්ද වෙන තැනකට යයි. එයින් අන් තැනකට යයි.
මළ තැනැත්තා මිනිස් වෙසෙන් හැසිරෙමින් යන්නේය. යම් අයුරකින් පැමිණියේද ඒ අයුරින්ම යන්නේය. එහිලා කවර වැළපීමෙක්ද?
ඔවුහු ඇයගේ ධර්‍මය අසා හටගත් සංවේගය ඇත්තාහු තෙරණිය ඇසුරෙහි පැවිදිවූහ. පැවිද්ද ලබා විදසුන් වඩන්නාහු විමුක්තියට පමුණුවන ධර්‍මයන් මුහුකුරා යාම හේතුකොටගෙන නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත් බැව්හි පිහිටියාහ. ඉක්බිති රහත් බව ලබාගත්තාවූ ඔවුහු තමතමාගේ පිළිවෙත බලා උදාන වශයෙන් ‘යමෙකු පැමිණි මග හෝ ගිය මග නොදන්නෙහිය’ ආදී අවවාදාත්මක ගාථා සමග පහත දැක්වෙන ගාථා දෙක වෙනවෙනමම ප්‍රකාශ කළහ:
අබ්බහී වත මෙ සල්ලං දුද්දසං හදයනිස්සිතං,
යා මෙ සොකපරෙතාය පුත්තසොකං ව්‍යාපානුදි.
සාජ්ජ් අබ්බුළ්හ සල්ලාහං නිච්ඡාතා පරිනිබ්බුතා,
බුද්ධං ධම්මං ච සංඝං ච උපෙමි සරණං මුනිං.
දැකීමට අපහසු වූ හදවත ඇසුරුකර පවත්නා වූ මගේ (ශෝකය නමැති) උල උදුරා දැමිණ. ශෝකයෙන් පෙළුණාවූ ඒ මගේ පුත්‍ර ශෝකය දුරුවිය.
පහවූ ශෝක නමැති උල ඇත්තාවූ ඒ මම අද ශෝකයෙන් මිදී නිවී සැනහී බුදුන් දහම් හා සඟුන් සරණ යමි.
එහි යස්ස මග්ගං න ජානාසි ආගතස්ස ගතස්ස වා - යම් සතෙකුගේ මෙහි ආගතස්ස - පැමිණි මග හෝ මෙයින් ගතස්ස - ගිය මග හෝ ඔබ නොදන්නෙහිය. ඉක්බිති අනීත හා අනාගත භවයන්හි ඉපදීම උදෙසා කියයි. තං කුතො ආගතං සත්තං - එය මෙසේ පැමිණි මග හෝ ගිය මග නොදැන යම්කිසි භවයකින් පැමිණීම පමණක්ය, පැමිණෙන්නේද අතරමග පලපුරුද්දක් නැතිව පැමිණි පුද්ගලයකු මෙන් සත්ත්වයා හුදෙක් මමත්වය උපදවා ‘මගේ පුතා’ යයි කුතො - කවර කාරණයක් නිසා හඬහිද? පිළියමක් නොමැති හෙයින් මගේ පුතාටද කළ යුතු දෙයක් නොමැති හෙයින් මෙහි වැඩීමට කිසිම හේතුවක් නැත යන අදහසය.
මග්ගඤ්ච ඛොස්ස ජනාසි - මේ ඔබේ පුතා වශයෙන් සම්මත සත්ත්වයාගේ ආගතස්ස - පැමිණි මගද, ගතස්ස - ගිය මගද ඉක්බිති දැනගන්නෙහිය. න නං සමනුසොචෙසි - මෙසේ ඔහු ගැන ශෝක නොකරන්නෙහිය. කුමක් හෙයින් එවං ධම්මාහි පාණිනො - මෙ ලෙව්හිදී පවා සියලු ප්‍රියදෙයින්, මනාප දේවලින් වෙන්වීම, වෙනස්වීම, තමා වසඟයෙහි නොපැවැත්ම සියලු සත්ත්වයන්ට පොදුවූවකි. පරලොව ගැන නොකිවමනාය.
අයාචිතො තතාගච්ඡි - පරලෙව්හිදි කිසිවෙකු විසින් හෝ ආරාධනා කරනු නොලැබ මෙහි පැමිණියේය යනු අර්‍ථයය. අනනුඤ්ඤතො ඉතො ගතො - මෙලෙව්හිදී ද කිසිවෙකු විසින් අනුමත කරනු නොලැබ පරලොවට ගියේය. තතොපි - නිරය ආදි එහෙන් මෙහෙන් යන හෙයින්, නූන - ඒකාන්තයෙන්, වසිත්‍වා කතිපාහකං - දින කිහිපයක් පමණක් මෙහි වැස, ඉතොපි අඤ්ඤෙන ගතො - මේ භවයෙන් අනෙකකට ගියේය, මෙයින් අනෙක් භවයක පිළිසිදීම පිණිස ගියේය. තතො අඤ්ඤෙන ගච්ඡති - ඒ භවයෙන්ද අනෙක් භවයකට යයි, අනෙක් උපතකටම පැමිණෙයි.