ථේරීගාථා අටුවාව
1. ඒකකනිපාතය
අඤ්ඤතර ථේරීගාථා වර්ණනාව
දැන් ථෙරීගාථාවල අර්‍ථවර්‍ණනාව සඳහා අවස්ථාව පැමිණ ඇත. එහෙයින් මෙහි පළමුකොටම භික්‍ෂුණීන් වහන්සේලාගේ පැවිද්ද, උපසම්පදාව හා ලබා තිබෙන අධිගමය ද ප්‍රකාශකර පසුව අර්‍ථවර්‍ණනාව කරන අතර එයින් ගාථාවල අර්ථොත්පත්තිය පෙන්වාදීම පහසුවනු මෙන්ම ප්‍රකට ද වෙයි. එහෙයින් එය ප්‍රකාශකිරීම පිණිස මුල පටන්ම අනුපිළිවෙළ කථාව ලුහුඬින් මෙසේ දැක්වේ.
මේ ලෝකනාථයන් වහන්සේ ‘මිනිසත්බව, ලිඞ්ගසම්පත්තිය’ ආදී වශයෙන් කියන ලද අඞ්ග අට සපුරාගෙන දීපඞ්කර බුදුන්වහන්සේගේ පාමුල්හිදී කරන ලද අදිටන් ඇත්තේ සමතිස් පෙරුම් පුරමින් සූවිසි බුදුවරුන්ගෙන් විවරණ ලබා ක්‍රමයෙන් පෙරුම් පුරා නෑදයන්ට, ලෝකයාට හා බුදුබවට වැඩපිණිස පෙරුම්පිරීම නිමාවකට පමුණුවා තුසිත දිව්‍යලෝකයෙහි ඉපිද එහි දිවිපමණ වැස දසදහසක් සක්වළ දේවතාවන් විසින් බුදු බව පිණිස:
‘මහාවීරය, ඔබට සුදුසු කල පැමිණ ඇත. මවුකුසෙහි ඉපදෙනු මැනවි. දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එගොඩ කරමින් නිවන අවබෝධ කරගනු මැනවි.’
යනුවෙන් මිනිස්ලොව ඉපදීමට ආරාධනා ලැබ ඒ දෙවිවරුන්ට පිළිණ දී, පස්මහබැලුම් බලා ශාක්‍ය රාජකුලයෙහි සුද්ධෝදන මහරජතුමාගේ ගෙයි සිහිනුවණින් යෙදී මවුකුසෙහි පිළිසිඳ දසමසක් සිහිනුවණින් එහි ඇස ඉක්බිති ලුම්බිණි වනයෙහි දී මවුකුසින් බිහිව නොයෙක් කිරිමවුවරුන් ආදී මහත් පිරිවරින් මනාකොට ඇතිදැඩිකරගනු ලබන්නේ ක්‍රමයෙන් වැඩිවියට පැමිණියේ පහර තැනක නොයෙක් නළුනිළිසමූහයා විසින් පිරිවරනු ලැබුවේ දිව්‍යරාජයා මෙන් සැපසම්පත් අනුභව කරමින් මහල්ලෙකු, ලෙඩෙකු හා මළසිරුරක් දැකීමෙන් හටගත් සංවේග ඇත්තේ නුවණ මුහුකිරීමට පැමිණ සිටි බැවින් කම්සුවයෙහි ආදීනව හා නික්මයාමෙහි (පැවිද්දෙහි) අනුසස් දැක රහල් කුමරු දිනු දිනම ඡන්න අසරුවාගේ සහාය ඇතිව කන්ථක අසු අරා දෙවියන් විසින් හළ දොරටුවෙන් මැදියම් රැයෙහි මහබිනික්මණ නික්ම රාත්‍රියෙහි සෙසු භාගයෙහි