මහාප්‍රජාපතී ගෝතමී ථේරීගාථා වර්ණනාව
බුද්ධවීර නමොත්‍යත්‍ථු යන මෙය මහාප්‍රජාපතී ගෞතමියගේ ගාථාවය. මෝතොමෝ වනාහි පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද දැන ඉගෙනගත් පසු බුදුන්ගෙන් බණ අසන විටක බුදුන්වහන්සේ එක්තරා භික්‍ෂුණියක් චිරකාලඥ භික්‍ෂුණීන් අතරෙන් අගතනතුරෙහි තබනු දැක අධිකාරය පිහිටුවා කප්සියදහසක් දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී කස්සප බුදුන්ගේ හා අප බුදුන්ගේ අතර කාලයෙහි බුද්ධශුන්‍ය ලෝකයෙහි බරණැස් නුවර පන්සියයක් දාසීන් අතරෙන් ජ්‍යෙෂ්ඨ දාසිය වී උපන්නාය. ඉක්බිති ඕතොමෝ, වස්වසන සමයෙහි පන්සියයක් පසේබුදුවරුන් නන්දමූලක කඳුබෑවුමෙන් ඉසිපතනයට බැස නගරයෙහි පිඬු පිණිස හැසිර පෙරළා ඉසිපතනයටම ගොස් වැසි සමයෙහි විසීමට කුටියක් සාදාගනු පිණිස අත්වැඩකරුවන් සොයන උන්වහන්සේලා දුටු ඒ දාසීහු තම තමන්ගේ සැමියන්ද සමාදන් කරවාගෙන සක්මන්මලු ආදියෙන් අංග සම්පූර්‍ණ වූ කුටිපහක් කරවා ඇඳපුටු හා පැන් බොන දන් වළඳන බදුන් තබා ඒ තුන්මස එහිම වසන ලෙස පසේබුදුවරුන් පිළින කරවා දොරදන් තැබූහ. යම් තැනැත්තියකට තමාගේ වාරය පැමිණි කල්හි දන් තැබීමට නොහැකි වේද, ඕතොමෝ තම ගෙයින්ම දන් ගෙනවුත් දෙයි. මෙසේ ඒ තෙමස බුදුවරුන් පිළිදැඟුම්කර පවාරණ දිනය පැමිණි කල්හි එක එක දාසිය එක එක සළුව බැගින් සළු පන්සියයක් පිළියෙල කළහ. ඒවා නැවත වෙනස්කර පන්සියයක් පසේබුදුවරුන්ට තුන්සිවුර බැගින් නිමවා පූජාකළහ. පසේබුදුවරයෝ ඔවුන් බලා සිටියදීම අහසින් ගන්‍ධමාදන පර්‍වතයට ගියහ.
ඔවුහු සියල්ලෝම දිවි තෙක් පින්කම්කර දෙව්ලොව උපන්හ. ඔවුන්ගෙන් වැඩිමහලු තැනැත්තී එයින් චුතව ගොස් බරණැස් නුවර සමීපයෙහි පෙහෙකාර ගමක දෙටුපෙහෙරගේ ගෙදර උපත ලැබුවාය. වැඩි වයසට පැමිණි කල්හි ඕතොමෝ පදුමවතීගේ පුතුන්වන පසේ බුදුවරුන් පන්සියය දැක බෙහෙවින් සතුටුවී සියලු වහන්දෑට වැඳ දානය පූජාකළාය. උන්වහන්සේලා දන් වළඳා ගන්‍ධමාදන පර්‍වතයට වැඩියහ. ඕතොමෝ දිවිතාක් කුසල් කර දිව්‍යලෝක හා මනුෂ්‍ය ලෝකයෙහි හැසිරෙන්නී අප බුදුන් ඉපදීමට පෙරම දෙව්දහ නුවර මහාසුප්පබුද්ධගේ නිවෙසෙහි උපත ලැබුවාය. ඕතොමෝ ගෝත්‍රාගත නියමයට අනුව ගෝතමී යන නම ලැබුවාය. ඕ මහාමායා දේවියගේ කනිටු සොහොයුරියයි. ‘මේ දෙදෙනාගේ කුසෙහි විසූ දරුවෝ සක්විති රජවරු වන්නාහ.’ යනුවෙන් ලක්‍ෂණ පාඨකයෝ අනාවැකි පළකළහ. වැඩිවියට පැමිණි කල්හි මංගලෝත්සව පවත්වා සුද්ධෝදන මහරජතුමා කුමරියන් දෙදෙනාම සිය මැදුරට කැඳවාගෙන ආවේය.