දී රාජධානි තුනක් ඉක්මවා ගොස් අනෝමා ගංතෙරට පැමිණ ඝටීකාර බ්‍රහ්මයා විසින් පුදනු ලැබූ අර්‍හත්ධ්වජය පිළිගෙන පැවිදි විය. එකෙණෙහිම සියවස් පිරුණු මහතෙර නමකගේ පෙනුමක් ඇතිව පහන් ඉරියව්වලින් සමන්විත වූයේ ක්‍රමයෙන් රජගහ නුවරට පැමිණ එහි පිඬු සිඟා පණ්ඩව පර්‍වත බෑවුමෙහි හිඳ පිණ්ඩපාතය වළඳා සිටි කල්හි මගධරජු විසින් රාජ්‍යයෙන් පුදනු ලැබුවේ එය පිළිකෙව්කොට භාර්ගවගේ ආරාමයට ගොස් එහි ආගම ධර්‍මය ඉගෙන නිමවා ඉක්බිති ආළාර හා උද්දකගේ සමයයන් ඉගෙන ඒ සියල්ල නිෂ්ප්‍රභකොට ක්‍රමයෙන් උරුවේලාවට ගොස් එහි සවසක් පුරා දුෂ්කර ක්‍රියාකොට එය ආර්‍යධර්‍මය අවබෝධ කරගනු පිණිස පිටුබලයක් නොවන බව දැන ‘මෙය සම්බෝධිය පිණිස මාර්ගය නොවේ’ යයි සිතා ඕළාරික ආහාර ගනිමින් කිහිප දිනකින් සිරුරෙහි ශක්තිය ලැබ වෙසක් පුණු පොහෝදින සුජාතා විසින් පුදන ලද උතුම් අහර වළඳා රන්මුවා පාත්‍රය ගඟේ විරුද්ධ දියවැලෙහි තබා ‘අද බුදුවන්නෙමි’යි කරනලද සනිටුහනේ ඇත්තේ සවස් කාලයෙහි කාලනාගරාජයා කළ ප්‍රශංසාව අසා බෝමැඩ අරා නොසැලෙන තැනෙක්හි පෙරදිග ලෝකධාතුවට මුහුණ ලා අපරාජිත පර්‍යඞ්කයෙහි හුන් සේක් අඞ්ග සතරකින් සමන්විත වීර්‍ය අධිෂ්ඨාන කරගෙන හිරු බැසයාමට පෙරම මාරයාගේ බලය විනාශකර රෑ පෙරයම පෙර විසූ කඳපිළිවෙළ සිහිකොට මැදියමෙහි දිවැස පිරිසුදු කර අලුයම්හි පටිච්චසමුප්පාදයෙහි නුවණ මෙහෙයවා හේතු ප්‍රත්‍යයන්ගේ අනුලෝම ප්‍රතිලෝම ක්‍රියාකාරීත්වය විමසමින් විවසුන් වඩා සියලු බුදුවරුන් විසින් ක්‍ෂාත්ක්‍ෂාත් කරනු ලැබූ අනන්‍ය සාධාරණ වූ සම්‍යක් සම්බෝධියට පැමිණ නිවන් අරමුණුකොට දින සතක් ඵලසමාපත්තියෙන් බැස එනයින්ම ඉතිරි සත්දිනයන් ද බෝමළුවෙහිම ගතකර රාජායතන ගසමුල දී මීපිඬු බොජුන් වළඳා පසුව අජපාලගේ නුගගසමුල හිඳ ධර්‍මයෙහි ගැඹුරු බව දැක උනන්දුව හීනවිය. ඒ බව දුටු මහාබ්‍රහ්මයා විසින් ආරාධනා කරනු ලැබුවේ බුදු ඇසින් ලොව බලන්නේ දියුණු තියුණු ඉඳුරන්ගේ භේද වශයෙන් වෙසෙන්නා වූ සත්ත්වයන් දැක ධර්‍මය දේශනා කරනු පිණිස මහාබ්‍රහ්මයා විසින් කළ ඇරයුම දුන් පිළිණ ඉටුකිරීම් වශයෙන් ‘මම පළමුව කවරෙකුට දහම් දෙසන්නෙම්දැ’යි පෙරළා අතීතය බලන්නේ ආළාර හා උද්දක යන දෙදෙන මළබැව් දැන ‘පස්වග මහණෝ මට බෙහෙවින් උපකාර වූහ. ඔවුහු මා ප්‍රධන්වීර්‍ය කරන අවස්ථාවෙහි මට උවටැන් කළහ. මම පළමුකොට පස්වග මහණුන්ට දහම් දෙසන්නෙම් නම් මැනවි’ යනුවෙන් සිතා ඇසළමස පුණුපොහෝදින මහාබෝධියෙන් පිටත්ව බරණැස බලා යනු පිණිස අටළොස් යොදුන් මගට පිළිපන්නේ අතරමගදී උපක ආජීවකයා සමග කතාබස්කර ක්‍රමයෙන් ඉසිපතනයට ගොස් පස්වග මහණුන්ට තමා බුදුවූ බව දන්වා ‘මහණෙනි, පැවිද්දන් විසින් සේවනය නොකටයුතු අන්ත දෙකක් වේ’ ආදී දම්සක් පැවතුම් සූත්‍ර දෙසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ ප්‍රමුඛ දහඅටකෝටියක් බ්‍රහ්මයන්ට ධර්මාමෘතය පොවා පිළිවෙලින්, (පුර) පසදෙවන දින භද්දිය තෙරුන් ද, තෙවන දින වප්ප තෙරුන් ද, සිවුවන දින මහානාම තෙරුන් හා අස්සජි තෙරුන් ද සෝවාන් පෙළෙහි පිහිටුවා පස්වන දින අනත්තලක්ඛණ සූත්‍රය දේශනාකර සියලුදෙනාම රහත්පළෙහි පිහිටුවා වදාළ සේක. අනතුරුව, යසදරුවන් ප්‍රමුඛ තරුණයන් පණස්පස්දෙනද, කප්පාසික වනරොදෙහි හද්දවග්ගිය කුමරුන් තිස්දෙනද, ගයාහිස පිට්ඨිපාසාණයෙහි දහසක් පුරාණ ජටිලයන් ද යන මෙතෙක් දෙනා ආර්‍යභූමියෙහි පිහිටුවා බිම්බිසාර ප්‍රමුඛ එකොළොස්නහුතයක් දෙනා සෝවාන් පෙලෙහි පිහිටුවා එකනහුතයක් තිසරණයෙහි පිහිටුවා වේළුවනය පිළිගෙන එහි වැඩවසන සේක් අස්සජී තෙරණුවන්ගේ මාර්‍ගයෙන් පළමු මගට පැමිණ තමා වෙත පැමිණි සැරියුත් මුගලන් දෙනම අග්‍රඵල ක්‍ෂාත්ක්‍ෂාත්කර ශ්‍රාවක පාරමිතාවෙහි අගතැන් පැමිණියෙන් අගසව්නතුරෙහි පිහිටුවා කාළුදායී තෙරුන්ගේ ඇරයුම පරිදි කපිලවත්‍ථුවට ගොස් මන්තද නෑයන් යමාමහ පෙළහරින් දමනය කරපියා අනාගාමි ඵලයෙහි ද මහාප්‍රජාපතිය සෝවාන් පෙළෙහි ද පිහිටුවා නන්ද කුමරු හා රාහුල කුමරු පැවිදි කරවා නැවතත් රජගහ නුවරට පෙරළා වැඩි සේක.