පසු කලෙක අප බුදුරදුන් ඉපිද දම්සක් පවත්වා ක්‍රමයෙන් ඒ ඒ තන්හි හික්මවිය යුත්තන්ට අනුග්‍රහ කරමින් විසාලා නුවර ඇසුරුකොට කූටාගාර ශාලාවෙහි වෙසෙන කල සුදොවුන් මහරජතෙමේ සේසත යටදීම රහත්බව ලබා පිරිනිවියේය. ඉක්බිති මහාප්‍රජාපතීතොමෝ පැවිදිවනු කැමැතිව බුදුන්වහන්සේට එකවරක් අයැද එය නො ලැබුණෙන් දෙවනවර කෙස් සිඳුවා කහවත් හැඳ කලහවිවාද සුත්‍ර දේශනාව අවසානයෙහි නික්ම ගොස් පැවිදිව සිටි පන්සියයක් ශාක්‍යකුමාරවරුන්ගේ භාර්‍යාවන් සමග විසාලා නුවරට ගොස් අනඳ තෙරුන් ලවා බුදුන්ට ආයාවනා කරවා ගරුධර්‍ම අටක් සමග පැවිද්ද හා උපසම්පදාව ලබාගත්තාය. සෙසු සියල්ලෝද ඒ සමගම උපසපන් වූහ. මෙය මේ කථාවෙහි සාරාංශයයි, විස්තර වනාහී පෙළෙහි සඳහන් පරිදිමය.
මෙසේ උපසපන් වූ මහාප්‍රජාපතී ගෞතමී තොමෝ බුදුන් වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියාය. ඉක්බිති බුදුහු ඇයට දහම් දෙසූහ. ඕතොමෝ බුදුන්ගෙන් කමටහන් ගෙන භාවනාවෙහි යෙදුණි. නොබෝ කලෙකින්ම අහිඥා හා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. ඉතිරි භික්‍ෂුණීහු පන්සියය නන්දකොවාද සූත්‍ර දේශනාවසානයෙහි සවැරුම් විශේෂ ඥානයෙන් (ඡළභිඤ්ඤා) පරිපූර්‍ණ වූහ. එයින් පසු දිනෙක බුදුහු දෙව්රම් වෙහෙර ආර්‍ය සංඝ සමූහයා මැද වැඩ හුන්නාහු භික්‍ෂුණීන්ට අගතනතුරු දෙන අතර චිරකාලඥ භික්‍ෂුණීන් අතරෙන් ඒ පිළිබඳ අගතනතුර මහාප්‍රජාපතී ගෞතමී තෙරණියට දුන්හ. ඕතොමෝ පලසුවයෙන් හා නිවන්සුවයෙන් කල් යවන්නී කළගුණ දත් බැවින් දිනක් බුදුන්ට ප්‍රශංසා කිරීම මූලික යුතුකමක් වශයෙන් සලකා අනෙකක් ප්‍රකාශ කරන්නී:
බුද්ධවීර නමොත්‍යත්‍ථු සබ්බසත්තානමුත්තම,
යො මං දුක්‍ඛා පමොචෙසි අඤ්ඤං ච බහුකං ජනං
සබ්බදුක්‍ඛං පරිඤ්ඤාතං හෙතුතණ්හා විසොසිතා,
අරියට්ඨංගිකො මග්ගො නිරොධො ඵුසිතො මයා
මාතා පුත්තො පිතා භාතා අය්‍යකාච පුරෙ අහුං,
යථාභූච්චං අජානන්තී සංසරීහං අනිබ්බිසං
දිට්ඨො හි මෙ සො භගවා අන්තිමොයං සමුස්සයො,
වික්‍ඛීණො ජාතිසංසාරො නත්‍ථිදානි පුනබ්භවො
ආරද්ධ විරියෙ පහිතක්කෙ නිච්චං දළ්හපරක්කමෙ,
සමග්ගෙ සාවකෙ පස්සෙ එසා බුද්ධානවන්‍දනා
බහුන්නං වත අත්‍ථාය මායා ජනයි ගොතමං,
ව්‍යාධිමරණතුන්නානං දුක්‍ඛක්‍ඛන්‍ධං ව්‍යපානුදි