එයින් පසු එක්සමයක ශාස්තෲන් වහන්සේ විශාලා නගරය ඇසුරුකොට කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සේක් සුද්ධෝදන මහරජතෙමේ සේසත යටදීම රහත් බවට පැමිණ පිරිනිවන් පෑවේය. ඉක්බිති මහාප්‍රජාපතී ගෝතමියට පැවිදිවීමට සිත්විය. පසු දිනෙක රෝහිණී ගංඉවුරෙහිදී දෙසු කලහවිවාද සූත්‍ර දේශනාව අවසානයෙහි නික්ම පැවිදි වූ කුමාරවරුන් පන්සියයකගේ භාර්යාවෝ එකම අදහසක් ඇතිවූවාහු මහාප්‍රජාපතිය පෙරටුකොට බුදුන් හමුවට යාමට කැමති වූහ. මේ මහාප්‍රජාපතීතොමෝ මෙයට පෙරද වරක් බුදුන්ගෙන් පැවිද්ද ඉල්වා සිටි නමුදු නොලැබිණ. එහෙයින් කරණවෑමියා කැඳවා කෙස් කප්පවා කහවත් හැඳ ඕතොමෝ ඒ සියලුම ශාක්‍ය කාන්තාවන් කැඳවාගෙන විශාලා නුවරට ගොස් අනඳ තෙරුන් ලවා ආයාචනා කරවා අෂ්ටගරුධර්‍ම පිළිගැන්වීමෙන් පසු පැවිද්ද හා උපසම්පදාව ලැබුවාය. සෙසු සියල්ලෝම එකට උපසම්පදාව ලැබූහ. මේ වූකලී ලුහුඬු කථාවය. විස්තර වශයෙන් නම් ඒ ඒ තැන්වල (පාලියෙහි) පෙළෙහි ඇතුළත්වී ඇත.
මෙසේ උපසපන් වූ මහාප්‍රජාපතී බුදුන් වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියාය. එවිට බුදුන්වහන්සේ ඇයට දහම් දෙසූ සේක. ඕතොමෝ බුදුන්වහන්සේ වෙතින් කමටහන් ගෙන රහත්බවට පැමිණියාය. සෙසු පන්සියයක් භික්‍ෂුණීහු නන්දකොවාද ධර්‍ම දේශනාව අවසානයෙහි රහත්බවට පැමිණියාහ. මෙසේ භික්‍ෂුණී සංඝයා මැනවින් පිහිටි කල්හි, පැතිරගිය කල්හි ඒ ඒ ගම්නියම්ගම් හා දනව්රජදහන්වල කුලස්ත්‍රීහු කුලයෙහෙළියෝ කුලකුමරියෝ බුදුන්ගේ සුබෝධතාව ධර්‍මයෙහි සුධර්‍මතාව හා සංඝයාගේ සුපිළිපන් බවද අසා සසුනෙහි බෙහෙවින් පැහැදුණාහු සසර කෙරෙහි සංවේගය ඇතිවූවාහු තමතමාගේ සැමියන් දෙගුරුන් හා නෑදයන්ගේ අනුදැනීමෙන් සසුනට උරදී පැවිදිවූවාහුය. පැවිද්ද ලබා සීලාචාර සම්පන්න වී බුදුන්වහන්සේගේ ද ඒ තෙරවරුන්ගේ ද සමීපයෙහි අවවාද ලබාගෙන වෑයම් කරන්නාහු නොබෝ කලෙකින් රහත් බවට පැමිණියාහුය. ඔවුන් විසින් උදානාදී වශයෙන් ඒ ඒ තැන්වලදී ප්‍රකාශකරනලද ගාථා සංගීතිකාරකයන් විසින් අනුපිළිවෙළට සකස්කර ඒකක නිපාත ආදී වශයෙන් සංගායනාවට නැගුහ. මේවා ථෙරීගාථා නමින් හැඳින්විණ. එහි නිපාතාදියෙහි වෙනස්කම් ඉහත කියන ලද්දේමය. එහි නිපාත අතරෙහි ඒකක නිපාතය පළමුවම දැක්වේ. එහිදු,
සුඛං සුපාහි ථෙරිකෙ කත්‍වා චොළෙන පාරුතා
උපසන්තො හි තෙ රාගො සුක්‍ඛඩාකංව කුම්හියං